උපන් ගෙයි මෝඩයා
මා ඊයේ දැනගත්තා මා උපන් ගෙයි මෝඩයකු බව. මහින්දවාදියකු ඒ බව කියා
තිබුණා. මහින්දවාදියකු යැයි කියන්නේ අඩුවැඩි වශයෙන් මහින්දගේ දේශපාලනය අනුමත කරන ඒ
අනුව අදහස් ප්‍රකාශ කරන අයකු. එය මාක්ස්වාදියා යන්න සමග සංසන්දනය කරන්න. මහින්ද
මාක්ස් මෙන් පොත් ලියා නැහැ. එහෙත් මහින්දගේ දේශපාලනයක් තියෙනවා. මහින්දට ඡන්දය
දුන් පමණින් මහින්දවාදියකු වන්නේ නැහැ. එමෙන් ම එයින් කියැවෙන්නේ නැහැ
මහින්දවාදීන් කියන කරන හැමැදයක් ම මහින්ද අනුමත කරනවා කියා.
මා උපන් ගෙයි මෝඩයකු බව ඊයේ වන තෙක් ම දැන හිටියේ නැහැ. එයත් උපන්
ගෙයි මෝඩකමේ ම ප්‍රතිඵලයක් වෙන්න ඇති. කොහොමටත් දිනපතා ම මේ ලිපි ලිවීම ම උපන්
ගෙයි මෝඩකම නිසා ම කරන්නක් වෙන්න ඕන. උපන් ගෙයි මෝඩයන් කියන දේ බුද්ධිමතුන්ට
නොතේරෙන එක පුදුමයක් නො වෙයි. ඒ දෙගොල්ලන් ඉන්නේ විතල රේඛාවල. රනිල් ඉවත් කිරීමට
මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතු යැයි මා කී දේ බුද්ධිමතුනට නොතේරී ඇත්තේ
එබැවින් විය යුතුයි. මා ඒ ප්‍රකාශය කළේ අතීතයේ. එහෙත් ඇතැමුන් සිතන්නේ මා තවමත්
එසේ කියන බවයි.
විශ්වාසභංගයෙන් පසු මෛත්‍රිපාලගේ දේශපාලනය අවසන්. ඔහුට අද ඇත්තේ 2020 ජනවාරි වන තුරු රනිල් කියන විධියකට කටයුතු
කිරීම, නැත්නම් දෝෂාභියෝගයකින් පසු ඒ වන තුරු
නොසිට ගෙදර යෑම. දෝෂාභියෝගයක් ගෙනවොත් රනිල්ට 2020 වන තුරු ජනාධිපති වෙන්නත් පුළුවන්. අවසානයේ දී සිදු වී ඇත්තේ මෛත්‍රිපාල
ඉවත් කිරීමට රනිල්ට ශක්තිය දීමක්. මට හැඟෙන ආකාරයට නම් බටහිරයන්ට අවශ්‍ය වුණේ
රනිල් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට බාධකයක් වේ යැයි සිතා රනිල් ඉවත් කිරීමට. රනිල්
ඉවත් කිරීමට එක් එක් අයට විවිධ කාරණා බලපෑවා. රනිල්ට විරුද්ධව එ ජා පක්‍ෂයෙහි යම්
මතයක් ගොඩ නැගෙන විට බටහිරයන් හිතන්න ඇති රනිල් ඉල්ලා අස් නොවීම කරදරයක් වේවි
කියා. ඇතැම් පුවත්පත්වලට අනුව බටහිරයන් රනිල්ට කියා තිබුණා ඉල්ලා අස් වන ලෙස.
එහෙත් රනිල් ඉල්ලා අස් නොවී එ ජා පෙරමුණ තමන් පැත්තට නම්මවා ගත්තා. රනිල්
බටහිරයන්ටත් එහා ගිය බටහිරයෙක්.
