Main Logo

Friday 20 March 2020

කොවිඩ් 19, වීරයෝ හා මැතිවරණය

      සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් 19, වීරයෝ හා මැතිවරණය




නිරෝධායනය කියන වචනය තේරුම් ගැනීමට නොහැකි ව ඇතැම් පිරිසක් ඉන් කට්ටි පනින්න හදල තියෙන බව පැහැදිලියි. ඔවුන් සමහර දෙනකු තමන් ඉතාලියේ සිට පැමිණෙන බව වසන් කිරීම සඳහා එංගලන්තය ප්‍රංශය ආදී රටවලින් ගුවන් යානාවලට ගොඩ වී තියෙනවා. මුල සිට ම දෙයියන්නෙ ලෙඩක් ඒකට වෙන් කරන්න ඕන කිවුව නම් සමහර විට ප්‍රශ්න බොහොමයක් විසඳ ගන්න තිබුණා.

එහෙම වුණත් සමහර උදවිය ඉන්නේ බෑන් චූන් සංස්කෘතියෙ. ඒකට ආතල් සංස්කෘතිය හරි ෆන් සන්ස්කෘතිය හරි කිවුවත් කමක් නැහැ. ආණ්ඩුව මේ දිනවල නිවාඩු දීල නැහැ. සෙනසුරාදා ඉරිදා පමණයි නිවාඩු. අනෙක් දවස්වල ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් නම් එහෙම කරන්න ඕන. ඒ කොහොම වුණත් ගෙදර ඉන්නෙ ෆන් ගන්න නොවෙයි. මේ කාලෙ සමහරු සිරීපාදෙ යන්නෙත් ෆන් ගන්න. 


මිනිසුන්ට ගෙදරට වෙලා ඉන්න කියන්නෙ අනෙක් අයගෙන් වෙන් වෙලා ඉන්න. එහෙම නැතුව අල්ලපු ගෙවල්වල කට්ටිය එක්ක එකතු වෙලා සාජ්ජ දාන්න නො වෙයි. සාද කවුරු දැම්මත් වැරදියි. ඊයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු නාම යෝජනා දුන්නට පස්සෙ සාදයක් පවත්වල. ඒකට මහින්ද රාජපක්‍ෂත් සහභාගි වෙලා. ඒක නරක ආදර්ශයක්. කොවිඩ් 19 අගමැති ඇමතිවරු කියල මායිම් කරන්නෙ නැහැ. 

ඊයේ නාම යෝජනා ගැනීමෙන් පසු මැකොස (මැතිවරණ කොමිසමේ සභාපති) හොඳ වැඩක් කළා. ඔහු ඡන්දය කල්දමන බව ප්‍රකාශ කළා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනාධිපතිතුමා නාම යෝජනා භාර ගැනීමේ දිනය කල් දැම්මේ නැහැ. කොවිඩ් මැද්දෙත් ඒ දේ කරන්න ඉඩ හැරියා. එයට සජිත්, අනුර රනිල්දාස (ඔහු දැන් සජිත්දාස ද) විරුද්ධ වුණා. ඔවුන්ට ඕනෑ කෙළේ නාම යෝජනා අවලංගු කරල අර යල්පැනපු පාර්ලිමේන්තුව ආපහු කැඳවන්න. ඒක කැඳෙවුව නම් කොවිඩ් සටනට සල්ලිවත් දෙන්න පාර්ලිමේන්තුව කැමති වෙන්නෙ නැහැ. සජිත්ට අනුරට ඕන ආණ්ඩුවට බාධා ඇති කර හැකි නම් ආණ්ඩුව ගෙදර යැවීමයි. දැන් ජනාධිපතිට ඒකාබද්ධ අරමුදලෙන් වියදම් කරන්න පුළුවන්. 

දැන් නාම යෝජනා භාරගෙන. අලුත් පාර්ලිමේන්තුව කැඳවන්න ඕන. ඒ සඳහා ඡන්දයක් තියන්න ඕන. ජනාධිපති නියෝගය අනුව නම් ඡන්දය තියන්න තිබුණෙ අප්‍රේල් 25. ඒත් දැන් කොවිඩ් හදිසි අවස්ථාවක් උදා කරලා. එවැනි අවස්ථාවක මැතිවරණ කොමිසමට පුළුවන් ඡන්දය දෙන දවස කල්දාන්න. ඒකට බලය ලැබෙන්න 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියෙන්. ඒ වගන්තිය ඉංගිරිසියෙන් තියෙන්නෙ මෙහෙමයි. 


24 (3) Where due to any emergency or unforeseen circumstances the poll for the election in any electoral district cannot be taken on the day specified in the notice relating to the election published under subsection (1), the Commissioner may, by Order published in the Gazette, appoint another day for the taking of such poll, and such other day shall not be earlier than the fourteenth day after the publication of the Order in the Gazette.


ඒ අනුව මැතිවරණ කොමසාරිස්ට, දැන් නම් මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා අප්‍රේල් 25 වැනි දාට දින දාහතරකට, එනම් මැයි 9 වැනි දාට පසු දවසකට මැතිවරණය කල් දාන්න. මැතිවරණ කොමිසමට කරන්න තියෙන්නෙ ගැසට් නිවේදනයකින් දිනය නියම කරන එක පමණයි. ඒත්  මෙහි කියැවෙන්නෙ නැහැ ගැසට් නිවේදනය අහවල් දවසට කලින් නිකුත් කළ යුතු ය කියා. දැනට කරන්න තියෙන්නෙ අප්‍රේල් 25 මැතිවරණය නොපැවැත්වෙන බව දැනුම් දීම පමණයි. 

