Main Logo

Saturday, 19 May 2018

ප්‍රභාකරන් පරදවා ස්මාට් ජාතිකවාදීන්ට යටවීම


ප්‍රභාකරන් පරදවා ස්මාට් ජාතිකවාදීන්ට යටවීම



ප්‍රභාකරන් ඝාතනය කෙරුණු දිනයේ ඒ ගැනත් යමක් කියන්න ඕන. ඉන්දියාව මේ මෙහෙයුම් සම්බන්ධ ව දැක් වූ ආකල්පය කුමක් ද? අද අපට එය වැදගත් වෙනවා. ඒ වෙන මොකකටවත් නොවෙයි අපේ රාජ්‍යය එනම් සිංහල බෞද්ධ රාජ්‍යය  නැවත පිහිටුවා ඒ පවත්වා ගෙන යෑමට. මේ ලිපිවලින් එතරම් ඵලක් නොවන බව මා දන්නවා. එහෙත් ඒ ලියන්න ඕන කිහිප දෙනකුටවත් වැඩක් ගන්න. 1815න් පසු අපට ඇත්තෙ ක්‍රිස්තියානි රාජ්‍යයක්. 1817-18, 1848, දහනවවැනි සියවස අග, නවසිය පනස්ගණන්වල සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත ඇති කිරීමේ අවශ්‍යතාව ඇතැමුනට තිබුණ. නමුත් අසමගිකම් ඇතුළු විවිධ හේතු නිසා එය සඵල වුණේ නැහැ.




ලිපි කියවනවට වඩා බොහෝ දෙනකු කැමති වැඩක් කරන්න. ලිපි කියවීමට වඩා බෝධි පූජාවලට කැමතියි. මාත් රණවිරුවන් වෙනුවෙන් බෝධි පූජාවලට සහභාගි වුණා. ඒවා කොටි පරාද කළ යුතුය කළ හැකිය යනුවෙන් ලියූ ලිපිවලට වඩා වැදගත් වුණා. පැකේජයට විරුද්ධව ලියූ ලිපිවලට වඩා කතරගමට ගිය පා ගමන වැදගත් වුණා. කෙසේ වෙතත් මෙය මා නැවතත් ලියන්නේ වැදගත් නිසා.



ඉන්දියාවට ප්‍රභාකරන් නැසීමේ අවශ්‍යතාවක් තිබුණා. ඒ රජිව් ගාන්ධි මරපු එකේ පලිය ගන්න. එහෙත් ඔවුන්ට දෙමළ ජාතිවාදය පරාජය කරන්න වුවමනාවක් තිබුණෙ නැහැ. ඔවුන්ට දෙමළ ජාතිවාදය අවශ්‍ය වුණා. ඒ ඔවුන්ට ලංකාවට බලපෑම් කිරීමට. අප ඔවුන්ගේ අල්ලේ නටවන්නට. අවාසනාවකට ඔවුන්ගේ ඒජන්තයන් ලංකාවේ ඉන්නවා. ඒ රෝ සංවිධානය පමණක් නොවෙයි. සිංහලයන් අතරත් ඉන්දියාවේ ඒජන්තයන් ඉන්නවා.



වඩමාරච්චි සටනේ දී කොබ්බෑකඩුවට පුළුවන්කම තිබුණා කොටි පරදවන්න. ඔහුට සිංහල බෞද්ධකමක් තිබුණා. එහෙත් ඔහුට ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය ජේ ආර් දුන්නේ නැහැ. රජිව් ගාන්ධි පරිප්පු දේශපාලනයෙන් ජේ ආර් බය කර ගාමිණී දිසානායක වැන්නන් ලවා අවශ්‍ය දේ ඉටුකර ගත්තා. අප තවමත් කතා කරන දහතුන්වැනි සංශෝධනය පරිප්පු දේශපාලනයෙන් ජනිත වුණු ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක්.



