සිංහල ලිත් ඉලක්කම්
ශූන්‍ය විපත් හා රණවිරුවන්
ඊනියා යුද්ධයේදී මියගිය සිවිල් ජනයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම ගැන නැවතත් කතා කෙරෙනවා. ඒ ජෙනීවා හි 30/1 යෝජනාවේ හා අදාළ යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ලංකාව ඉවත් වීමත් සමග. ඒ යෝජනාවල ලංකාවට අහිත කර දේ, එනම් ලංකාවේ ස්වෛරීභාවය අධිකරණයේ ස්වාධීනත්වය ආදිය නැති වන වගන්ති තිබුණා. ඊනියා යහපාලන ආණ්ඩුව එමගින් රටේ ස්වෛරිභාවය හා රණවිරුවන් පාවා දුන්නා. එකී යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ලංකාව ඉවත් වීමට තීරණය කෙරුණේ එවැනි වගන්ති තිබුණ නිසා.
එහෙත් අප හමුදාව අතින් යම් වරදක් සිදු වී ඇත්නම් එය රටේ සිවිල් නීතිය, අපරාධ නීතිය හෝ යුද්ධ නීතිය හෝ යටතේ විභාග කිරීමට අප විරුද්ධ වන්නේ නැහැ. මෙහි දී අප ප්‍රවේසම් විය යුතුයි. අප කියන්නේ නැහැ හමුදා මෙහෙයුම්වල දී හමුදා අතින් සචේතනික ව වරදක් සිදු වී ඇත කියා. කෙටියෙන් කිවහොත් මෙරට යුද්ධයක් තිබුණේත් නැහැ. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා හමුදා මෙහෙයුම් නම් තිබුණා. ඒ මෙහෙයුම් නම් කර තිබුණේත් මානුෂික මෙහෙයුම් ලෙස.
මා ඊයේ කී පරිදි හමුදා මානුෂික මෙහෙයුම් ක්‍රියාත්මක වුණේ උතුරු පළාතේ ජනයාට ආහාර හා වෙනත් පහසුකම් සපයා දෙන අතර. ඇතැම් අවස්ථාවල, ප්‍රදේශවල හමුදාව කොටින්ට ද වක්‍ර ව ආධාර කළ බව පැහැදිලියි. එය හිතා මතා කළ එකක් නො වෙයි. එසේ වූයේ ජනතාවට ගෙන ගිය ආහාර හා වෙනත් ද්‍රව්‍ය කොටින්ට ද ලැබීම නිසා. ලෝකයේ කිසිම රටක එලෙස අවශ්‍ය ආහාර පානාදිය ලබා දෙමින් හමුදාවක් සටන් මෙහෙයුමක් දියත් කර ඇත්තේ ද?
හමුදා භටයන් සටන් මෙහෙයුම්වල දී වුවමනාවෙන් එකදු සිවිල් වැසියකු ඝාතනය කර නැහැ. ඕනෑම යුද්ධයක දී සිවිල් ජනයා ද මරණයට පත් වෙනවා. එසේ නොවන යුද්ධයක් හමුදා මෙහෙයුමක් නැහැ. එහෙත් ඒ සිදවන ඝාතන ඊනියා යුද්ධ අපරාධ නො වෙයි. කොටි සංවිධානය විසින් උතුරු පළාතේ දෙමළ ජනතාව පළිහක් මෙන් යොදා ගනිද්දීත් හමුදාව ඒ ජනතාවට වෙඩි තැබීමෙන් වැළකුණා. දරුස්මාන්ලාට වාර්තා සැපයීමට ඊනියා දත්ත සැපැයුවේ මෙරට පඬියන් මිසක් වෙනත් අය නො වෙයි.
එහෙත් හමුදා භටයන් මෙහෙයුම්වලින් පිටත පෞද්ගලික ව යම් යම් නීති විරෝධී කටයුතුවල යෙදී ඇත්නම් ඒ ගැන පරීක්‍ෂා කළ යුතුයි. ඔවුන්ට විරුද්ධ ව චෝදනා ඇත්නම් ඒ සිවිල් නීතිය අපරාධ නීතිය හමුදා නීතිය යන නීතියක් යටතේ ඉදිරිපත් කර වරදකරුවන් වුවහොත් දඬුවම් දිය යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. එහෙත් හමුදා මෙහෙයුම්වල දී කරන ලද කටයුතු ගැන පරීක්‍ෂණ කරන්න දෙයක් නැහැ.
