සිංහල ලිත් ඉලක්කම්
දෙමළ ජාතිවාදය ගැන නූගත් පාඩම් හා නව කොරෝනාව
නැවතත් ඇතැම් තැන්වල පරණ කතා ඇහෙනවා. උගත් පාඩම් හා සංහිඳියා කමිටුවේ (LLRC) සාක්‍ෂි දීමට ගිය මා කමිටුවට අවශ්‍ය සාධක සමග පෙන්වා දී හිටියේ දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නයක් අසාධාරණයක් නොමැති බවයි. මගේ සාක්‍ෂිය අවසානයේ කමිටුවේ එක් සාමාජික මහතකු කියා සිටියේ එය එසේ වුවත් අප දෙමළ කතා කරන ජනයාට යමක් දිය යුතු බවයි!
මේ දිනවලත් මට ඒ කතාව එතැන ම විවිධ ස්වරූපවලින් අසන්නට ලැබෙනවා. දැන් මෙහෙ ම කතාවක් මට අහන්න ලැබෙනවා. ඔවුන්ට අනුව දෙමළ කතාකරන ජනයාට එවැනි විශේෂිත අසාධාරණයක් නැති වෙන්න පුළුවන්. එහෙත් අප එය, එනම් අසාධාරණයක් ඇති බව පිළිගන්න ඕන! මෙවැනි කතා කියන්නේ ඊනියා උගතුන්. ඔවුන් ඉහළ තනතුරු දැරූ, දරණ අය. ඔවුන්ට පුළුවන් ආණ්ඩුවට විශාල බලපෑමක් කරන්න.
මේ කතාව පරණ ම පරණ කතාවක්. උගත් පාඩම් හා සංහිඳියා කමිටුව පත්කරනු ලැබුයේ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව. ඒ කමිටුව පත් කිරීම ම වරදක්. එය පත් කෙරුණේ ඉන්දියාවේ හා බටහිර අවශ්‍යතාවට. නන්දිකඩාල් යනු හුදු හමුදා ජයග්‍රහණයක් නො වෙයි. එය අවුරුදු දෙසියයක් පමණ පැරණි දෙමළ ජාතිවාදයක පරාජයක්. දෙමළ ජාතිවාදය ඇති කරනු ලැබුයේ ඉංගිරිසින් විසින්. ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා කෘතියේත් ඉන්පසු ව ලියැවුණු ලිපිවලත් 1829 පමණ කාලයේ සිට ඉංගිරිසින් සිංහලයන්ට විරුද්ධ ව දෙමළ ජාතිවාදය ඇති කළ ආකාරය විස්තර කෙරෙනවා.
පසුගිය දවස්වල පියසිර අමරකෝන් පෙන්වා දුන්නේ ඉංගිරිසින්ගේ ක්‍රියාවලිය 1802 පමණ කාලයක් දක්වා දීර්ඝ කළ හැකි බවයි. 1802 පමණ සිට විකාශය වූ (විකාශය කෙරුණු) දෙමළ ජාතිවාදය නන්දිකඩාල්හි පරාජය කෙරුණා. එසේ පරාජය කෙරුණේ දෙමළ කතාකරන ජනයාට යමක් දිය යුතු ය යන්නත් සමගයි. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු තවත් දෙමළ කතාකරන ජනයාට දිය යුතු දේ ගැන කතා කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. නන්දිකඩාල් ජයග්‍රහණයත් සමග සියල්ල අවසන් වුණා.
එහෙත් අවාසනාවකට එකල ආණ්ඩුව එසේ සිතුවේ නැහැ. ඔවුන් විජාතික බලවේගවලට හිස නැමුවා. ඉන්දියාව හා බටහිර රටවල් නන්දිකඩාල් ජයග්‍රහණය දෙමළ ජාතිවාදයේ පරාජයක් ලෙස සැලකුවේ නැහැ. ඔවුන් ආණ්ඩුවට බලපෑම් දැමුයේ දෙමළ ජාතිවාදයේ ඉල්ලීම් ලබා දෙන ලෙසටයි. මෙරට නිලධාරීන් ද සිටියේ එතැනයි. ඔවුන් දෙමළ ජාතිවාදයේ විකාශය හදාරා තිබුණේ නැහැ. ඔවුන් දැන ගෙන සිටියේ පඬි කතා කීමට පමණයි. දෙමළ ජාතිවාදයේ පටන් ගැනීම 1956 ද 1983 ද ආදී වශයෙන් එකිනෙකා කියන බවත් ඒ නිසා ආරම්භයක් ගැන කතා කිරීම අනවශ්‍ය බවත් ඔවුන් කියා සිටියා. එහෙත් ඔවුන් ඩොනමෝර් යුගයේත් ජාතිවාදී දේශපාලන තිබූ බවට ඔවුන්ගේ ම අයකු වූ ජේන් රසල් Communal politics
under the Donoughmore Constitution, 1931-1947 හි කියන දේ අමතක කරනවා. අප කියන්නේ දෙමළ ජාතිවාදී දේශපාලනය දහනවැනි සියවසේ මුලත් තිබුණු බවයි.
