තුනෙන්
දෙකක් සඳහා
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග, සමහර
විට දැනටමත් මනාප පොරය පටන් අරන්. ඒ තමන්ට ඒ ඒ පක්‍ෂවල දිස්ත්‍රික්ක ලැයිස්තුවල
අපේක්‍ෂකත්වය ලැබී අය අතර. අනෙක අය අපේක්‍ෂකත්වය සඳහා පොර කනවා. උකුස්සන් හා දියකාවන් ඩැහැගන්න
යන්නෙ ඡන්දදායකයා කියන මාළුවා බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මාළුවන් ද දියකාවන් හා උකුස්සන් වෙනස්
කරනවා. පසුගිය කාලයේ එසේ වෙනස් කළා.
අද අවශ්‍ය වන්නෙ මිළඟ මැතිවරණයෙන් ජනාධිපති
ගෝඨාභය රාජපක්‍ෂට තුනෙන් දෙකක බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් ලබා දීම. ඒක පහසු
කාර්යයක් නොවූවත් කරන්න බැරි දෙයක් නොවෙයි. සකර්බර්ග් වම (මුහුණු පොතේ කෙකර
ගාන්නන්) ඇතුළු පුස් කෑ වම මොනවා කරත් කිවුවත් අද සිංහල බෞද්ධ ජාතිකත්වය ඉදිරියට
ඇවිල්ල. ඒ සමහරුන් හිතන විධියට පාස්කු ප්‍රහාරයෙන් සිද්ධ වෙච්ච දෙයක් නො වෙයි. අද එ ජා පක්‍ෂය අර්බුදයට ගිහින්
තියෙන්නෙ සිංහල ජාතිකත්වයට මුහුණ දෙන්නෙ කොහොම ද කියන එක විසඳගන්න බැරුව.
තවත් සමහරු හිතන්නෙ වාචාල කතා කීමෙන් සිංහල
බෞද්ධ ජාතිකත්වය ඉදිරියට ගෙනාවා කියල. එහෙත් මේ වාචාල කතා කියන්නන් සිංහල
බෞද්ධකමක් ගැන කියන්නෙ නැහැ. සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත ඇති කිරීම ගැන තබා සිංහල
බෞද්ධ රාජ්‍යයක් තිබුණු බවක්වත් ඔවුන් කියන්නෙ නැහැ. ගත් කටට ඔවුන් සිංහල දෙමළ
මුස්ලිම් මැලේ කතාව වැල නොකැඩී කියවන්නේ ඒ සියළු සංස්කෘතීන් ජන කොටස් සමාන ලෙස
ගැනීමෙන්. මෙරට විවිධ ජන කොටස් ඉන්න බවත් ඔවුන් සියල්ලන්ගෙ සුභසිද්ධිය වෙනුවෙන්
වැඩ කළ යුතු බවත් පිළිගන්නා දෙයක්. එහෙත් මෙරට විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ
සංස්කෘතියයි. මේ කරුණ වාචාල කතා කියන්නන් පිළිගන්න බවක් නම් කියැවෙන්නෙ නැහැ.
සකර්බර්ග් වම ඇතුළු පුස් කෑ වම මෙරට බහු
සංස්කෘතික රටක් කියන්නෙ මෙරට විශේෂිත සංස්කෘතියක් ඇති බවත් ඒ සිංහල බෞද්ධ
සංස්කෘතිය බවත් යන අර්ථයෙන් නම් අපට ප්‍රශ්නයක් නැහැ. එහෙත් කිසිවකු එයට වෙනස්
අර්ථයකින් ඒ බව පවසනවා නම් අප එයට විරුද්ධ වෙනවා. මෙරට අද වන විට සිංහල බෞද්ධ
සංස්කෘතිය විශේෂිත සංස්කෘතිය බව පිළිගන්නා තත්වයකට පත් වී ඇත්තේ ඒ සඳහා කරන ලද
අරගලයකින් පසුවයි. අද ඊනියා වම මුහුණු පොතට හා අනුරදාසට සීමා වෙලා. එය 3%න්
පහතට වැටෙන්නේ සියළු වාර්තා බිඳ හෙළමින්.