විශ්වාසභංගය ගෙන ආ උදවිය එසේ කෙළේ වැරදි තක්සේරුවකින් වුවත් රටට
යහපතක් කිරීමේ චේතනාවෙන්. විශ්වාසභංගයෙන් පසු රනිල් ශක්තිමත් වී ඇති නමුත්
විශ්වාසභංගය ගෙන ආවේ රනිල්ට ශක්තිය ලබා දීමට නොවන බව පැහැදිලියි. ඒකාබද්ධ විපක්‍ෂය
ජනවාරියේ දී පමණ විශ්වාසභංගය තමන් අතට ගත්තා. එස් බී, තිලංග සුමතිපාල, සුසිල් ප්‍රේමජයන්ත හා දයාසිරි ජයසේකර
විශ්වාසභංගය ජයග්‍රහණය කරවීම සඳහා උපරිම උත්සාහයක් ගත්තා. ඔවුන් ද ඒකාබද්ධ විපක්‍ෂයෙ ගම්මන්පිළ දිනේෂ්
වැනි ඇතැමුන් ද සිතා සිටියේ විශ්වාසභංගය දිනිය හැකි බවයි. ඔවුන් එ ජා පක්‍ෂයේ
වසන්ත සේනානායක වැන්නන් ගැන විශ්වාසයක් තැබුවා.
සංධානයේ සියල්ල එකතු කළත් ඇත්තේ අනූහයක් පමණයි. ජ වි පෙ හය එකතු කළත්
එකසිය දෙකක් පමණයි. දුමින්ද දිසානායක, මහින්ද
අමරවීර අපච්චි මළා වැනි මහින්ද විරෝධීන් විශ්වාසභංගයට විරුද්ධ වන්න තිබුණා.
එබැවින් අවසානයේ දී විශ්වාසභංගයට පක්‍ෂ ඡන්ද සියයට අඩු වෙනවා. දිනන්න නම් එ ජා
පෙරමුණේ කිහිප දෙනකුගේ ඡන්ද අවශ්‍ය වුණා. රතන හිමියන් සතපහකට විශ්වාස කරන්න බැහැ.
මට තේරෙන විධියට වසන්ත සේනානායක වැනි එ ජා ප මන්ත්‍රීන් විශ්වාසභංගයට පක්‍ෂ වීමට
තීරණය කර තිබුණා.
ඒකාබද්ධ විපක්‍ෂයේත් මෛත්‍රිපාල පිළේ මැති ඇමතිවරුන් අතරිනුත්
බොහොමයක් සිතා සිටියේ එ ජා පෙ යම් පිරිසක් විශ්වාසභංගයට පක්‍ෂ වේවි කියා. එහෙත්
අවසන් දවස වන විට තත්වය වෙනස් වුණා. එය නිල් කොළ නිසා ම වූ දෙයක් යැයි මා හිතන්නේ
නැහැ. වසන්ත සේනානායක වැන්නන් මිළ දී ගත හැකි අය නො වෙයි. බටහිරයන් මෙයට මැදිහත්
නූණා නො වෙයි. එහෙත් රනිල්ගේ උපක්‍රම තර්ජන ආදිය එයට වඩා බලවත් වෙන්න ඇති.
මා හිතන්නේ රනිල් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වුණේ 1967 අග දී. එකල කොළඹ විශ්වවිද්‍යාලයේ බලයේ සිටියේ
සමසමාජ පක්‍ෂය. එහි නායකයා වූයේ එම් ඒ ජස්ටින්. අපත් ඒ දිනවල සමසමාජයෙ. එහෙත් 1967 අග මා පේරාදෙණියේ සහකාර කථිකාචාර්යවරයකු වූවා.
මා 1965 -68 කාලයේ ජස්ටින් හොඳින් දැන සිටියා. ඔහු
වරක් සිසුන් සමග පාර්ලිමේන්තුවට බලෙන් ඇතුල් වී කතානායක අසුනේ වාඩි වුණා. ජස්ටින් දක්‍ෂ
සංවිධායකයෙක්. එහෙත් රනිල්ට හැකි කම තිබුණා ජස්ටින් පවා මෙහෙයවීමට. ඒ එ ජා පක්‍ෂයට
විශ්වවිද්‍යාලයේ බලයක් නොමැති ව.
