ලෙස්ටර් ජේම්ස් පීරිස්
ලෙස්ටර් ජේම්ස් පීරිස් එංගලන්තෙ ඉඳන් ලංකාවට ඇවිත් සිංහල සිනමාව
ඉන්දීය ආභාසයෙන් මුදවා ගත් තැනැත්තා මිය ගිහින්. එහෙත් ප්‍රශ්නය ඔහු සිංහල
සිනමාවක් බිහි කිරීමට කටයුතු කෙළේ ද යන්නයි. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ආදීන් මෙන් ම ඔහු ද කෙළේ අප නූතනත්වයට යට
කිරීමයි. එය ඔවුන්ට පමණක් සීමා වුණේ නැහැ. විශ්වවිද්‍යාලයීය බෞද්ධ උගතුන් කෙළේත්
එයමයි. කේ එන් ජයතිලක, වයි කරුණාදාස ආදීන් එයට උදාහරණ. කේමදාස
සංගීතයේ එය කළා. තව තව අයගේ නම් සඳහන් කරන්න පුළුවන්. ගුණදාස අමරසේකරගේ ගමනක මුල
නවකතා වැලෙන් කියැවෙන්නේ මේ ඛෙදවාචකයයි. එයින් කියැවෙන්නේ අමරසේකර ඉන් ගැලවෙන්න
උත්සාහ කළා කියන එකවත් ඒ කතාවැලෙන් අපට මග පෙන්වීමක් කරන බවක්වත් නො වෙයි.
ලෙස්ටර් ගැන කියන්න තියෙන්නෙ බෙහොම ටිකයි. රේඛාව චිත්‍රපටිය නිකුත්
වූ කාලෙදි ම සිංහල බෞද්ධයන් අතින් ඒ විවේචනයට ලක් කෙරුණා. එය අර ඉන්දීය සිනමා
ආභාසයෙන් මුදවා ගෙන බටහිර නූතනත්වයට තල්ලු කරන්න නිර්මාණය වූ එකක්. ඔහු ඊළඟට
සංදේශය නිම කළා. මේ චිත්‍රපටි ජනප්‍රිය වුණේ සුනිල් ශාන්තගෙ සංගීතය නිසා කියලයි මා
හිතන්නෙ. ගම්පෙරළිය නිධානය වගේ චිත්‍රපටි නූතනත්වයට යටවීමට අවශ්‍ය වූ සිංහලයන් අතරට
ගියා. මේ චිත්‍රපටිවලට ගැලපෙන ප්‍රේක්‍ෂකයන් හා ඊනියා විවේචකයන් පිරිසක් විශ්වවිද්‍යාලය විසින් එළියට දමා
තිබුණා. ලෙස්ටර් වැදගැම්මකට නැති අධ්‍යක්‍ෂ
පිරිසක් බිහි කරන්න අඩිතාලම දැම්මා. ඔවුන් ඉඳහිට අරෙහෙ මෙහෙ සිනමා උත්සවයක දි
සම්මානයක් හිමි කර ගන්නවා. ඒත් තාම කවුරුන්වත් ඔවුන්ගෙ හිතිවිලි අනුව උසස් වූ
ඔස්කාර් ඇකඩම් සම්මාන දිනාගෙන නැහැ. මේ අධ්‍යක්‍ෂවරුන් බොහෝ පිරිසක් සිංහල බෞද්ධ
විරෝධීන්. ඔවුන්ට සම්මාන ලැබෙන්නෙ සිනමාවට නොව සිංහල බෞද්ධ විරෝධී වීමටයි.
මේ කෙටි ලිපියෙන් කතාව සම්පූර්ණයෙන් කියන්න බැහැ. මෙය හැඳින්වීමක්
පමණයි. ඉංගිරිසින් අප රටේ ඊනියා උගත් පිරිස් කොටස් දෙකක් නිර්මාණය කළා. ඔවුන්ගේ
ආර්ථිකයට ඇතුළු වූ අයගේ පුතුන්ට ඉංගිරිසි පාසල්. අනෙක් අයට සිංහල දෙමළ පාසල්.
රාජකීය විදුහලට පෙරත් ඉංගිරිසි පාසල් බිහි කරන්න ඇති. ගාල්ලේ රිච්මන්ඩ් යාපනයේ
පාසල් ඒ සඳහා උදාහරණ. රාජකීය විදුහලට පෙර කොළඹ ඇති කළ පාසල් අභාවයට යන්න ඇති.
