Main Logo

Wednesday, 16 May 2018

පළාත් සභා තබා ගනිමින් විධායකය අහෝසි කිරීම


පළාත් සභා තබා ගනිමින් විධායකය අහෝසි කිරීම



දි අයිලන්ඩ් පත්‍රයේ දින දෙකක් පුරා ලියූ ලිපියකින් සී ඒ චන්ද්‍රප්‍රේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් ඒකීය රාජ්‍යය නැති නොවන බවට තර්ක කරනවා. ඔහු ජාතිකවාදීන් ගැන විවේචනයක් ද කරනවා ජාතිකවාදීන් පළාත් සභා ක්‍රමය තබාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ වීම ගැන. ඔහු දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දු පදනම් කර ගෙන කියන්න හදනවා විධායක ජනාධිපති ක්‍රමය නැතිව පළාත්සභා තිබීමෙන් ඒකීය රාජ්‍යය ක්‍රමය අහෝසි නොවන බව.




චන්ද්‍රප්‍රේම ජාතිකවාදීන් කෙරෙහි විවේචනයක් එල්ල කරන්නේ ඔහු ජාතිකවාදියකු නොවන බව ව්‍යංගයෙන් නමුත් කියා පෑමෙන්. අපට එය වැදගත්. ඔහු ස්මාට් ජාතිකවාදියකුවත් නොවන්න පුළුවන්. එහෙත් ඔහු ගෝඨාභයට හිතවත් අයකු ලෙසයි සාමාන්‍යයෙන් ජනතාව මෙතෙක් දැන සිටියේ. ඔහු එළිය සංවිධානයෙහි මුල් රැස්වීමෙහි දයාන් ජයතිලක ආදීන් ද සමග වේදිකාවේ අසුන් ගෙන සිටියා. සමහර විට ඔහු තවමත් ගෝඨාභයට හිතවත් වෙන්න පුළුවන්. චන්ද්‍රප්‍රේමගේ අලුත් කතාව සමග ගෝඨාභය එකඟ වනවා ද නැද්ද කියා මා දන්නේ නැහැ.



චන්ද්‍රප්‍රේමටත් ඉතිහාසයක් තියෙනවා. අසූවේ දශකයේ අග ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුවකු ලෙස ලියා පදිංචිව සිටි බවයි ඇතැමුන් කිව්වේ. එමෙන් ම ඔහු එක්කෝ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ අනුගාමිකයකු හිතවතකු හෝ යම් ආකාරයක මතවාදී එකඟත්වයක් තිබූ අයකු හෝ බව කියැවෙනවා. එවැන්නන් සමහරකු එකල රාජිත, විජය කුමාරතුංග, රංජන් විජේරත්න ආදීන්ගෙන් ඇතැමකු සමග වෙන වෙන ම සම්බන්ධකම් පැවැත් වූ බව ද කියැවෙනවා. ඔවුන් ජ වි පෙරමුණට විරුද්ධ වුණා. චන්ද්‍රප්‍රේම භික්‍ෂුන් වහන්සේ ද විවේචනය කරමින් කොළපාට සමාජය ලිව්වා. ඔහු නීතිඥයකු ද කියා මා දන්නේ නැහැ. 



පසු ව ඔහු රාජපක්‍ෂලා සමග සම්බන්ධ වී සිටිනු දකින්න පුළුවන් වුණා. ඔහු තම අදහස් වෙනස් කර ගත්තේ ද එසේ කෙළේ කවර හේතු නිසා ද යන්න මා දන්නා තරමින් ප්‍රසිද්ධියේ කියා නැහැ. මා නම් හිතන්නේ යමකු එලෙස අදහස් වෙනස් කර ගත් විට ඒ බවත් එයට හේතු වූ කරුණුත් ප්‍රසිද්ධියේ කිව යුතුය කියා. මා මේ කරුණ රොහාන් ගුණරත්න සම්බන්ධයෙන් ද කියා ඇති. චන්ද්‍රප්‍රේම දේශපාලනඥයකු නම් ඔහුගෙන් එවැනි පැහැදිලි කිරීමක්  අවශ්‍ය නැහැ.