දහතුන්වැනි සංශෝධනය පමණක් නොව චන්ද්‍රිකාගේ පැකේජය ද ගෙනෙනු ලැබුයේ දෙමළ කතාකරන ජනයාට ඇතැයි කියන ඊනියා අසාධාරණවලට පිළියමක් වශයෙන්. දහතුන ඉන්දියාව විසින් අප මත බලයෙන් පටවන ලද්දක්. ජේ ආර් ජයවර්ධනගේ නිවටකමට ගාමිණී දිසානායක වැන්නන්ගේ මැදිහත් වීමෙන් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරුණා. දහතුන යම් තරමක් හරි ක්‍රියාත්මක වූයේ ඉන්දියාව ජේ ආර් මත ඇති කළ බලපෑම නිසයි.
මෙරට උගතුන්ට පුළුවන් බටහිරයන් කියන දේ පුනරුච්චාරණය කිරීම පමණයි. ඔවුන් දහතුන ගැන කියන්නේ අතනින් මෙතනින් කරන සුළු සුළු වෙනස්කම් ගැන. එක්කෝ සමගාමී ලැයිස්තුව සංශෝධනය කරන්න කියාවි. එහෙම නැත්නම් පළාත් සභාවලට තවත් බලතල දෙන්න කියාවි. ඊනියා දෙමළ ප්‍රශ්නය ගැන ඔවුන් කියන්නේ බටහිරයන් හරි ඉන්දියාව හරි කියන දේ පමණයි. අපට ඒ සම්බන්ධ අපේ දැනුමක් තියෙන බව ඔවුන් පිළිගන්නේ නැහැ.
එදා ප්‍රභාකරන් හා ත්‍රස්තවාදීන් දිනා ගැනීමට ඔවුන්ට යම් යම් දේ දිය යුතු යැයි කී මේ ඊනියා උගතුන් අද කියන්නේ මධ්‍යස්ථ දෙමළ ජනයා දිනා ගැනීමට මොනවා හරි කරන්න ඕන කියා. ඔවුන් දිනා ගන්න දෙයක් නැහැ. ප්‍රශ්නය විසඳා ඉවරයි. දෙමළ ජාතිවාදය අද පවතින්නේ ඉංගිරිසින්ගේ පිහිටෙන්. පිටරටවල විශේෂයෙන් ම යුරෝපයේ ඉන්න දෙමළ ජනයා මෙහෙයවෙන්නේ ඉංගිරිසින් විසින්. ඩේවිඩ් කැමරන් මෙරටට පැමිණ නැටූ නාඩගම මතක් කර ගන්න.
රටේ වාසනාවට බහුතර සිංහලයන් සිතන්නේ උගතුන් මෙන් නො වෙයි. ප්‍රභාකරන් පරාජය කරන්න පුළුවන් බව ඔවුන් දිගින් දිගට ම කියා සිටියේ උගතුන් එසේ කිරීමට බැහැ කියද්දී. ගෝඨාභය රාජපක්‍ෂට සිංහල ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියද්දී සාමාන්‍ය සිංහලයන් ප්‍රායෝගිකව ම පෙන්වා සිටියා එසේ කළ හැකි බව. අප උගතුන්ට යට නොවිය යුතු යි. උගතකු යන සාමාන්‍යයෙන් ගත්ත ම බටහිර දැනුමක් ලැබූ අයකු. ඔවුන්ට බටහිරයන් හිතන හැටියට හැර වෙනත් ආකාරයකට හිතන්න බැහැ. ඔවුන්ගේ සංකල්ප ප්‍රවාද සියල්ල නිර්මාණය වන්නේ බටහිර.
මේ උගතුන් සමහරු ගමෙන් පැමිණි අය. එහෙත් ඔවුන් ගමට (දැනුම වශයෙන්) යන්නේ නැහැ. නව කොරෝනාව සම්බන්ධයෙන් නම් ඔවුන්ට ගමට යන්න සිද්ධ වෙලා. මේකත් දෙයියන්නෙ ලෙඩක්. කරන්න තියෙන්නෙ ප්‍රතිශක්තීකරණය (ඔරොත්තු දීමේ ගුණය) වැඩි කර ගන්න එක පමණයි. ඒ සඳහා සාම්ප්‍රදායික දැනුම යොදා ගන්න පුළුවන්. අපේ උරුමය අපට මතක් වෙන වෙලාවල් තියෙනවා.