ජාතිකත්වය බෙදීම හා රනිල්
මෙරට දේශපාලනයෙහි වම හා දකුණ යන්න අද වන විට ව්‍යාජයක් බවට පත්වෙලා.
වම දකුණ දේශපාලනයක් 1952ට ඉස්සෙල්ල තිබුණා. ඒ දේශපාලනයෙහි
ජාතිකත්වයක් තිබුණෙ නැහැ කියන්න බැහැ. එහෙත් ජාතිකත්වය වමේ මෙන් ම දකුණෙත් දකින්න
පුළුවන් වුණා. එකල එ ජා පක්‍ෂය එක් පැත්තකත් අනෙක් පැත්තෙ සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ
වගේ ම විප්ලවකාරී සමසමාජ පක්‍ෂයත් තිබුණා. විප්ලවකාරී සමසමාජ පක්‍ෂය කියන එක අද
ඉන්න අය දන්නෙ නැතිව ඇති. ඒකෙ නායකයා වුණෙ පිලිප් ගුණවර්ධන.
පිලිප් ගුණවර්ධන මාක්ස්වාදී ප්‍රවාද (තියරි) දැනගෙන හිටිය බුද්ධිමතෙක්.
ඔහු තමයි මෙරට මාක්ස්වාදයෙ පියා හැටියට හැඳින්වෙන්නෙ. ලංකා සමසමාජ පක්‍ෂය
පිහිටුවන්න මුල් වූ අය අතරෙ ප්‍රධානියා වුණෙ ඔහු. මා අහල තියෙන විධියට ඔහු පක්‍ෂයෙ
මණ්ඩලවල කතා කරන කොට ඩොරික් සූසා වැනි අය ගෞරවයෙන් අහගෙන ඉඳලා තියෙනවා. ඩොරික්
සූසාලා හෙක්ටර් අභයවර්ධනලා තමයි පක්‍ෂයෙ පසුකාලීන න්‍යායචාර්යවරුන් වුණෙ.
එක්සත් ජාතික පක්‍ෂයට කැමති වුණ ඇතැම් දෙනා ඩී එස් සේනානායකලාට පක්‍ෂපාති
වුණ අය. ඔවුන් ඩී එස්ලාගේ නිදහස් සටන අගය කළා. ඔවුන්ට පෙබරවාරි හතර වැදගත් දිනයක්
වුණා. ඒ අයගෙ ජාතිකත්වයක් නැහැ කියන්න බැහැ. සඟ වෙද ගුරු බලවේගයෙ සාමාජිකයනුත් එහි
හිටියා. ඔවුන් සුළු ධනේශ්වරය ආදී වශයෙන් වර්ග කරන එකේ කිසිම තේරුමක් නැහැ. එවැනි
වර්ගීකරණවල වලංගු බවක් නැහැ.
ඩී එස්ලා බටහිරට වන්දනාමාන කළ අය. ඔවුන් නූතනත්වයේ වුණත් ජේ ආර්ගෙ
තාත්තලා තරම් නූතනත්වයෙ අය නො වෙයි. ඩී එස් ඇන්දෙ පැළැන්දෙ ඉංගිරිසිකාරයෙක් වගේ. ඒ
මදිවට ඔහු ටොප්හැට් වලිගකබා ආදියෙනුත් සැරසිලා හිටියා. නව ලිබරල්වාදය ගැන කතාකරන
වත්මන් තරුණ තරුණියන් මේ ඇඳුම් දන්නෙ නැතිව ඇති. ඩී එස් අසුන් පිට යන්නත් දැනගෙන
හිටියා. ඔහු මියගියෙත් අසු පිටින් ඇද වැටිලා. ඒත් ඩී එස්ගෙ යම් ගැමිකමක් තිබුණා. අර
කුමාරි ජයවර්ධනගෙ පොතේ සම්බොඩීස්ලා වුණු නෝබොඩීස්ලා හැටියට හැඳින්වුණෙ ඩී එස්ල වගේ
අය. වරක් එකල පුවත්පත් කතුවරයකු වූ ඩී බී ධනපාල කිව්වෙ ඩී එස්ගෙ ටයි කෝට් යට හොඳ
ගැමියෙක් උන්න කියලත් බණ්ඩාරනායකගෙ රෙද්ද බැනියම යට හොඳ ඉංගිරිසිකාරයකු හිටිය
කියලත්. ඩී එස්ලා ජේ ආර්ලා බණ්ඩාරනායකලා මේ සියල්ලන් ම කලක ඇංග්ලිකන් ක්‍රිස්තියානි.