රාජකීය විදුහල දිගට ම පැවතුණා. එය ඉහළ ම ඉංගිරිසි අධ්‍යාපනයක් (සංස්කෘතියක්) දුන්
පාසලක්. රාජකීය ශාන්ත තෝමස් පාසල් දෙකේ ම ඉගෙන ගත් පාණදුරේ ප්‍රභූවරයකු මට වරක්
කීවේ තමා රාජකීය විදුහලේ රාජ ඌෂ්ණය වැඩි නිසා ශාන්ත තෝමස විදුහලට ගිය බවයි. ශාන්ත
තෝමස් විදුහල ප්‍රාදේශීය ප්‍රභූන්ගේ පුතුන් වෙනුවෙන් මුල දී විවෘත කරන්න ඇති.
බෝතලේ සේනනානායකලා ඒ පාසලේත් කොළඹ ජයවර්ධනලා රාජකීය විදුහලේත් ඉගෙන ගත්තේ ඒ
පදනමෙන් කියා හිතනවා. මේ පාසල් ක්‍රිස්තියානි පාසල්. ලංකාවේ අනෙක් පාසලුත් ක්‍රිස්තියානි.
ශාන්ත ජෝසෆ් වැනි කතෝලික පාසල් ද නැතිවා නො වේ. ලෙස්ටර් ඉගෙන ගත්තේ කතෝලික ශාන්ත
පීතර විදුහලේ.
ඉංගිරිසි පාසල්වල ඉගෙන ගත් අය නූතනත්වය මුළුමනින් ම අනුකරණය කළා.
එහෙත් ඒ එක් අයකුටවත් එහි ඉහළට ම යන්න බැරි වුණා. ලෙස්ටර්ටත් බැරි වුණා. මගේ
වාසනාවකට මට වැඩිකල් යන්න ඉස්සර තේරුම් ගියා බටහිර විද්‍යාඥයකු වීමට බැරි බව.
ඉංගිරිසින් අර ස්වභාෂා පාසල්වල ඉගෙන ගත් අයටත් නූතනත්වය අනුකරණය කරන්න ඉගැන්නුවා.
සිංහල ගුරුවරු, වෙදමහත්වරු, නොතාරිස් රාළහාමිලා, ගම්මුලාදෑනිවරු
ආදීන් බිහිවුණේ මේ පාසල්වලින්. ඔවුන්ට අවශ්‍ය වූයේ තම දරුවන් තමන්ට ළඟා වීමට
නොහැකි වූ තැන්වලට යවන්න. මා ඒ අයට දොස් කියන්නෙ නැහැ. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනයෙන්
මේ කාර්යය පහසු කළා. ඒ දරුවන් අදාළ පාසල්වලට හා විශ්වවිද්‍යාලවලට ගිහින් නූතනත්වය
අනුකරණය කළා. එහෙත් ඒ අතර වෙදමහත්වරු ද ගුරුවරු ද ජීවත් වුණා. ඔවුන් නූර්ති ගී
ටවර් හෝල් නාට්‍ය කඩවුණු පොරොන්දුව නරඹමින් ඉන්දීිය සම්ප්‍රදායකට ගොදුරු වුණා.
මේ අතර පියදාස සිරිසේන (මෛත්‍රිපාලට නෑ කමක් නෑ) නූතනත්වය අනුකරණය
කිරීමට විරුද්ධව පොත් ලිවුවා. රොස්ලින්
ජයතිස්ස මේ අනුකරණය විදහා පෙන් වූ කතාවක්. ඔහුට ධර්මපාලතුමාගේ ආභාසය තිබුණා.