මට නම් හිතෙන්නෙ මේ තියෙන තත්වයත් එක්ක නුවර පෙරහැර පවත්වන තෙක් මැතිවරණය පවත්වන්න බැරි වේවි. නුවර පෙරහැර නිර්ණායකය වෙන්න ඉඩ තියෙනවා. නුවර පෙරහැර කාලය වන තෙක් කොවිඩ් ගියා ද නැද්ද කියා හරියට ම කියන්න බැරි වේවි. ඊට කලින් කියන්න පුළුවන් නම් හොඳයි. එය එසේ ම වේවා කියා පතනවා. එහෙත් බොහෝ විට අපට අවුරුද්ද වෙසක් නැති වෙන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැ. ජ වි පෙ අපට අවුරුද්ද වෙසක් නැති කරපු කාල තිබුණා. 

ඒත් මෙවර අවුරුද්ද නැති වෙන්නෙ ආණ්ඩුව හින්ද නොවෙයි. කොවිඩ් 19 හින්ද. ආණ්ඩුව කොවිඩ් 19 ට විරුද්ධ වැඩ පිළිවෙළ ඉතා හොඳින් කරගෙන යනවා. එහි සුළු සුළු අඩුපාඩුකම් නැතිවා නො වෙයි. ඒ අඩුපාඩු තියෙනවා නම් අප ඒ බව ජනාධිපතිතුමා කන් දෙන අයට කියන්න ඕන. මගේ ප්‍රතිපත්තිය එයයි. ඇත්තට ම මා කණගාටුවෙනවා මට මීට වඩා දෙයක් කොවිඩ් 19ට විරුද්ධ ව කිරීමට නොහැකි වීම ගැන. 

මේ රටේ ජනමාධ්‍යයෙ හා මිනිසුන්ගෙ කුහකකමකුත් තියෙනවා. මා පාරම්පරික ක්‍රම ගැන කියන විට මිථ්‍යාමත ධාරියකු වෙනවා. එහෙත් පාදෙණිය දුන්හට්ටිය අල්ලන්න කියන විට ඒක ප්‍රබුද්ධ කතාවක්. එක් එක් අය මොනවා කිවුවත් මෙවර (හෙට - 2020 මාර්තු 21) නිව් සයන්ටිස්ට් සඟරාවට අනුව බටහිර විද්‍යාවට එන්නතක් හදන්න අඩු තරමෙන් මාස12-18ක කාලයක් ගත වේවි. එහෙත් එය ජනතාව සඳහා පොදුවේ යොදා ගැනීමට අවුරුදු දහයක්වත් ගත වේවි. 

අපට කළ හැක්කේ අර ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කිරීමයි. ඒ සඳහා දේශීය ක්‍රම යොදා ගන්න පුළුවන්. පාදෙණිය උපදෙස් ගන්නේ මට නාථ දේව මණ්ඩලය ගැන කී ප්‍රියන්තා සේනානායක මහත්මියගෙන් බවයි මගේ වැටහීම. එය හොඳයි. ජනාධිපතිතුමා දේශීය වෙදමහත්වරුන්ගෙන් ද උපදෙස් ගන්නවා නම් වැඩ දායක වේවි. හැකි නම් චීනයෙනුත් උපදෙස් ගනිමු. 

අද කොවිඩ් 19 ගැන ආණ්ඩුව විවේචනය කිරීම සුදුසු නැහැ. මෙය කණ්ඩායම් වැඩක් තමයි. ජෙනරාල්ලාට පමණක් යුද්ධය භාරදෙන්න බැහැ වගේ ම රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට පමණක් සෞඛ්‍යය  භාරදෙන්න බැහැ. පාදෙණිය වෛද්‍ය නිලධාරි සංගමය සමග සාකච්ඡාවලට සාමාන්‍යයෙන් සහභාගි වෙන්නෙ නැත්තෙ ඇයි? 

මේ අවස්ථාවේ අපට අවශ්‍ය වීරයන් නොව වැඩ කරන්නන්. ජනාධිපති හමුදාව සෞඛ්‍ය ඇමතිණිය හා සෞඛ්‍ය සේවාවන් දිවා රැ නොබලා කරන සේවය අප අගය කරන්න ඕන. දැන් ඡන්දයත් ළඟ පාතක නැති නිසා අපි එකාවන් ව සතුරා පරාජය කිරීමට වෙහෙසෙමු. මෙය විරුද්ධවාදීයා පරාජය කිරීමක්. සචින් තෙන්ඩුල්කාර් කොවිඩ් 19 ටෙස්ට් තරගයක් සමග සන්සන්දනය කර තිබුණා. හමුදාවට හා සෞඛ්‍ය සේවාවන්ට කොවිඩ් පරාද කරන්න පුළුවන්. ප්‍රශ්න ඇති වේවි. අපි ඒ සියල්ලට මුහුණ දෙමු.