පස්සෙ ඔක්කොම බෞද්ධ වෙලා.
බටහිර සමාජයීය විද්‍යා ස්වාභාවික විද්‍යා වගේ නොවෙයි. බටහිර ස්වාභාවික විද්‍යාවන්හි වර්ග කිරීම
සාධාරණීකරණය පහසුයි. වියුක්තකරණයත් පහසුයි. එය සර්ව සම්පූර්ණ කියා මා කියන්නේ
නැහැ. සියළු වස්තු පොළොව ආසන්නයේ දී පොළොවට වැටෙනවා වගේ සාධාරණීකරණයක් කරන්න
සමාජයීය විද්‍යාවන් හි අපහසුයි. එහෙත් සමාජයීය විද්‍යා ද ස්වාභාවික විද්‍යා මගෙහි
ම වැටි වැටී යන්න හදනවා. නැත්නම් මුළු ලෝකෙට ම එක ම විධියක සමාජ විකාශයක් තියෙනවා
කියා හිතාවි ද? දේශපාලනයෙහි සාධාරණ වර්ගීකරණ ප්‍රවාද
බලාපොරොත්තු වෙන්න එපා.
ඩී එස්ලාටත් යම් නිදහසක් අවශ්‍ය වුණා. එහෙත් ඔවුන් එය ඩොමීනියන්
තත්වයේ තියා ගත්තා. ඔවුන් එංගලන්තයේ රජු මෙරටත් රජු ලෙස නිදහසෙන් පසුත් පිළිගත්තා.
ඔවුන් ඉන්දියාවට බය වුණා. ඉන්දියාවෙන් බේරෙන්න ලංකාවෙ කටුනායක ත්‍රිකුණාමල කඳවුරු
ඉංගිරිසින් යටතෙ ම තියෙන්න ඇරිය. ඉන්දියාවෙත් බලාපොරොත්තුවක් නොතිබුණා නොවෙයි
ලංකාව තම ප්‍රාන්තයක් කර ගන්න. මා එයින් අදහස් කරන්නෙ ඉංගිරිසින්ට කඳවුරු තියා
ගන්න දුන්න එක යුක්ති යුක්ත කරන්න නො වෙයි. කොහොමටත් ලංකාවෙ වැඩි පිරිසක් ඩී
එස්ලාගෙ නිදහස් සටන පිලිගත්ත.
සමසමාජ පක්‍ෂය තිස් ගණන්වල ආරම්භ කලෙ පූර්ණ නිදහස දිනාගන්න. එය තමයි
ලංකාවෙ පැරණි ම දේශපාලන පක්‍ෂය. ඔවුන් තම නිදහස් සටන කම්කරු පංති නායකත්වයෙන්
අධිරාජ්‍යවාදයට විරුද්ධ ව කරන්න සංවිධානය වුණෙ. ඔවුන් අධිරාජ්‍යවාදය කියලා කිව්වෙ
ලෙනින් අර්ථදක්වපු අධිරාජ්‍යවාදයට. ඔවුන් ජාතිකත්වයක් ගැන කතා කෙළෙ නැහැ. ඔවුන්ගෙ
නිදහස් සටන පංති අරගලයෙ ම කොටසක් වුණා. මේ අරගලයටත් ජාතිකත්වය ඇති සඟ වෙද ගුරු
සහායක් සුළු පමණින් ලැබුණා. එහෙත් සඟ වෙද ගුරු වැඩි පිරිසක් හිටියෙ ඩී එස්ලා එක්ක.
බණ්ඩාරනායක සිංහල මහා සභාවක් හදලා තිබුණා. හතළිහේ දශකයේ මුල එ ජා පක්‍ෂය
හැදුවෙ විවිධ කණ්ඩායම් සභා එකතු වෙලා. සිංහල මහා සභාවෙ අයත් එ ජා පක්‍ෂයට ගියා.
