ක්‍ෂණික නිවන හා මැක්ඩොනල්ඩ් ශාසන
දශක හතරක් පහක් තිස්සෙ බුදුදහම විවිධ ආකාරයෙන් අර්ථදක්වන ගිහි පැවිදි
පිරිස් දකින්න පුළුවන්. මේ පැවිදි පිරිසෙන් බොහෝ දෙනෙක් මෑතක් වන තුරු ගිහි ව සිටි
අය. ඇතැම් බෞද්ධයන් ද මේ අලුත් අර්ථදැක්වීම්වලට කැමැත්තක් දක්වනවා. මේ අය කවුද?
දේශකයන් කියන්නේ නම් මේ අලුත් අර්ථදැක්වීම්
නොවෙයි ඒ තමයි නිවැරදි බුදුදහම කියලා. මේ අතර අභිධර්මය ඉගෙනීමට භාවනා පංතිවලට යෑමට
කැමැත්ත දක්වන අයත් ඉන්නවා.
මේ සියල්ලන් ම එක ම වර්ගයේ නොවෙයි. එහෙත් ඔවුන් සිංහල බුද්ධාගමෙන්
තරමක් පිටට ඇදී ගිය අය හැටියටයි මට පේන්නෙ. අපට ත්‍රිපිටකයක් තියෙනවා අටුවා ටීක
තියෙනවා. මේ ධර්මය ගැනත් මතභේද නැතිවා නො වෙයි. අභිධර්ම පිටකය ගැන වාද විවාද
අවුරුදු දහස් ගණනකට වැඩියි. අභිධර්මය දේශනා කෙළේ බූදුහාමුදුරුවන් ද යන ප්‍රශ්නය
දිගට ම සාකච්චා වෙච්ච එකක්. ථෙරවාද අභිධර්මය සහ වෙනත් අභිධර්ම අතර ඇති වෙනස්කම් ගැන ඈත අතීතයේ ඉඳන් කතා කරලා
තියෙනවා. පසුගිය සියවසේ රීස් ඩේවිස් යුවළත් අභිධර්මය ප්‍රශ්නය කරලා තියෙනවා.
දැන් තියෙන අභිධර්ම උනන්දුව ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් නො වෙයි. එයට
දශක හයක පමණ ඉතිහාසයක් තියෙන්නෙ. භාවනාව ගැනත් අභිධර්මය ගැනත් තියෙන උනන්දුව මෑත
කාලයෙ ඇති වුණෙ බුරුම (මියන්මාර) බලපෑම හින්ද කියන එකයි මා හිතන්නෙ. එය නරකක් කියල
මා කියන්නෙ නැහැ. එහෙත් අප බුරුම බුද්ධාගමෙන් ඒ විතරක් ගත්තෙ මොක ද කියන ප්‍රශ්නය
මට තියෙනවා. අපට බටහිර රටවල නූතනත්වයට යට නොවී ඉන්න බුරුමයන්ට වගේ නොහැකි වුණේ මොක
ද? අර කතාවක් තියෙනවා බුරුමය අභිධර්ම
පිටකයත් සියමය නැත්නම් තායිලන්තය විනය පිටකයත් ලංකාව සූත්‍ර පිටකයත් මුල් තැන තියා
ගත්තා කියලා. සිංහල බෞද්ධයන් සෞත්‍රාන්තිකයන් වෙලා නැහැ. එහෙත් අප මෑතක් වන තුරුම
සූත්‍ර පිටකය ගැන තමයි වැඩි උනන්දුවක් දැක්වූයෙ.