රජිව් හා ඉන්දියාව ප්‍රභාකරන් හා දෙමළ ජාතිවාදය බේරාගත් නමුත් ප්‍රභාකරන් රජිව් බේරුවේ නැහැ. ප්‍රභාකරන් කැමති වුණේ නැහැ රජිව්ට යටත්ව ඊළම දිනාගන්න. ප්‍රභාකරන් දැන සිටියා එවැනි ඊළමක් අවසානයේ දී ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් හෝ තමිල්නාඩුවේ කොටසක් හෝ බවට පත්වන බව. ඔහු රජිව් ඝාතනය කිරීමට පියවර ගත්තා. එයින් පසු ඉන්දියාවට, අඩුම තරමෙන් රෝ සංවිධානයට, ප්‍රභාකරන් ඝාතනය කිරීමට අවශ්‍ය වුණා.



කොබ්බෑකඩුව ඝාතනයෙන් පසු මා දැන සිටි කරුණක් නම් ඉන් පසු සරත් ෆොන්සේකාට දෙමළ කොටි පරාජය කරන්න පුළුවන් බව. මා එකල ඒ කරුණ කිහිප දෙනකුට කියාත් තිබෙනවා. මහින්ද බලයට පත්වීමෙන් පසු ගෝඨාභය සරත් ෆොන්සේකාට ඒ ඉඩකඩ විවෘත කර දුන්නා. අද කුමක් වුවත් මෙරට මැත ඉතිහාසයේ හොඳම සුසංයෝගය වුණේ මහින්ද ගෝඨාභය සරත් ත්‍රිත්වය. ඒ සුසංයෝගය එලෙස ම තිබුණා නම් 2018, 1818ක් වීමට ඉඩක් ඇත්තේ ම නැහැ. එහෙත් බටහිරයන් සරත් ෆොන්සේකා අල්ලා ගත්තා. දැන් 2018, 1818ක් වීමට ඉඩක් තියෙනවා. අපේ උත්සාහය එය එසේ නොවන බවට වග බලා ගැනීම. දැන් මට බනින්න මා සරත් ෆොන්සේකාට කඩේ යනවා කියා. සරත් ෆොන්සේකා හිරබාරයට ගත යුතු බව පළමුවෙන් කීවේ මා බව අමතක කරන්න එපා.



ඉන්දියාව 2009 දී කොටි පරාජය කිරීමට ආධාර කළ බව එක් ඉන්දීය හමුදා නිලධාරියකු කියා තිබුණා. මේ ආධාරය කුමක් ද? එය නැතැයි කියා ලංකාවේ කිසිදු දේශපාලනඥයකු කියා නැහැ. මා හිතන්නේ මෙය ආධාරයකට වඩා බාධා කිරීමක් නතර කිරීමක් කියා. ඉන්දියාව 2009 දී 1987 දී මෙන් පරිප්පු දේශපාලනයට ගියේ නැහැ. ඔවුන් බලා සිටියේ ප්‍රභාකරන්ට උපරිම දඬුවම දීමට. එහි දී ඉන්දියාව බටහිරයන්ට විරුද්ධව සිටියා. බටහිරට අවශ්‍ය වුණේ ප්‍රභාකරන් බේරීමට. ඔවුන් ප්‍රභාකරන් ගෙන යෑමට නැවක් පවා සූදානම් කර තිබුණා. එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු වූ විජය නම්බියාර් මේ ව්‍යාපෘතියේ වැදගත් කාර්ය භාරයක් ඉටු කළා.



මහින්ද මෙහි දී බටහිරයන්ට විරුද්ධව කෙලින් හිටියා. එහෙත් මෙහි දී ඉන්දියාව තම ඊනියා ආධාරය දීමට 13+  දීමට මහින්දට ලණුවක් දුන්නා. ඒ ලණුව ඔහුට දෙන්න ඇත්තේ මෙරට ඉන්දීය නියෝජිතයන්. මහින්ද 13+ දීමට ප්‍රසිද්ධියේ කතා කළා. එය එසේ නොවේ යැයි ද එය සාකච්ඡා මට්ටමේ පමණක් තිබුණු එකක් පමණක් යැයි ද අද විවිධ වන්දිභට්ටයන් කියන්න පුළුවන්. මේ අවස්ථාව වන විට ස්මාට් ජාතිකවාදීන් ද මහින්දට හා ගෝඨාභයට ලං වී අවසන්. ඒ දෙදෙනාගෙන් එක් අයකුවත් අප විශ්වාස කළේ නැහැ. සමහරවිට අප සිසුන් ව සිටිය දී රසබෝල කතා නමින් හැඳින් වූ  ඊනියා ඩිප්ලොමසි නොදන්න නිසා වෙන්න ඇති. එසේත් නැත්නම් අප උගතුන් හෝ බුද්ධිමතුන් හෝ නොවුණූ බැවින් විය හැකියි. කොහොම නමුත් තවමත් එය ප්‍රශ්නයක්.