කොළඹ විශ්වවිද්‍යාලයෙ ජාතික චින්තනයට පහර පිට
පහර දෙද්දී, විශේෂයෙන් ම ඔබසර්වර් පත්‍රයේ කතෘ මහින්දපාල තම
පුවත්පතෙන් විවිධාකාරයෙන් පහර දෙද්දී, අනුරුද්ධ තිලකසිරි නමින් දයාන් ජයතිලක
ලවා ලියවන ලද ලිපි පළකරද්දී, සිළුමිණ ඒ ලිපි සිංහලට පරිවර්තනය කර පළ
කරද්දී, ජී එල් පීරිස් ජාතික චින්තනයට විරුද්ධ ව කොළඹ
විශ්වවිද්‍යාලයේ දී දඩබල්ලන් මෙහෙයවද්දී, ගුණදාස අමරසේකර දැන් ඔය ජාතික චින්තනය අත්හැර දමමු කියද්දී
අප එය අත්හැර දැමුවේ නැහැ. ඒ අවුරුදු තිහකට පමණ පෙර.
කලක් සිංහල බෞද්ධ යැයි කීම ඇතැමුන්ට ලජ්ජා වීමට
හේතුවක් වුණා. බොහෝ අය සිංහල බෞද්ධ රාජ්‍යයක් තබා සිංහලත්වයක් ගැන කතා කිරීමට බිය
වූවා. මෙරට ඊනියා ශාස්ත්‍රීය ආධිපත්‍යය තිබුණේ විශ්වවිද්‍යාලවලින් බිහි කෙරුණු
බටහිර ගැති පුහු උගතුන්ට. අපට මේ සියල්ල නැති කිරීමට පුළුවන් වුණා. ජාතික ව්‍යාපාරයට
ෙසෙද්ධාන්තික පදනමක් ඇති කෙරුණා.
සිද්ධියෙන් සිද්ධියට නොයා මෙරට සමාජ තත්වය
තේරුම් ගැනීමට කතන්දරයක් නිර්මාණය කෙරුණා. ඒ කතන්දරය නැතුව බටහිර දැනුම් ආධිපත්‍යය
බිඳින්න බැහැ. බුදුහාමුදුරුවන් කතන්දර හැදුවේ නැහැ. එහෙත් පස්වැනි සියවසට පෙර අප
කතන්දර හැදුවා. පස්වැනි සියවසේ දී එය නැවත්තුවා. එදා සිට අප වැටුණා. අප පෘතුගීසීන්ගෙන් ඉගෙන ඔවුන්ට වඩා හොඳ තුවක්කු
හදා පෘතුගීසීන්ට ම ගැහැව වගේ අප බටහිරයන්ට
වඩා හොඳ කතන්දරයක් හැදුවා. ඒ කතන්දරය අද බටහිරයන්ටත් ඔවුන්ගේ අනුකාරකයන්ටත් විඳ
දරා ගන්න බැහැ.
සිංහල ඡන්දවලින් පමණක් බලයට පත්වුණු ගෝඨාභය
රාජපක්‍ෂ යනු අපේ කතන්දරයට අනුව පමණක් පරාද කරන්න පුළුවන් කී කොටි ප්‍රායෝගික ව
පරාද කළ තැනැත්තා. ඔහු තමයි මෙහෙයුම් සැලසුම් කෙළේ. සිංහල බෞද්ධ රාජ්‍යයක් යළි
ගොඩනැගීමට අප කටයුතු කරන්නේ ඊනියා සභ්‍යත්ව රාජ්‍යය නමැති මාටින් යක්ගේ සංකල්පයට
අනුව නොවෙයි. අපට සිංහල බෞද්ධ රාජ්‍යය නැවත ඇති කරන්න පුළුවන්. ඉදිරි පස්
අවුරුද්දේ එය කරන්න බැරි වේවි. එහෙත් ඒ වැඩ පිළිවෙළ ආරම්භ කිරීම සඳහා සුදුසු
පාර්ලිමේන්තුවක් පත් කර ගන්න ඕන. මේ මැතිවරණයෙන් පත් කෙරෙන පාර්ලිමේන්තුව සුදුසු ම
පාර්ලිමේන්තුව වෙන එකක් නැහැ. මෙය ආරම්භයක් පමණයි.