හමුදා ක්‍රියාකර ඇත්තේ විනයක් යටතේයි. ඔවුන් අහිංසක දෙමළ කතා කරන ජනයාට විරුද්ධ ව අවිය යොදා ගත්තේ නැහැ. එහෙත් කොටි ත්‍රස්තවාදීන් ඒ දෙමළ කතා කරන ජනයා අවියක් පළිහක් ලෙස යොදා ගත් අවස්ථාවල දී යම් යම් වැරදි අචේතනික ව සිදු වීමට ඉඩ තිබෙනවා. ඒ වුවමනාවෙන් කළ දේ නො වෙයි. එවැනි වැරැද්දක් සිදු වී ඇත්නම් එයට වරදකරුවන් කොටි ත්‍රස්තවාදීන් පමණයි. දඬුවම් කළ යුත්තේ කොටි ත්‍රස්තවාදීන්ටයි
ආණ්ඩුව කියන්නේ හමුදා මෙහෙයුම්වල දී රණවිරුවන් වුවමනාවෙන් සාමාන්‍ය ජනයාට විපතක් කර නොමැති බවයි. ශූන්‍ය විපත් (zero casualty) යන්නෙන් අදහස් කරන්නේ එයයි. එසේ නැතිව කොටි ජනතාව අවියක් හරි පළිහක් හරි කර ගන්නා විට වැරදීමකින් විපතක් සිදු නොවීම නොවෙයි. වැරදීමකින් සිදු වු විපත් වේ නම් එයට වරදකරුවන් කොටින් හා කොටින්ට ආයුධ සැපයූවන් බව අවධාරණය කළ යුතුයි.
ජෙනීවා 30/1 හා අනෙක් අදාළ යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වීම නිසා අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම නවතින්නේ නැහැ. එක්සත් ජාතීන් කුමන යෝජනාවක් සම්මත කළත් නැතත් කළ යුතු දේ කිරීමට රජය තම හෘදයසාක්‍ෂියට බැඳී සිටිනවා. යහපාලන ආණ්ඩුව කෙළේ එසේ කළ යුතු දේ කිරීම නොව බටහිරයන්ගේ අවශ්‍යතාවට රටත් රණවිරුවනුත් පාවා දීමයි. පසුගිය ජනාධිපතිවරණයේ දී සිංහල ජනතාව අති විශාල බහුතරයක් රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධ ව ඡන්දය දුන්නේ එබැවිනුයි.
ඊයේ ලිපියේ සඳහන් වූ පරිදි අතුරුදහන් වූවන් ගැන කටයුතු කිරීම සරල දෙයක් නො වෙයි. අතුරුදහන් වූවන් ඒ නමින් අතුරුදහන් වූවත් වෙන නමකින් පෙනී සිටින අවස්ථා ඇති. ඔවුන් වෙනත් රටවල ජීවත් වෙනවා වෙන්න පුළුවන්. එවැනි සැක කටයුතු කරුණු නැති බව දැන ගැනීමෙන් පසු පමණක් අතුරුදහන් වූවන් ගැන සොයා බැලීමේ ක්‍රමවේදයක් සකස් කර ගත යුතුයි. ඒ ක්‍රමවේදයට කිසිම අයුරකින් වෙනත් රටකට ඇඟිලි ගැසීමට ඉඩ නොදිය යුතුයි.
අප්‍රේල් මැතිවරණය අප යොදා ගත යුත්තේ රටේ ස්වෛරීභාවය ආරක්‍ෂා කර ගනිමින් රණවිරුවන් හා රට පාවා නොදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට සහාය දෙන ආණ්ඩුවක් පත් කර ගැනීමටයි. පඬියන් අහන්න පුළුවන් හමුදා මෙහෙයුමක දී ශූන්‍ය විපත් තත්වයක් තියෙන්න පුළුවන් ද කියා. අප ශූන්‍ය විපත් යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි පඬියන්ට කියා දිය යුතුයි. සචේතනික ව රණවිරුවන් අතින් විපතක් සිදු වී නැති බව එකල ආරක්‍ෂක ලේකම්වරයා කියනවා. එකල හමුදාපති කුමක් කියන්නේ ද යන්න පැහැදිලි නැහැ. එහෙත් අචේතනික ව යම් විපතක් සිදු වී ඇත්නම් එයට වරදකරුවන් රණවිරුවන් නො වෙයි.