Main Logo

Sunday 8 March 2020

දහනවය හා ද්විත්ව පුරවැසිකම

    සිංහල ලිත් ඉලක්කම්


  දහනවය හා  ද්විත්ව පුරවැසිකම



දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නිසා නො වෙයි. ජනාධිපති මෛත්‍රිපාලගෙ බලතල අඩුකරලා අගමැති රනිල්ගෙ බලතල වැඩි කරන්න. ජනාධිපතිගෙ ධුර කාලය අවුරුදු හයෙන් පහට බැස්සුවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට අවුරුදු හතරහමාරකට බැරි වෙන විධියට වගන්තියක් ගෙනාවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීම වැළැක්වීමට ද්විත්ව පුරවැසියන්ට තරග කරන්න බැරි වෙන විධියට වගන්තියක් ඇතුල් කළා. 


මෛත්‍රිපාල සිරිසේන ඒ සංශෝධනයට පක්‍ෂ ව කටයුතු කළා. ඔහු දෙවැනි සිරිසඟබෝ වුණා කියන එක වැරදියි. සිරිසඟබෝ රජතුමා බුද්ධත්වය අපේක්‍ෂා කළා. මෛත්‍රිපාල බුද්ධත්වය අපේක්‍ෂා කරමින් ධුර කාලය අවුරුදු පහට අඩු කෙළෙ නැහැ. සමහර විට ඔහු හිතුවද දන්නෙ නැහැ දෙවැනි ධුර කාලයකුත් ලැබේවි කියා. එහෙත් එහෙම ලැබුණෙ නැහැ. ඔහු එයට කලින් රනිල් එක්ක මතභේද හදා ගත්ත. මා කියන්නෙ නැහැ එය පෞද්ගලික ප්‍රශ්නයක් කියලා. 

අද ප්‍රතිපත්ති දේශපාලනයක් නැති වුවත්  එය ප්‍රතිපත්ති නොගැලපීම පිළිබඳ ප්‍රශ්නයක්. කොහොමටත් මහින්ද හා මෛත්‍රිපාල අතර සුළු වශයෙන් වුණත් ප්‍රතිපත්ති පිළිබඳ එකඟතාවක් තිබුණා. මෛත්‍රිපාල හා රනිල් අතර එවැනි එකඟතාවක් නැහැ. ඒ හේතුව උඩ ඊනියා යහපාලන ආණ්ඩුව කඩා වැටුණා. එය නිකම් ම වැටුණත් නොවෙයි. ඒ සඳහා කටයුතු කළ අයත් හිටියා ජාතික ව්‍යාපරයේ. 

එහෙත් ඒ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් යැයි කියමින් තමන්ගෙ වෙබ් අඩවිවල ගෝඨාභය විරෝධී ප්‍රකාශ කරන අය නොවෙයි. ඔවුන්ට ඕනෑ කෙළේ දහනවය තවත් ඉදිරියට ගෙන ගොස් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට.  එහෙත් මාලිමාව ආපසු හැරවුණා. අද මේ අය දිනේෂ් ජෙනීවාහි දී කළ දේ මදි යැයි කියන්නේ හොඳ හිතින් නොවෙයි. ඔවුන් දිනේෂ් අසූ ගණන්වල කළ දේ හොඳ යැයි කියනවා. ඒක නම් හොඳයි. ඔවුන් අසූ ගණන්වල මිනී මැරුවා. 

මෛත්‍රිපාල අද පොළොන්නරුවට සීමා වෙලා. එහෙත් ඔහුට පොළොන්නරුවට පමණක් සීමා වෙන ප්‍රකාශ කිරීමට තේරෙන්නේ නැහැ. ඔහු කරන ප්‍රකාශ මුළු රටට ම බලපාන දේ බවට පත්වෙනවා. උකුස්සා කතාවට වුණෙ එයයි. එහෙත් මෛත්‍රිපාල කළ  හොඳ උකුසු වැඩක් වුණෙ 2018 දී රනිල් අගමැති කමෙන් ඉවත් කරල මහින්ද අගමැති කිරීම. පොදු ජන පෙරමුණේ ඇතැමුන් එය අමතක කිරීම නම් අකෘතඥ වැඩක්. ඒ උකුසු වැඩේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කිරීමටත් බලපෑවා. 