කෙසේ වෙතත් චන්ද්‍රප්‍රේමගේ තර්කය පදනම් වන්නේ නඩු තීන්දු මත. මේ සම්බන්ධයෙන් කිව යුතු ප්‍රධාන ම කරුණ නම් ජේ ආර් ජයවර්ධන පාරින්ද රණසිංහ විනිසුරුතුමාගේ තීන්දුව වෙනස් කර දහතුන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. දහතුනේ 154 G(2) (b) හා 154 G (3) (b) අනුව්‍යවස්ථා සම්මත කර ගැනීමට නම් තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමතවිචාරණයකින් සම්මත විය යුතු බව විනිසුරුතුමා කියා තිබුණා. එය වනසුන්දර විනිසුරුතුමා ඇතුළු විනිසුරුතුමන් හතර දෙනකුගේ ද තීන්දු සමග එකඟ වුණා. ඒ එම වගන්ති නිසා ඒකීය රාජ්‍යයට හානියක් වන බැවින්. එහෙත් ජේ ආර් ජනමතවිචාරණ කතාව පැත්තකට දමා අධිකරණයටත් හොරා දහතුන පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. ජේ ආර් විනිසුරුවරුන් පස් දෙනකුගේ තීන්දුවලට පටහැණිවයි දහතුන සම්මත කර ගත්තේ. අද ඒ අනුව්‍යවස්ථා එලෙස ම පවතිනවා. එමගින් පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක වන ජනතාවගේ ව්‍යවස්ථාදායක ස්වෛරීභාවයට කැළලක් වෙලා. අද ඇත්තේ ඒකීය රාජ්‍යයක් නො වෙයි. ඒකීය රාජ්‍යයක් අවශ්‍ය කියන අය පළමුව කළ යුත්තේ දහතුන ඉවත් කිරීමට කටයුතු කිරීමයි.



විනිසුරුතුමන්ලා විධායක ජනාධිපති ධුරය නැති කළහොත් ඒකීය රාජ්‍යයක් නැති වන බව කියා නැහැ. ඒක ඇත්ත. නඩු තින්දු දුන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කර තිබූ සංදර්භයක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් කුමක් වේද යන්න නඩු තීන්දුවල සලකා බලා නැහැ. එසේ සලකා බැලීමට වුවමනාවක් තිබුණේත් නැහැ. නඩු තීන්දුවලින් අවශ්‍ය වුණේ පළාත් සභා පිහිටුවීමෙන් ඒකීය රාජ්‍යයට සිදුවන්නේ කුමක් දැයි තීරණය කිරීම. විධායක ජනාධිපති ක්‍රමයක් නැතිව පළාත් සභා පිහිටෙව්වොත් කුමක් වේද යන්න අධිකරණයට ඒ අවස්ථාවේ ප්‍රශ්නයක් නො වෙයි. ඒ ප්‍රශ්නය මතුවන්නේ දැනුයි. එකල නොතිබූ තත්වයක් යටතේ තීන්දු දීමට අධිකරණයට අවශ්‍යතාවක් නැහැ. එකල නොතිබු තත්වයක් යටතේ අධිකරණය තීන්දු දී නැති බව කියමින්, ඒ නඩු තීන්දුවල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් ඒකීය රාජ්‍යයට හානි වන බවක් කියා නොතිබීම,  ඒ අවස්ථාවේ දී නොතිබූ එහෙත් අද පළාත් සභා පිහිටුවීමෙන් පසුව ඇති වී තිබෙන තත්වයන් යටතේ යොදා ගැනීම තර්ක විරෝධීයි.  මහින්ද රාජපක්‍ෂ චන්ද්‍රප්‍රේමගේ තර්ක සමග එකඟ වෙනවා දැයි දන්නේ නැහැ. එහෙම නම් එය ප්‍රශ්නයක්. අප පෞද්ගලික හේතු මත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හරි ජනාධිපති තෝරණ ක්‍රමය වෙනස් කිරීමට හරි කෙසේ නමුත් තර්ක හොයන්න ඕන නැහැ.



