දහනවයට පෙර විස්ස
ඊයේ විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැල්ලා. එ ජා ප වෙනුවෙන් ජ වි
පෙ එය කතානායකට බාර දීලා. ජ වි පෙ සමග මාක්ස්වාදය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ.
ඔවුන් ඒ මළඉලවු මාක්ස්වාදය රටට ගලප්පන්න හැදුව කාලෙකට උඩ දි. ඔවුන් වරද්ද ගත්තට
මාක්ස්වාදය සමතික්‍රමණය කරන්නන් ගැන කතාකරන අද ඉන්න ව්‍යාජ පඬියන්ට (මේ පඬියන්ට හා
පඬි පෝතකයන්ට ඊනියා සමතික්‍රමණයක් ගැන හිතන්නවත් බැහැ. ඔවුන් කිසිම
නිර්මාණශීලිත්වයක් නැති අනුකාරකයන් අහිනක්. ඔවුන්ට පුළුවන් බටහිරයන් කියන දෙයක්
තමන්ට තේරෙන ආකාරයට අනෙක් අයට සිංහලෙන් කියන එක. බැරිවෙලාවත් ඉංගිරිසියෙන්
කිව්වොත් ඔවුන් විහිළුකාරයන් බව නොදන්න ඉංගිරිසියෙන් කියවන අයට මහා ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.) වඩා අඩු තරමෙන් රටට ගලප්පන්න හිතුවා.
ඔවුනුත් පඬියනුත් රනිලුත් ජීවත්වන්නෙ කිසිම හේතුවක් නැතිව අවුරුදු
මිලියන 13.7කට උඩ දි නිර්මාණය වෙච්ච ඊනියා
වාස්තවික ලෝකයක (විශ්වයක). එහෙම හේතුවක් නැතිව නිර්මාණය වන එක ඊනියා දාර්ශනික
හේතුවාදය සමග ගලප්පන්න විධියක් තියෙනවා ද? මේ පඬියන් එක්ක දර්ශනය කතා කරන්නෙ අහවල් දේකට ද? මේ පඬියන් බටහිර අය කියන දේ පමණක් උපුටා
දක්වන්නෙ බුද්ධිමතුන් හිටියෙ එහෙ විතරක් නිසා ද?
විස්සෙන් ජනාධිපති තෝරණ ක්‍රමය වෙනස් කරන්න යනවා. මුළු රට ම ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකන්නෙ නැතිව
පාර්ලිමේන්තුව ඡන්ද කොට්ඨාශය ලෙස සලකා ජනාධිපති පත් කරන්න හදනවා. එතකොට පුද්ගලයන්
හැටියට ඡන්ද බලය අඩු වැඩි වෙනවා. හතළිස්දාහක ඡන්දයෙන් (මනාපයෙන්) පත්වෙන මන්ත්‍රීවරයාටත්
හැටදාහක ඡන්දයෙන් පත්වෙන මන්ත්‍රීටත් තියෙන්නෙ එක ඡන්දයයි. ඒ මදිවට ඒ ඒ දිස්ත්‍රික්වලින්
මන්ත්‍රීන් තෝරණ කොට මේක තවත් අවුල් වෙනවා. එත් මදිවට ජාතික ලැයිස්තුවෙන් පත්වන
මන්ත්‍රීලත් ඉන්නවා. පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තේරීමේ දී ඒ ඒ පුද්ගලයාට එක එක
වටිනාකමෙන් යුක්ත ඡන්ද ලැබෙන්නෙ.
ජනාධිපතිගෙ බලතලත් කැපිලා. මා මෙය ලියන්නෙ කෙටුම්පත් පනත දැකලා
නොවෙයි ජනමාධ්‍යවල ඒ සම්බන්ධ වාර්තා කියවලා බව කියන්න ඕන. සමහර විට මේ කරුණුවල
වැරැද්දක් තියෙන්න පුළුවන්. රජයේත් අමාත්‍ය
මණ්ඩලයේත් නායකයා ජනාධිපති නොවෙයි අගමැති. අමාත්‍ය මණ්ඩලයෙ මුලාසනය අගමැතිට. මට
තේරෙන ආකාරයට ජනාධිපති අමාත්‍ය මණ්ඩලයෙ සාමාජිකයෙක් වෙන්නෙ නැහැ.
ජනාධිපතිගෙ බලතල අගමැති අමාත්‍යවරු ඊනියා ස්වාධීන කොමිසම්වලට,
ව්‍යවස්ථාදායක මණ්ඩලයට බෙදී යනවා. ජනාධිපතිට
තානාපතිවරු මහා කොමසාරිස්වරු ඇමති මණ්ඩලයෙ අනුමැතියට යටත් ව පත්කරන්න පුළුවන්.