දැන් අප ජෙනීවා බැඳීම්වලින් නිදහස්. සයින්දමරදු
මරු කටින් එළියට ඇවිත්. එම් සී සී ගිවිසුම අත්සන් කිරීම අත් හිටුවලා. ඒ වාචාල
කතාවල නොව බටහිරයන්ට විරුද්ධ ව ගොතන ලද කතන්දරයකත් ප්‍රතිඵල. එය තවදුරටත් ඉදිරියට
ගෙන යන්න ඕන. අප අනෙක් ථෙරවාද රටවල් සමගත් එකතු වෙන්න ඕන. ඒ අතර අප මැතිවරණයෙන්
ගෝඨාභය රාජපක්‍ෂට තුනෙන් දෙකක බලයක් දෙන්න උත්සාහ කරන්න ඕන.
ඒ සඳහා සිංහලත්වය තව තවත් ඉදිරියට ගෙන යන්න ඕන.
ජනාධිපතිවරණයේ දී සිංහලයන්ගෙන් 70%ක් පමණ සිංහලත්වය වෙනුවෙන් ඡන්දය
දුන්නා. ඊනියා සුළු ජන කොටස්වල ඡන්දය වෙනුවෙන් ගණුදෙනු දේශපාලනයක් අවශ්‍ය නැහැ.
ඔවුන්ගේ ඡන්දය නැතිවාට ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඒ කියන්නේ අප ඔවුන්ගේ සුභසිද්ධිය
අමතක කරන බවක් නොවෙයි. සකර්බර්ග් හා වෙනත් වම්මුන්ට නොතේරුණත් දිනේෂ් ගුණවර්ධන
ජෙනීවාහි දී කියා ඇත්තේ එයයි.
තුනෙන් දෙක ලබා ගැනීම සඳහා තව තවත් සිංහලත්වය
වෙනුවෙන් කතා කරමු. උකුස්සන් හා දියකාවන් බොර දියේ මාළු බන්න ලැහැස්ති වේවි. අපි
මාළු වෙනුවෙන් කටයුතු කරමු. මාළු වෙනුවෙන් වැව් පිරිසිදු කරමු. ඒ බැකෝ යොදා ගෙන
නොවෙයි. අපි අපේ වැව් තාක්‍ෂණයට යමු. වැව ඇත්තේ බටහිර තාක්‍ෂණයට පිටින්. එහි දී
බර්නූලිගෙන් වැඩක් නැහැ. වකුගඩු රෝගයට සිංහල ප්‍රතිකාර තියෙද්දී බටහිර වෛද්‍ය විද්‍යාව
මත පමණක් යැපී අප රෝගීන් මිය යෑමට සලස්වනවා. අප අවශ්‍ය තැන්වල බටහිර දැනුම අපට
අවශ්‍ය පරිදි යොදා ගනිමු.
සිංහලත්වයට නිසි අයුරින් කතා කළොත් තුනෙන් දෙකේ
බහුතරයක් ගෝඨාභය රාජපක්‍ෂට ලබා දී ඔහු ශක්තිමත් කළ හැකියි. ඔහුට බොහෝ අයට නැති
ජාතිකත්වයක් තියෙනවා. පාර්ලිමේන්තුව විවෘත කිරීම අනරාධපුරයේ කරන්න පුළුවන්.
පාර්ලිමේන්තුව නැවතත් අනුරාධපුරයට හරි මැදවච්චිය වැනි ප්‍රදේශයකට පාලන තන්ත්‍රයත්
සමග ගෙන යන්න පුළුවන් නම් හොඳයි. එය ඊනියා වියළි කලාපයක් නොවෙයි. වියළි කලාපය යන්න
සුද්දන්ගේ වියළි වචන. ඔවුන් රජරටත් අපේ දැනුමත් හෙළා දැක්කේ එවැනි වචන යොදා
ගැනීමෙන්.