පළාත් සභා පිහිටුවීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය නිසා පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත් සභාවලට හිමි වීමට ගිය අවස්ථාවක් මග හැරී ගිය බවට මට අත්දැකීමක් තියෙනවා. සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවේ දී ඒ බලතල පළාත් සභාවලට හිමි කර දීමට විරුද්ධව මා කතා කළා. උදය ගම්මන්පිළ හැරෙන්න අනෙක් සියල්ලන් ඒ බලතල පළාත් සභාවලට හිමි කර දීමට කතා කළා. එය නිරාකරණය කර ගන්න බැරීව ජනාධිපති හමු වුණා. ඒ පක්‍ෂ නායකයන් ද සමග. පක්‍ෂ නායකයන් ද අපට විරුද්ධ වුණා. නිමල් සිරිපාලත් අපට විරුද්ධ වුණා. අන්තිමේ දී මහින්ද රාජපක්‍ෂ අප සමග හිටි නිසා පොලිස් හා ඉඩම් බලතල බේරුණා. පසුව අධිකරණයෙන් ඒ බලතල පළාත් සභාවලට හිමි කිරීමට විරුද්ධ තීන්දුවක් ලැබුණා. මේ ප්‍රශ්නය තවමත් විසඳිලා නැහැ. පාර්ලිමේන්තු පනතකින් ඒ බලතල පළාත් සභාවලට නැවත හිමිකරන්න බැරි නැහැ. යම්කිසි විධියකින් අද ඒ ප්‍රශ්නය මතුවෙලා පාර්ලිමේන්තුවෙන් තෝරණ ජනාධිපති කෙනකු හමුවීමට ගියහොත් කුමක් සිදුවේවි ද? තමන්ට බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුවෙන් බව දන්නා ජනාධිපති පාර්ලිමේන්තුවේ නැති දෙදෙනෙකුට පක්‍ෂ වෙයි ද? (එකල උදය පාර්ලිමේන්තුවේ නැහැ).



මේ ගැන තවත් කරුණු කියන්න පුළුවන්. එකක් පමණක් කියන්නම්. අද ආණඩුකාරයන්ට බලයක් ලැබෙන්නේ විධායක ජනාධිපතිගෙන්. මෙය විධායකය ඔස්සේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය ඉක්මවා යෑමක් ද නැද්ද කියන එක දැන් අදාළ නැහැ. එයට විරුද්ධ වෙන්න තිබුණේ 1978 දී.  අද අප කතා කරන්නේ අද තිබෙන සංදර්භයේ. අප විධායක ජනාධිපති ක්‍රමයට 1978 දී විරුද්ධ වුණත් අද පළාත් සභා ඇති විටෙක එය අහෝසි කිරීමට හෝ පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තේරීමට හෝ අප විරුද්ධයි. පාර්ලිමේන්තුවෙන් පත්වන ජනාධිපතිවරයකු පත්කරන ආණ්ඩුකාරයන් නිකමුන් වෙනවා. එවිට පළාත් සභා කිනම් ආකාරයකින් කටයුතු කරාවි ද?



චන්ද්‍රප්‍රේම එන්නේ හොඳ පොටකට නො වෙයි. මට තිබෙන ප්‍රශ්නය මෙයත් මුට්ටියක් ද කියා. ඒ කුමක් වුවත් මේ මතයට, ව්‍යාජ තර්කයට තදින් පහර දිය යුතුයි. මෙය මුළුමනින් ම දෙමළ බෙදුම්වාදයට තවත් ඉඩකඩ සපයන ව්‍යාජ තර්කයක්.