දෙරණ ජනප්‍රිය ම රුපවාහිනී නාළිකාව වෙන්න පුළුවන්. ඔවුන් උදේ 6.30 වන තුරු බුදු සුසුනට තැනක් දෙනවා. ඉන්පසු ඒ තැන නැති කරනවා. චතුර අල්විස් වැනි අයකු දෙන්නකු වෙනත් මාර්ගයක ඉඳහිට යනවා. එහෙත් බුදුසසුන රැක ගන්න වික්‍රමගේලා කරන දෙයක් පේන්න නැහැ. වාද පිටිය අළුත් පාර්ලිමේන්තුව වැනි වැඩ සටහන් හා ඩ්‍රීම් වැඩ සටහන් අපේ දේ රැක ගැනීම වෙනුවෙන් නම් නොවෙයි. ඔවුන් අලුත් දේ ගන්නවා කියන්නේ වෙනත් රටවල කසිකබල් වැඩ සටහන් අනුකරණය කිරීමටයි. ඔවුන් මෙරටට සාපේක්‍ෂ ව අලුත් දෙයක් නිර්මාණය කරන්නෙත් නැහැ. අලුත් අදහස්වලට තැනක් දෙන්නෙත් නැහැ. ඔවුන් තම මිතුරන්ට දේශපාලන වශයෙන් ප්‍රසිද්ධියක් ලබා දෙනවා. මෙයින් කියන්නේ අනෙක් නාළිකා හොඳ බවක් නොවෙයි. ඒවා ඊට එහා. එහෙත් දෙරණින් කසිකබල් ශාස්ත්‍රිය සාකච්ඡාවක්වත් ප්‍රචාරය වන්නේ නැහැ. එසේ වුණත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කිරීමේ දී දෙරණින් විශාල මෙහෙයක් ඉටු වුණා. එය නම් අගය කරන්න ඕන. 

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වුණේ එක් අතකින් දහනවය පරාද කරලා කියන්න පුළුවන්. ඔහු තම ද්විත්ව පුරවැසිකම අත්හැරියා. මා නම් එය  දකින්නෙ දහනවයෙ ජයග්‍රහණයක් ලෙස. දහනවයට පක්‍ෂ වුණෙ මෛත්‍රිපාල පමණක් නොවෙයි. මහින්දත් පක්‍ෂ වුණා. ඔහු ඒකාබද්ධ විපක්‍ෂයට කිවුව දහනවයට ඡන්දය දෙන්න කියා. පවිත්‍රා දේවී වන්නිආරච්චි ඒ බවට සාක්‍ෂි දේවි. 

දහනවයට රනිල් ද පක්‍ෂ වුණු බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. එහෙත් අද ඔහුට සිදු වී ඇත්තේ කුමක් ද? බලතල වැඩි අගමැති කෙනකු වීම තබා මන්ත්‍රීවරයකු වීමත් අද ඔහුට ප්‍රශ්නයක් වෙලා. එක්සත් ජාතික පක්‍ෂය වෙනම තරග කළත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට තරම් ඡන්ද සංඛ්‍යාවක් ලැබේවි ද යන්න සැක සහිතයි. දහනවයෙන් මෛත්‍රීපාලටවත්, රනිල්ටවත් මහින්දටවත් වූ සෙතක් නැහැ. දහනවයට විරුද්ධ වූ සරත් වීරසේකරටත් එතරම් යහපතක් සිදු වෙලා නැහැ. දහනවයට ඡන්දය දීමෙන් වැළකී සිටි ජානක බණ්ඩාර අද එතරම් ප්‍රසිද්ධ අයකු නො වෙයි. දහනවය රටට මෙන් ම පුද්ගලයන්ට ද කර ඇත්තේ විනාශයක්.

හැකි නම් මැතිවරණයෙන් පසු දහනවය සංශෝධනය කරන්න ඕන. එහෙත් ඒ සඳහා තුනෙන් දෙක ලබා ගැනීමට දෙමළ මුස්ලිම් පක්‍ෂ සමග ගණුදෙනු දේශපාලනයේ යෙදෙන්න ඕන නැහැ. පොදු ජන පෙරමුණට අප බලකරල කියා සිටින්න ඕන දෙමළ/මුස්ලිම් ජාතිවාදී කිසිම පක්‍ෂයක් සමග ගණුදෙනු දේශපාලනයෙහි නොයෙදෙන්න කියා.

දහනවය මුළුමනින් ම අහෝසි කරන්න කියන ඉල්ලීමකුත් තියෙනවා. ඒ සුපිරි ජාතිකවාදි අයගෙන්. එහෙත් දහනවයෙ හොඳ දෙයක් තියෙනව නම් එය අහෝසි නොකළ යුතුයි. උදාහරණයක්  නම් ද්විත්ව පුරවෑසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති වීමට නොහැකි වීම. එ වගන්තිය ව්‍යවස්ථාවේ තිබිය යුතුමයි. එය සියළු මහජන නියෝජිතයන්ට මෙන් ම රාජ්‍ය සේවකයන්ටත් බලපාන අයුරින් දීර්ඝ කළ යුතුයි. ඒ සියළු දෙනා ලංකාවට පමණක් පක්‍ෂපාති අය විය යුතුයි. 

මැතිවරණයෙන් පසු ඇතමකු ගණුදෙනු දේශපාලනයෙන් තුනෙන් දෙක හදා ගෙන දහනවය මුළුමනින් ම ඉවත් කිරීමට සූදානම් වේවි. ඒ ද්විත්ව පුරවැසිකම තියාගෙන මන්ත්‍රීවරුන් ඇමතිවරුන් වීමට. අප කිසි විටෙකත් එයට ඉඩ නොදිය යුතුයි.