Main Logo

Wednesday 23 May 2018

පහළොවේ සිට දහඅටට


පහළොවේ සිට දහඅටට



ඊයේ අප ජනරජ දිනය සැමරුවේ නැහැ. දහඅටවැනි දා නන්දිකඩාල් ජයග්‍රහණය සැමරුවේ නැහැ. ඒ වෙනුවට රාජිතගේ වසල කතා ඇහුවා. ඔහු තවමත් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන්නා. මෛත්‍රිපාල සුළුවෙන් නමුත් නන්දිකඩාල් රණවිරුවන් සැමරුවා. මහින්ද හා ගෝඨාභය තැන් තැන්වල රණවිරුවන් සැමරුවා. ඒ අතර විවිධ සංවිධාන තම තමන්ට හැකි පමණින් රණවිරුවන් සැමරුවා. එහෙත් හරියකට නන්දිකඩාල් ජයග්‍රහණය සැමරුවේ නැහැ. ජනරජ දිනය එතරම්වත් සැමරුවේ නැහැ. පොහොට්ටුව පක්‍ෂයක් හැටියට ඒ කිසිවක් සැමරුවේ නැහැ.




නන්දිකඩාල් ජයග්‍රහණය බටහිරයන්ටත් විශේෂයෙන් ම එංගලන්තයටත් විරුද්ධව ලබාගත් ජයග්‍රහණයක්. එහි වටිනාකම සිංහලයන් බොහෝ දෙනකුට තේරෙන්නෙ නැත්තෙ ඔවුන් දෙමළ ජාතිවාදයෙ ඉතිහාසය නොදන්න නිසයි. මැයි විසිදෙවැනිදා වුණෙත් අප එංගලන්තයේ රැජිනගෙන් නිදහස් වීමක්. මේ දින දෙකේ ම වැදගත්කම අපේ යටත්විජිතවාදී මනසට තේරෙන්නේ නැහැ. අප තවමත් හැරීගේ මගුලෙ ආදර්ශය කතා කරනවා.



මා මැයි දහඅට සිට විසිදෙක දක්වා දින පහක් උත්සව පවත්වන්න කී විට යටත්විජිත මනස් ඇති අයට සිතෙන්නෙ පිස්සු කතාවක් කියලා. ඒකට කමක් නැහැ. යටත්විජිත මනසක් කියන්නෙ විකෘත මනසක්. විකෘත මනස් ඇති අයට අනෙක් මනස් පෙනෙන්නෙ කොහොමද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. නූතනත්වයෙ බටහිර යටත්විජිතවාදය පැරණි යටත්විජිත ආක්‍රමණවලින් වෙනස් වෙන්නෙ බටහිරයන් ඔවුන් යටත් කරන රටවල යටත්විජිතවාදී විකෘත මනස් ඇති කරන නිසා. ඒ සඳහා ඔවුන් අධ්‍යාපනය යොදා ගත්තා. වෙනත් කිසිම රටකට වඩා ලංකාවෙ පාසල් පිහිටෙව්වා. ඒ පාසල්වලට සිසුන් පැමිණීම අනිවාර්ය කළා. නොපැමිණි අයගෙ දෙමව්පියන්ට නඩු දැම්මා.



ඊයෙ මුතුකුඩ නාට්‍යයේ මාතලේ ඇල්ලෙපොළ නිළමෙගෙ ඝාතනය ගැන කිව්වා. පඬියන්ට නිළමෙලා ඊනියා වැඩවසම් ක්‍රමයක නියෝජිතයන් වෙන්න ඇති. 1815 - 1818 මෙරට තිබූ වැඩවසම් ක්‍රමය නැතිකරලා නූතනත්වයට යෑමට පියවර ගත් වකවානුව ලෙස හඳුන්වනවා වෙන්න පුළුවන්. ඒක මොන තරම් ප්‍රගතිශීලි පියවරක් වෙන්න ඇත් ද? එහෙම කියන එවුන් එක්ක වාද කරලා වැඩක් නැහැ. මා කියන්නෙ ඔවුන්ගෙ කටට පිහියෙන් අනින්න නොවෙයි. ඒක සුද්දගෙ නීතියට විරුද්ධ කියලා දඬුවම් කරන්න පුළුවන්. සුද්ද හොඳ මිනිහා. ඇල්ලෙපොළ නිළමෙගෙන් අහනව අන්තිම මොහොතෙ මොනව හරි කියන්න තියෙනවාද කියලා. ඒක මොන තරම් මානව අයිතිවාසිකම් රැකීමක් ද? අප ජනරජයක් කරන්න කොතරම් ලේ හොලවල තියෙනවා ද? ඒත් මෙරට උගත් මහත්වරුන් කියන්නෙ අප ලේ බිඳක් නොසෙල්වා නිදහස දිනාගත් බවයි. 



මුතුකුඩ නාට්‍යය එහෙම වුණත් මට එය ප්‍රචාරය කරන දෙරණ ගැන කිසිම පැහැදීමක් නැහැ. ඒගොල්ලන් හැරීගෙ මගුල සජීව පෙන්නන්න ඇති. ඒගොල්ලන් තවත් දේ කරනවා. අනෙක් නාළිකා වැඩක් ඇත්තෙ ම නැහැ. නාට්‍ය හොඳ වුවත් නාට්‍ය අධ්‍යක්‍ෂවරුන් ගැනත් එතරම් හොඳක් කියන්න බැහැ. ඔවුන් ජාතිකත්වය වෙනුවෙන් නිර්භය ව පෙනී හිටින්නේ නැහැ. ඔවුන් බටහිර ව්‍යාජ වාස්තවිකත්වයක් අනුකරණය කරමින් කියන්න පුළුවන් මා නාට්‍යයක් කළා. ඒක ගැන මට කියන්න  වෙන දෙයක් නැහැ කියලා. මේවා සුද්දන්ගෙන් ඉගෙන ගත්ත බොරු පඬි කතා පමණයි. 