දයාන් වැන්නවුන්ට ලංකාව නියෝජනය කරන්න ලැබුණා. ඔවුන් ජෙනීවාහි හා වෙනත් තැන්වල දී සිංහල බෞද්ධ මතයක් නියෝජනය කළා ද? පැරිසියේ තානාපති කාර්යාලයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ අයින් කළ දයාන්ට කුරුසිය පැලඳීම ප්‍රශ්නයක් ව තිබුණේ නැහැ. කොළපාට සමාජය ලියු අය ගෝඨාගේ යුද්ධය ගැනත් ලිව්වා.



මහින්ද ශ්‍රී ල නි ප සභාපතිකම මෛත්‍රිපාලට දීම, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ වෙන ම තරග නොකිරීම, දහනවයට අත එසවීම වැනි දේ කළාට සාමාන්‍යයෙන් ජනතාවට ප්‍රශ්නයක් ඉදිරිපත් කර ජනතා ප්‍රතිචාරය අනුව කටයුතු කරනවා. එය මුට්ටි දේශපාලනයක්. නමුත් එහි වරදක් නැහැ. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජනමතය උරගා බලන එක ක්‍රමයක් මුට්ටිය දැමීම. මහින්දට තේරුම් ගියා 13+ ආදියට සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් විරුද්ධ බව. ඔහු තම මතය ඒ අනුව වෙනස් කළා. බටහිරයන්ට විරුද්ධව ජෙනීවාහි දී ලංකාවට සහාය දුන් ඉන්දියාව ඉන්පසු ලංකාවට විරුද්ධ වුණා. මහින්ද පැරදවීමේ බටහිර වුවමනාවට ඉන්දියාවත් එකතු වුණා. 2015 ජනාධපතිවරණයේ දී මෙරට රෝ ඒජන්තයන් ක්‍රියා කළ ආකාරය අද විවෘත රහසක්. රෝ ඒජන්තයන් රාජපක්‍ෂලා සමග විරසක ව සිටි මෛත්‍රිපාල තම අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත්තා.



අද මහින්ද විසිවැනි සංශෝධනයට එකඟ වුවහොත් එය තවත් 1818කින් කෙළවර වනු ඇති. එය සමහර විට සිංහල ජාතියේ අවසානය වීමටත් ඉඩ තියෙනවා. මෙය පෞද්ගලික මට්ටමකින් නොසිතිය යුතුයි. 1818 දී අප ඉංගිරිසින්ට පරාජය වීමට ප්‍රධාන හේතුවක් වූයෙ සිංහල නායකයන්ගේ, සෙංකඩගල නිළමෙලාගේ අසමගිය. අදත් ඒ අසමගිය තියෙනවා. ඒ අසමගිකම් නැති කරගෙන විස්ස පරාජය කර රනිල් ඉවත් කර මහින්ද අගමැති වීම අද ක්‍ෂණික කටයුත්ත බවට පත් වී තිබෙනවා. එසේ පත්වන ආණ්ඩුව මේ ආණ්ඩුව නොවන බවත් මේ ආණ්ඩුවේ පව් ඒ ආණ්ඩුවට කර ගැහීමට සිදු නොවන බවත් බුද්ධිමතුන් නොවන අපට නම් තේරෙනවා. ඒත් ඇතැම් බුද්ධිමත් ජනමාධ්‍ය ප්‍රධානීන්ට ඒ බව තේරෙන්නේ නැහැ.