Main Logo

Monday 16 March 2020

ගෝඨාභයගේ වගකීම

 සිංහල ලිත් ඉලක්කම් 


ගෝඨාභයගේ වගකීම 



මා මෙතෙක් කොරෝනාව ගැන එතරම් දෙයක් ලියා නැහැ. පෙරේදා පළ වූ ලිපියේ අවසානයේ මේ කෙටි සටහන දැක්වෙනවා. දෙමළ ජාතිවාදය ගැන නූගත් පාඩම් හා නව කොරෝනාව යන මැයෙන් ලියූ ලිපියේ අවසන් ඡෙදයේ මෙසේ සඳහන් වෙනවා.  “මේ උගතුන් සමහරු ගමෙන් පැමිණි අය. එහෙත් ඔවුන් ගමට (දැනුම වශයෙන්) යන්නේ නැහැ. නව කොරෝනාව සම්බන්ධයෙන් නම් ඔවුන්ට ගමට යන්න සිද්ධ වෙලා. මේකත් දෙයියන්නෙ ලෙඩක්. කරන්න තියෙන්නෙ ප්‍රතිශක්තීකරණය (ඔරොත්තු දීමේ ගුණය) වැඩි කර ගන්න එක පමණයි.  ඒ සඳහා සාම්ප්‍රදායික දැනුම යොදා ගන්න පුළුවන්. අපේ උරුමය අපට මතක් වෙන වෙලාවල් තියෙනවා."


මෙය දෙමළ ජාතිවාදය ගැන පාඩම් ඉගෙන නොගත් අනුකාරකයන් ගැන කීමෙන් පසු ලියූ කෙටි සටහනක් පමණක්. එහෙත් පඬි නැට්ටකුට අනුව මා කොරෝනාව ගැන ලියන්න ගොස් වෙනත් දෙයක් ගැන ලියා තියෙනවා. පඬි නැට්ටන්ගේ අවබෝධය එබඳුයි. කොරෝනාව ගැන ඉඩක් ලැබුණු විටක කියන්නම්. දැනට කීමට ඇත්තේ ඉතා පැහැදිලි ව බටහිර විිද්‍යාවට නව කොරෝනාව වැළඳී ඇති බවයි. කෝ මේ විද්‍යාත්මක විධික්‍රමය. බටහිර විද්‍යාව අද අසරණ වෙලා. 

බටහිර විද්‍යාඥයන් (ලංකාවේ විද්‍යාඥයන් නැහැ) අනුගමනය කරන්නේ රාජා හෝ ගංගා හෝ මා හෝ ප්‍රතිපත්තිය. අද එය ක්‍රියාත්මක වන්නේ නැහැ. වෛරසයේ ව්‍යුහය දැනගත්තත් (නිර්මාණය කරගත්තත්) ඒ දැනුම අනුව එන්නතක් තනා ගන්න බැහැ. මේ දවස්වල මෙන්න මේ හතර පදේ නම් අහන්න ලැබෙනවා. කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නේ, නැන්දයි පුංචියි රණ්ඩු කරන්නේ, මොකට ද මොකට ද රණ්ඩු කරන්නේ, ටොයිලට් කොලේට රණ්ඩු කරන්නේ.   

සාමාන්‍ය පෙළෙන් පසු බටහිර විද්‍යාව නොහැදෑරු අය බටහිර විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා. නිරෝධායනය ප්‍රතිකාරයක් නොවෙයි. මොන විධියට බැලුවත් ඒක වෙන් කිරීමක්. රෝගීන් සම්බන්ධයෙන් එක් විධියකටත් රෝගය ගැන සැකකරන්නන් සම්බන්ධයෙන් තවත් විධියකටත් ක්‍රියාත්මක වෙනවා. වෛරස් රෝගවලට ප්‍රතිකාර නැහැ. 

අපේ පැරුන්නන් ඒවාට කිව්වෙ දෙයියන්නෙ ලෙඩ කියලා. ඒ දෙවියන් බෝ කරන ලෙඩ නිසා නොවෙයි. අවශ්‍ය වන්නේ යහපත් පැවැත්ම නිසා. කරන්න තියෙන්නෙ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කර ගන්න එක පමණයි. ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට සිංහල වෙදමහතකු හමුවන්න. එහෙමත් නැත්නම් ගෙදර ආච්චිලා සීයලා ඉන්නවා නම් ඔවුන්ගෙන් අහන්න. පඬි නැට්ටන්ටත් පොදුවේ සකර්බර්ග් වමටත්  සකර්බර්ග්ගේ පිහිටයි.
 
මා අද ලියන්නෙ නව කොරෝනාවට වඩා භයානක වසංගතයක් ගැන. ඒ ඡන්ද අපේක්‍ෂක ලැයිස්තු ගැන. මේ මැතිවරණය සාමාන්‍ය මැතිවරණයක් නො වෙයි. මෙය රට කරවීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂට පක්‍ෂපාති පාර්ලිමේන්තුවක් ලබා දීමේ මැතිවරණය. ඒ සඳහා මැතිවරණයට සුදුසු අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයට භාර වෙනවා. එහෙත් සංධානය ඒ යුතුකම ඉටු කර නොමැති බවයි පේන්න තියෙන්නෙ. 