බුදුදහමට අලුත් අර්ථකථන දෙන පිරිස මෙයට වෙනස්. ඔවුන් කියන්නෙ අප මෙතෙක්
කල් දැන සිටි බුදුදහම වැරදියි කියලා. ඒ වරද බුද්ධඝෝෂ හාමුදුරුවන් ඇතුළු ආන්ද්‍ර
දේශයෙන් වැඩම කළ භික්‍ෂූන් වහන්සේට පවරනව ද කියන එක පැහැදිලි නැහැ. ඇතැම් ගිහි
බෞද්ධයන් බුද්ධඝෝෂ හිමියන් වැඳුම් පිඳුම් සහිත බුද්ධාගමක් හඳුන්වා දුන්න කියලත්
කියනවා. බුදුදහම නූතනත්වයට යටකරන උගතුන් ද මේ අතර ඉන්නවා. ඒ අයත් නූතනත්ව බෞද්ධයො.
ඔවුන් බටහිර දැනුම අනුව බුදුදහම අර්ථකථනය කරනවා.
ඒ කොහොම වුණත් අප දිග සසරක් ගැන දැන හිටියා. ඒ සසරෙ දෙව් මිනිස් සැප
කෙළවර නිවන් දකින්නත් බලාපොරෙත්තුවෙන් හිටියා. ඒ අතර තවත් කිහිප දෙනකු අනුන්ගේ
නිවන වෙනුවෙන් තමන්ගේ නිවන කල් දමා ගැනීමට සූදානමෙනුත් හිටියා. ඒ අය බුදුවෙන්න
පෙරුම් පිරූ අය.
අපේ ජීවන රටාව දැන් වෙනස් වෙලා. ප්‍රධාන වශයෙන් දෙපැත්තකින්. එක
පැත්තකින් අප බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමට යටවෙලා. අප ඒකෙන් පිට යන්න කැමති
නැහැ. අනෙක පැත්තෙන් අප බටහිර ජීවන ක්‍රමයට යටවෙලා. ඒ දෙක එකක් ම නොවෙයි. හැබැයි ඒ
දෙකම බටහිර විද්‍යාව හා තාක්‍ෂණය වැළඳ ගන්නවා. පළමු කොටස වැඩිපුර බටහිර විද්‍යාවත්
දෙවැනි කොටස වැඩිපුර බටහිර තාක්‍ෂණයත් වැළඳ ගෙන. මේ දෙක අතර එකිනෙක බැහැර කරන
වෙනස්කමක් ඇති බවක් නොවෙයි මා කියන්නෙ. මෙතන තියෙන්නෙ වැඩිපුර මොකක් ද කියන ප්‍රශ්නය
විතරයි. මේ දෙපිරිස ම ඉතා වැඩි වශයෙන් නාගරිකයි. ඔවුන් නූතනත්ව ආධිපත්‍යයට
යටවෙලා.
බටහිර විද්‍යාව වැළඳ ගන්න අයගෙන් කොටසක් වැඩිපුර අභිධර්මයට හා
භාවනාවට හැරෙනවා. අභිධර්මයේ විශ්ලේෂණය ඔවුන්ට වැදගත්. අනෙක් කොටස නූතනත්වයට අනුව
බුදුදහම අර්ථකථනය කරනවා. බටහිර ජීවන ක්‍රමය වැළඳ ගන්න අය ඉක්මණින් නිවන් යන්න
හදනවා. මේ ක්‍ෂණික යුගය. ක්‍ෂණික කෑම මැක්ඩොනල්ඩ් වර්ගයේ කෑම අද ජනප්‍රියයි. අපට
හුස්ම ටිකක් ගන්න විවේකයක් නැහැ. නිවී සැනහිල්ලෙ කියන කතාව අපට දැන් නුහුරුයි. අප
දැන් ක්‍ෂණික ව නිවන් දකින්නත් හදනවා. පැරණි සිංහලයන් නිවී හැනහිල්ලෙ හිටියෙ සිංහල
බෞද්ධ සංස්කෘතියෙ. මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙ ශාසනයෙ හිමින් සීරුවෙ නිවන් දකින්නයි
අප බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණෙ.