රනිල් උපායෙන් හා තර්ජනයෙන් එ ජා මන්ත්‍රින් ක්‍රම ක්‍රමයෙන් නම්මා
ගන්න ඇති. එස් බී තිලංග වැනි අය අවසන් දින දෙකේ දැනගන්න ඇති එ ජා ප මන්ත්‍රීන්ගෙන්
ඡන්දය නොලැබෙන බව. එ ජා ප ඡන්ද නොමැතිව විශ්වාසභංගය දිනන්න බැහැ. ආරංචි සියල්ල
එකතු කළ විට ලැබෙන කතන්දරයට අනුව ශ්‍රී ල නි ප මන්ත්‍රීවරු තීරණය කර තිබෙනවා ඡන්දය
දීමෙන් වැළකී සිටිමට. නොදිනන විශ්වාසභංගයකට ඡන්දය දීම අනුවණකමක් ලෙස ඔවුන් හිතන්න
ඇති. එස් බී හා තිලංග ඡන්දය දීමෙන් වැළකී සිටීමට යෝජනා කර ඇති බවක් පේනවා. එහෙත්
ඡන්දය දීමේ දී ඔවුන් ද ඇතුළුව දහසයදෙනකු විශ්වාසභංගයට පක්‍ෂ ව ඡන්දය දීලා. ඔවුන්ට
අපේ ප්‍රණාමය හිමි වෙනවා.
මා යෝජනා කර සිටියේ රනිල් ඉවත් කිරීමට මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබා
දිය යුතු ය කියා. එය වර්තමානයට නොව අතීතයට අයත් දෙයක්. මා ඉතා පැහැදිලි ව කිව්වා ඒ
ශක්තිය ලබා දිය යුත්තේ කෙසේ ද කියා. ඒ බව ඇතැමුනට පෙනී නැහැ. මට එයට කරන්න දෙයක්
නැහැ. මා කියා සිටියේ 44(3) යටතේ ඇමති මණ්ඩල සංයුතිය වෙනස් කර 42(4)
යටතේ නව අගමැති කෙනකු පත් කර ගැනීමට. නව අගමැති
ලෙස මහින්ද හෝ ඔහු අනුමත කරන අයකු හෝ පත්විය යුතු යැයි මා කියා සිටියා. සංධානයට
ඇත්තේ මන්ත්‍රීවරුන් අනූහය දෙනකු පමණක් නිසා මුල දී එය සුළුතර ආණ්ඩුවක් වෙනවා.
එහෙත් එයට පසුව වෙනත් අය ද එකතු වීමට තිබුණා. සුළුතර ආණ්ඩුවක් කී විට මට හිනහවෙන
මහින්දවාදීන්ට මතක නැහැ 2015 ජනවාරියේ රනිල්ගේ ආණ්ඩුව සුළුතර
ආණ්ඩුවක් කියා. ඒ ආණ්ඩුවට විරුද්ධව මහින්ද විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ නැහැ. ඒ
රනිල්ට ශක්තිය දීමට ද? මට අවශ්‍ය වූයේ එහි අනෙක් පැත්ත. එනම්
නව ආණ්ඩුවේ ඇමතිකම් භාරගෙන ආණ්ඩුව රනිල්ගේ විශ්වාසභංගයකින් ආරක්‍ෂා කිරීමට මහින්ද
සහතිකයක් දීම. නව ආණ්ඩව භාරකාරසම(තුල්‍ය) ආණ්ඩුවක් විය යුතු බවත් මා කිහිප වරක්
කියා ඇති. ඒ සියල්ල යමකුට මග හැරුණා නම් ඒ මා උපන් ගෙයි මෝඩයකු වීම නිසා වෙන්න
ඇති.