මහාවංසයෙන් නිර්වචනය වුණු සිංහල බුද්ධාගමට ක්‍රිස්තියානි සංස්කෘතියෙන් වැදෙන
පහරවලට පියදාස සිරිසේන නොබිය ව මුහුණ දුන්නා. ඒවාට ප්‍රතිප්‍රහාර දුන්නා. මෛත්‍රිපාල
කොතරම් වෙනස් ද? එහෙත් මේ කතා නවකතා නොවේ යැයි
සරච්චන්ද්‍ර කීමට පටන් ගත්තේ නූතනත්වයට යටවෙමින්. ඔහු ටවර්හෝල් නාට්‍යයෙන් නූතන
නාට්‍යයට ගියා. එහි දී ජාතක කතාව නූතනත්වයට යට කළා. මනමේ කුමරිය වැද්දාට කඩුව
දුන්නු එකේ වරදක් නැති වෙන්නෙ නූතනත්වයට. වෙදමහත්වරුන්ගේ හා ගුරුවරුන්ගේ දරුවන්
සරච්චන්ද්‍රගේ මනමේ කුමරියට කැමැත්තක් දැක්වූවා. අද වන විට එහි විකාශය රූපවාහිනියේ
දැකගන්න පුළුවන්. එයටත් වඩා සැබෑ ජීවිතයේ දකින්න පුළුවන්. අතරින් පතර සිටිය “ජුබාල්” දයානන්ද ගුණවර්ධනලා, සිනමාවේ සිරිසේන විමලවීරලා සටනක් නැතිව
ම මිය ගියා. සිරිසේනලාට කවදාවත් නූතනත්වය අල්ලන්නේ නැහැ.
අර වෙදමහතුන්ගේ හා ගුරුවරුන්ගේ පුත්තු ජයවර්ධනලාට විරුද්ධව පනස්හයක්
නිර්මාණය කළා. රේඛාවත් මනමේත් පනස් හයත් සමග සමපාත වෙනවා. පනස්හයේ දරුවන්ට
දර්ශනයක් තිබුණේ නැහැ. මාර්ටින් වික්‍රමසිංහලා සරච්චන්ද්‍රලා ලෙස්ටර්ලා නිර්මාණය
කළ දේ බදා ගැනීම හැර කරන්න වෙනත් දෙයක්
තිබුණේ නැහැ. පනස්හයටත් දර්ශනයක් තිබුණේ නැහැ. ඉංගිරිසි ගුරුවරයාගේ තත්වය සිංහල
ගුරුවරයාටත් ඉංගිරිසි වෛද්‍යවරයාගේ තත්වය ඉන්දීය ආයුර්වේද වෙදමහතාටත් සිංහල
වෙදමහතාටත් ලබා ගැනීම වැනි බලාපොරොත්තු ඔවුන්ට තිබුණේ. ඒ නූතනත්වයේ ම බලාපොරොත්තු.
පළමු කාර්යය නම් ඉටු කර ගත්තා. අද සිංහල ගුරුවරුන් හා ඉංගිරිසි ගුරුවරුන් සමාන
වෙලා. ඒ ගුරුවරුන් නැති කරලා. වෙදමහතා පනස්හයෙන් අවුරුදු හැටදෙකකට පසුවත් එහෙමමයි.
ඔවුන්ගේ තත්වය උසස් වෙලා තියෙන්නෙ එක කරුණකින් පමණයි. ඔවුනුත් අද ඩොක්ටර්ලා. පනස්හයේ
නියමුවා ශ්‍රී ල නි ප අද මරාදාළ.
පියදාස සිරිසේන පොතක් ලිව්වා අපට වෙච්ච දේ කියලා. ඒත් ඒක නවකතාවක්
නෙවෙයි නෙ. ඒක තමයි අපට වෙච්ච දේ. ලෙස්ටර් චිත්‍රපටියක් නිපදෙව්වා දෙළොවක් අතර
කියලා. මට මතක හැටියට ඒකෙ ටෝනි රණසිංහ අර විශ්වවිද්‍යාලවල සිංහල බෞද්ධ විරෝධී භාවය
පිළිබිඹු කරන විජිතපුර සටනට ගොස් එන ගැමුණු කුමරුට කවිය ටිකක් සභ්‍ය කරලා කියනවා.
නූතනත්වයේ ඉහළට යන්න බැරි වුණු ලෙස්ටර් පැරණි ඩික්මන් පාරෙ ඉඳගෙන එකල අප නූතනත්ව
ලෝකෙට ගෙන යන්න චිත්‍රපටි අධ්‍යක්‍ෂණය කළා. වෙදමහත්වරුන්ගෙ ගුරුවරුන්ගෙ දරුවන්ට ඒ
ලෝකෙට යන්න බැරි වෙලා. ඔවුන් දෙළොවක් අතර ඩික්මන් පාරෙ සංඥා එළි ළඟ කැරකෙන්නෙ
කිසිම සංඥාවක් නැතිව නමුත් ගැමුණු කුමරුට, සිංහල බෞද්ධ රාජ්‍යයෙ නිර්මාතෘවරයාට සමච්චල් කරමින්.