මෛත්‍රිපාල රාජිතට ටොකු අනිනවා. ඒත් රාජිත ඇමති කමෙන් නොවෙයි මාධ්‍ය ප්‍රකාශක කමෙන්වත් අස්කරන්නෙ නැහැ. මෛත්‍රිපාලට ඒ ශක්තිය නැහැ. අද මෙරට ආණ්ඩු දෙකක් තියෙනවා. එකක් මෛත්‍රිපාලගෙ ආණ්ඩුව. අනෙක රනිල්ගෙ ආණ්ඩුව. 2015 ජනවාරි 2015 අගෝස්තු මාසවල එහෙම නැහැ. තිබුණෙ එක ආණ්ඩුවයි. ඒත් මේ වන විට ආණ්ඩු දෙකක් තියෙන බව බොහෝ ජාතිකවාදීන් පිළිගන්නෙ නැහැ. මෛත්‍රිපාල ශක්තිමත් කරලා රනිල් ඉවත් කරමු කිව්ව ම ඔවුන් මට බණිනවා. මට සිරිජාතිකවාදියා කියනවා.



1815-1818 ඉතිහාසය ගැන දැනගෙන හිටියෙ නැතත් මුතුකුඩ නාට්‍යය බලන අයගෙන් මා ප්‍රශ්නයක් අහනවා. මොල්ලිගොඩ හා ඇහැළෙපොළ සමගියෙන් හිටිය නම් අප සුද්දන්ට යටත් වෙනවා ද? එවැනි ප්‍රශ්නවලට උත්තර නැති බව මා දන්නවා. එය එහෙම වුණා නම් කොහොම වෙන්න තිබුණ ද කියන වර්ගයේ ප්‍රශ්නයක්. ඉතිහාසය භෞතික විද්‍යාව වගේ නොවෙයි. ඉතිහාසයෙ ආපස්සට ගිහිල්ල පර්යේෂණ කරන්න බැහැ. කළු කුහර දෙකක් ගැටෙන්න යන වෙලාවට නම් අවට අංශුවලට කාලය ආපස්සට යනවා කියලා භෞතික විද්‍යාඥයන් කියනවා. ඒත් මහනුවර කළු කුහර ගැටුණෙ  නැහැ. ගැටුණෙ කල්ලන් විතරයි.



දැන් මට බනින්න මොල්ලිගොඩ වගේ ජාතිද්‍රෝහියකු එක්ක කොහොම ද වැඩ කරන්නෙ කියලා. අප පැරදුණෙ මොල්ලිගොඩ හා ඇහැළෙපොළ අතර තිබූ තරගයක් නිසා ද? නිළමෙලා දෙපැත්තකට බෙදිලා වැඩ කෙරුවා. නිළමෙලා විතරක් නොවෙයි සාමාන්‍ය වැසියනුත් දෙපැත්තකට බෙදුණා. සුද්දන්ගෙ හමුදා ශක්තිය හාරදාහට වඩා තිබුණ ද? අපට ඒ සුද්දන්ගෙ හමුදාව පරාද කරන්න පුළුවන්කම තිබුණා. සුද්දන් (ඩොයිලි) වැඩියෙන් යොදා ගත්තෙ අපේ ම අය. අප අතර සමගියක් තිබුණෙ නැහැ.



අදත් එහෙම තමයි. බණ්ඩාරනායක මැතිණිය දිනාගත්ත ජනරජය ජේ ආර් සැමරුවෙ නැහැ. පස්සෙ ඇගේ දියණිය චන්ද්‍රිකාවත් සැමරුවෙ නැහැ. චන්ද්‍රිකාට මාක්ස්ගෙ හා සොබෝන් රස්නෙ වැදිලා තිබුණා. තාම ඒ උණ තියනවා. මහින්දත් ජනරජය දිනය සැමරුවෙ නැහැ. කාට කියන්න ද? මහින්දගෙ නන්දිකඩාල් ජයග්‍රහණය රනිල් සමරන්නෙ නැහැ. රනිල් සෝබෝන් ගියෙ නැති වුණාට පොඩි කාලෙ ඉඳලම යටත්විජිතවාදී උණ. මෛත්‍රිපාල රනිල්ගෙ පැත්තට ගිහින්. අද ආපහු එන්න හදනවා. අප එපා කියනවා, එන්න දෙන්නෙ නැහැ. අප 1815-18 කරපු දේ නැවතත් කරනවා.  මහින්දට තවමත් මෛත්‍රිපාලට ශක්තිය දෙන්න පුළුවන්. අර ආණ්ඩු දෙකෙන් රනිල්ගෙ ආණ්ඩුව විසුරුවා හැරලා මෛත්‍රිපාලගෙ ආණ්ඩුවට මහින්ද එකතු කර ගෙන තනි ආණ්ඩුවක් හදන්න.