ඉතා පැහැදිලිව එ ජා පෙ විවිධ පුද්ගලයන් අතර විවිධ මට්ටමේ ජාතිකත්ව තිබුණෙ. එ ජා
පක්‍ෂයෙන් කැඩිලා ශ්‍රී ල නි ප පිහිටුවීම මෙරට දේශපාලනයේ සන්ධිස්ථානයක් වුණා. එය
ජාතිකත්වයෙ පක්‍ෂය බවට පත්වුණෙ 1952දි.
ඉන්පසු ඔවුන්ගෙ ඡන්ද පදනම වැඩි වෙන්න පටන් ගත්ත.
මේ වන විට අප අමතක නොකළ යුතුයි විවිධ ජාතිකත්ව කණ්ඩායම් තිබුණ බව.
භාෂා පෙරමුණ, හෙළ හවුල ආදිය ඉන් ප්‍රධානයි. හෙළ හවුල
සිංහලකම ඉස්මතු කළා. එයට කලින් ඕල්කට් බෞද්ධයන් බෞද්ධකම ඉස්මතු කරලා තිබුණා.
ධර්මපාලතුමා සිංහල බෞද්ධකම ගැන කතා කළා. මේ අතර පිලිප් ගුණවර්ධනත් ජාතික පැත්තට
සේන්දු වෙමින් හිටියා. එතුමා පසුව පුස් කෑ මාක්ස්වාදී පොතපත ගැනත් කතා කළා. එහෙත්
මාක්ස්වාදයෙන් සම්පූර්ණයෙන් ම කැඩුණෙ නැහැ. 1956 ආසන්නයේ ම එ පෙරමුණ පිහිටුවා ගත්තෙ ශ්‍රී ල නි ප, විප්ලවකාරී සමසමාජ පක්‍ෂය, භාෂා පෙරමුණ ආදිය එකතුවෙලා. එහි නායකයන් අතර
බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන, අය එම් ආර් ඒ ඊරියගොල්ල ආදීන් හිටියා.
ම එ පෙරමුණ 1956 දි බලයට පත් වුණා. එදා ඉඳලා මෙරට වම
වැටෙන්න පටන්ගත්තා. පසුව බණ්ඩාරනායක ඝාතනයෙන් පසු විප්ලවකාරි සමසමාජ පක්‍ෂයට ම එ
පෙරමුණු සංධානයෙන් අයින් වෙන්න සිද්ධ වුණා. ශ්‍රී ල නි පක්‍ෂය වෙන ම දේශපාලනයක්
කළා. ජාතිකත්වය එදා බෙදී ගියා. එහි වාම දකුණ භේදයක් තිබුණා. එහෙත් 1964 සමසමාජ පක්‍ෂය ශ්‍රී ල නි පක්‍ෂය සමග එක්වෙලා
සංධානයක් පිහිටුවා ගත්ත ම වම නැතිවෙන්න
පටන් ගත්තා. ඇත්තට ම වම ජාතිකත්වය යටතට පත්වෙන්න පටන්ගත්තා. පසුව කුඩා කණ්ඩායම්
ඊනියා වමක් ගොඩනගන්න උත්සාහ කළා. ජ වි පෙ පමණක් එහි යම් සාර්ථකත්වයක් දැක්කා.
එහෙත් ඔවුන් උරුම කරගත්තෙ මිනීමැරීම. 1990න් පසු ඔවුන් අවතාරයක් පමණයි. අද වම තකුණ ඇත්තෙ හමුදා සරඹවල පමණයි.
අදත් ජාතිකත්වය බෙදිලා. ඒ බෙදීම නිසා විජාතික රනිල් බලයේ ඉන්නවා. 2019
වන තුරු බලා ඉන්නෙ නැතිව අද ම රනිල් ඉවත් කරන්න
පුළුවන්. 2019 වන තුරු බලා සිටියොත් රනිල් බලයෙන් පහ
කිරීම පහසු වන්නෙ නැහැ.