එහෙත් ජනාධිපතිට පළාත් ආණ්ඩුකාරයන් පත් කරන්න පුළුවන්. විධායක බලතල නැති ජනාධිපති
කෙනකු පත්කරන ආණ්ඩුකාරයකුට තියෙන බලතල මොනවා ද? ඔහුට පළාත් සභාවක මහා ඇමති කියන දේ ප්‍රශ්න කිරීමකින් තොරව කරන්න
වෙනවා. පළාත් සභා තමන්ට ඕන විධියට වැඩ කරාවි.
ජ වි පෙ කියන්නෙ විධායක ජනාධිපති ක්‍රමයට රටේ තදබල විරුද්ධතාවක්
තියෙනවා කියලා. තිබුණ කියලා කිව්ව නම් හරි. පළාත් සභා ඇති කරන්න ඉස්සර බොහෝ දෙනෙක්
විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වුණු බව ඇත්ත. ඒත් පළාත් සභා ඇති කළාට පස්සෙ
තත්වය වෙනස් වුණා. අද පළාත් සභා තියාගෙන විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවාට
විරුද්ධ අය බොහොමයි. ජ වි පෙ ඒ අය ගැන දන්නෙ නැහැ. ජ වි පෙරමුණ හිතන්නෙ ඒ අයට වහල්
මානසික තත්වයක් තියෙනවා කියලා. ඒ අය අනුර හා රනිල් ගැන හිතන විධිය සමහර විට ජ වි
පෙ දන්නෙ නැතිව ඇති.
දැන් පනත නීතිපතිට යොමු කරලා. ඒ නීතිපති ගැන අපට තියෙන්නෙ ප්‍රසන්න
හැඟීමක් නො වෙයි. මෙරට හිටි සියළු නීතිපතිලා ගැන දන්නෙ නැති නිසා මේ නීතිපති
ආණ්ඩුවට පක්‍ෂව මත ප්‍රකාශ කළ ප්‍රධාන නීතිපති ද කියලා කියන්න බැහැ. නීතිපතිගෙ මතය
මොකක් වුණත් පනත ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරවන්න ඕන. මේ පනතෙන් ජනමාධ්‍යයෙ කියන
අන්දමට නම් ජනතාවගේ පරමාධිපත්‍යය වෙනස් වෙනවා. එහෙම වෙනස් කරන්න ජනමතවිචාරණයක්
තියන්න ඕන. ඒ පිළිබඳ ව අධිකරණ තීන්දුවක් තියෙනවා.
මේ පනත ගැන මෛත්‍රිපාල හා ගෝඨභය මොක ද කියන්නෙ. දහනවයෙ ජනාධිපතිවරණය
ගැන කතා කරන්න ඉස්සෙල්ල විස්ස ගැන කතාකරන්න වෙනවා. ගෝඨාභය වටා ඉන්න අයත් එක එක
තර්ක ගේනවා විධායක ජනපති බලතල ඉවත් කරන්න. මේ එච්චර හොඳ ලකුණු නො වෙයි. මා මේ ගැන
දැනටමත් ලියලා තියෙනවා.
විස්ස සම්මත වුණොත් දෙමළ ජාතිවාදයෙ මනදොළ සපුරාලනවා. එ ජා ප පනත
තමන්ගෙ නොවෙයි කියන්න බොරු සංශෝධන ඉදිරිපත් කරල පනතට ඡන්දෙ දේවි. ඒ සංශෝධන මගින් ජ
වි පෙ මගින් ඉදිරිපත් කෙරුණු පනතටත් එහා යන විධියට අගමැති බලතල අතට ගනීවි.
දහනවවැනි සංශෝධනයට අත උස්සලා මහින්ද කෙළෙ මහා වැරැද්දක්. එහෙම කිව්වා
ම මහින්දවාදියො මට බණිනවා. ඒ සමහරු 2015 දි
මහින්දට විරුද්ධව ඡන්දෙ දීපු අය. ඔවුන් 2005 දි නම් කළ දෙයක් නැතිව ඇති. එහෙත් මේ රටේ දේශපාලනයෙහි ඒ ඒ අයට
වැදගත් වන්නෙ මේ මොහොතෙ කියන දේ. ඔවුන් අනාගතයක් ගැන කල්පනා කරන්නෙ 2019 ජනාධිපතිවරණය දක්වා. විස්ස සම්මත වුණොත් 2019 ජනාධිපතිවරණය තියෙන්නෙ නැහැ.