අද මැතිවරණ අපේක්‍ෂකයන් තෝරන්නේ බොහෝ විට ප්‍රාදේශීය නායකයන්ට අවශ්‍ය අන්දමට. ඇතැම් දිස්ත්‍රික්කවල එය කැපී පෙනෙන මට්ටමකින් සිදු වෙනවා. මා කියන්නේ නැහැ දූෂිතයන්ගෙන් තොර අපේක්‍ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න පුළුවන් කියා. දේශපාලනය කුමන පක්‍ෂයක වුණත් දුෂණය සමග බැඳී තියෙනවා. පොතේ නැති වුණාට එය ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණයක්. බටහිර රටවලත් එහෙමයි. ඉඳහිට එක් දූෂිතයකුට දඬුවම් කිරීමෙන් සාමාන්‍යය නැති වන්නේ නැහැ. 

සංධානයේ ප්‍රාදේශීය නායකයන් බොහොමයක් දූෂිතයන්. ඒ දූෂිතයන්ට අවශ්‍ය ගෝඨාභය රාජපක්‍ෂට යහපත් පාර්ලිමේන්තුවක් ලබා දීම නොවෙයි. ඔවුන්ට අවශ්‍ය තව තවත් දූෂණයේ යෙදෙන්න පුළුවන් විධියට හෙංචයියන් ටිකක් පත් කර ගැනීම. මේ දූෂිතයන් තම පැවැත්ම සහතික කර ගන්නේ පක්‍ෂයේ නායකයන්ට ඇප උපස්ථාන කිරීමෙන්. ඇතැම් නායකයන්ට සත පහක වියදමක් නැහැ. ඒ හඳුන්නෙත්තිට පමණක් නො වෙයි. ඇතැම් නායකයන්ගෙ සාක්කුවල සතපහක් නැහැ. ඒ සතපහක්වත් අවශ්‍ය නොවන නිසා. මා කතා කරන්නේ වත්මන් ජනාධිපති ගැන නොවෙයි. 

නායකයන් නඩත්තු කරන දූෂිතයන් අපේක්‍ෂක ලැයිස්තු පිළියෙළ කිරීමේ දී බලපෑම් කරනවා. නායකයන් දැන ගත යුතු කරුණ නම් තමන් දූෂිතයන් නිසා නොපවතින බවත් එහෙත් දූෂිතයන්ට තමන් නොමැතිව එක් දවසක් පැවතිය නොහැකි බවත්. දූෂිතයන් හැලීමට නායකයන් බිය විය යුතු නැහැ. 

මේ මැතිවරණයේ අපේක්‍ෂක ලැයිස්තු සකස් කිරීම සංධානයට පමණක් භාර දී පැත්තකට වන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට බැහැ. මේ මා කරන විවේචනයක්. ඔහු නිර්පාක්‍ෂික කියා පැත්තකට වී සිටිම ඔහුටත් රටටත් කරන අයහපතක්. රටටත් ඔහුටත් අවශ්‍ය ඔහුත් රටත් ආරක්‍ෂා කරන ඔහුටත් රටටත් පක්‍ෂපාති දේශප්‍රේමි මන්ත්‍රීවරුන්. ඔවුන් තෝරා ගැනීමේ ක්‍රියාවලියෙහි ඔහු සහභාගි විය යුතුයි. 

මීට පෙර අවස්ථා ගණනාවක දී ම මා කියා ඇති පරිදි මා නැවතත් කියනවා මේ පාර්ලිමේන්තුව දූෂිතයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් කර ගන්න බැහැ. එය තව අවුරුදු පහකටවත් කල් දා ගන්න වෙනවා. මේ පාර්ලිමේන්තුව දූෂිතයන්ගෙන් තොර නොවූවත් අපට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ පාර්ලිමේන්තුව දූෂිතයන්ගේ ආධිපත්‍යයෙන් ගලවා ගැනීමයි. ඒ සඳහා අද ම ක්‍රියා කරන්න ඕන. 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අපේක්‍ෂක ලැයිස්තු සකස් කිරීමට යම් ආකාරයකින් හරි මැදිහත් වෙන්න ඕන. ඔහු මෙරට ජනාධිපති පමණක් නො වෙයි. යහපත් පාර්ලිමේන්තුවක් බලාපොරොත්තු වන ජනාධිපති. පාර්ලිමේන්තුව අවසාන විග්‍රහයේ දී ඔහුගේ. දහනවය ප්‍රශ්නයක් වන්නේත් මෙහි දී. පොතේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී කුණුහරුප අමතක කරන්න. මෙරට ජනාධිපතිවරුන් ඇත්තේ එක් කෙනකු පමණක් බව අප කිසිවකු අමතක නොකළ යුතුයි. අප ඔහුට ඡන්දය දුන්නේ ස්වෛරී රටක් ජනතාවට බියක් සැකක් නැතිව ජීවත් වෙන්න පුළුවන් රටක් ඇති කර ගන්න. 

දැනට ආණ්ඩුවෙන් කෙරී ඇති වැඩ ගැන අප සෑහීමකට පත් වෙනවා. එහෙත් වඩා බරපතල වැඩ කොටස කරන්න තියෙන්නෙ මැතිවරණයෙන් පස්සෙ. ඒ සඳහා ජනාධිපතිට ඔහගේ පාර්ලිමේන්තුවක් තියෙන්න ඕන. ඒ පාර්ලිමේන්තුව තෝරා ගන්න ඔහු දායක වෙන්න ඕන.