මේ බුද්ධ ශාසනයෙ නිවන් දකින්න බැහැ කියලා කවුරුන්වත් කියලා නැහැ. ඒත්
අපට මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙ ශාසනේ නිවන් දැක්කත් ප්‍රශ්නයක් වුණෙ නැහැ. ඒත්
දැන් එහෙම බැහැ. මේ ශාසනේ දී ම නිවන් දකින්න ඕන. හැකිනම් මේ භවයේ දී ම නිවන්
දකින්න ඕන. ඒ කියන්නෙ දැන් අපට ක්‍ෂණික නිවනක් ඕන. ඒ ක්‍ෂණික නිවන බෙදන්න
මැක්ඩොනල්ඩ් ශාසන අතන මෙතන ඇතිවන්නෙ මැක්ඩොනල්ඩ් කඩ බිහිවෙනවා වගේ. ඒ මැක්ඩොනල්ඩ්
ශාසනවල රහතන්වහන්සේත් ඉන්නවලු. ඇතැම්
රහතන්වහන්සේ දැන් පිරිනිවන්පාලා කියලත් කියනවා. ඒක එහෙම වෙන්නත් ඇති.
මේ සියලු දෙනා ම කොහෙන් හරි බටහිර විද්‍යාව ඇඳගන්නවා. මා එක්තරා
මැක්ඩොනලඩ් බණක් අහගෙන හිටියා. අදාළ ශ්‍රව්‍ය දෘෂ්ටි පටය මට එවා තිබුණෙ මගේ මිත්‍රයෙක්.
ඒ බණේ චතුර්ථධ්‍යානයෙන් ඔබ්බට යන තත්වයක් ගැන කියැවුණා. ඒ තත්වය ඊතරයට සම කෙරුණා.
මා දන්නෙ නැහැ ආකාසානඤ්චායතනයෙ තියෙන්නෙ ඊතරය ද කියලා. එහෙත් අද බටහිර විද්‍යාවෙ
ඊතරය ගැන කියැවෙන්නෙ නැහැ. ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර ප්‍රවාදයෙහි ක්‍ෂෙත්‍ර හතක් ගැන
කියැවෙනවා. ඒ සියල්ල අවකාශයේ ගුණ හැටියට තමයි කියැවෙන්නෙ. ද්‍රව්‍ය බල මේ ඔක්කොම
අවකාශයේ ගුණ. දැන් භාවනාවටත් කෙටි මං තියෙනවා. ඒ ක්‍ෂණික මං.
බටහිර නූතනත්වයට යටවෙච්ච මේ පිරිස් වැඩි වශයෙන් ඕල්කට් බෞද්ධයන්
ලෙසයි මට පෙනෙන්නෙ. අද සිංහල බුද්ධාගම වෙනුවට නගරවල ඕල්කට් බුද්ධාගම රජයනවා. මේ
විධියට ගියොත් වැඩිකල් යන්න ඉස්සර සිංහල බෞද්ධකම නැති වෙනවා. අපේ සූත්‍ර පිටකයට
ජාතක පොතට මුල් තැන දෙන්න කටයුතු කරනවා නම් බටහිර නූතනත්වයට යට නොවෙනවා නම් අනාගත
පරම්පරාවලට සිංහල බුද්ධාගමක් ඉතිිරි වේවි. ඔවුන්ට එවිට මෛත්‍ර බුද්ධ ශාසනයේ දී
නිවන් දකින්න පුළුවන් වේවි. නැත්නම් සිංහල බුද්ධාගම නිවන් දකීවි. අර ක්‍ෂණික නිවන්
අවබෝධය අවශ්‍ය අයට අවශ්‍ය මැක්ඩොනල්ඩ් ශාසන ඇති වේවි. ඔවුන් මොකක් දකීවි ද කියන එක
නම් ප්‍රශ්නයක්.
මේ සියල්ල අතර රට ගුණධර්ම අතින් ප්‍රපාතයට යටනවා. අප එයට
දේශපාලනඥයන්ට දොස් කියනවා. අපත් එයට වග කියන්න ඕන. විනය පිටකය නැති කරගන්නෙ නැතිව
සූත්‍ර පිටකය හා ජාතක කතාව නැවතත් ඉදිරියට ගන්න පුළුවන් නම් හොඳයි.