Main Logo

Wednesday, 4 March 2020

මැකොස හාමුදුරුවරු හා සම්ප්‍රදාය

  සිංහල ලිත් ඉලක්කම්


මැකොස හාමුදුරුවරු හා සම්ප්‍රදාය




මැතිවරණ කොමිසමේ සභාපති (මැකොස) නීතිය අකුරට ම ක්‍රියාත්මක කරන්න යනවා. ඒ ආගමික සිද්ධස්ථානවල දේශපාලනය කිරීම සම්බන්ධයෙන්. ඔහු මල්වත්තට හා අස්ගිරියට ගිහින් නීතිය පහදලා. මහානායක අනුනායක ලේඛකාධිකාරි හාමුුදුරුවරු මැකොස කියන දේ පිළිගෙන ඇති බවයි වැටහෙන්නෙ. එසේ නම් එය භයානක තත්වයක්. මා මහානායක හාමුදුරුවරුන්ට සිංහල බුද්ධාගම කියා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මට එය කරන්නත් බැහැ. මා සාමාන්‍ය ගිහියකු පමණයි. අනෙක මට මේවා ලියන්න අයිතියකුත් නැහැ. මට වඩා දෙසට සසුනට වැඩ කළ අය ඉන්දැද්දි මා ඒ ගැන කතා කිරීම වරදක් වෙන්නත් පුළුවන්. ඔවුන්ට තැන දී පැත්තකට වීම තමයි මා කළ යුත්තේ. 


එහෙත් මැකොසගෙ මේ කතාව පිළිබඳ පහුගිය ජනාධිපතිවරණයේදීත් මා සඳහන් කළ බව මතකයි. ප්‍රාඥයන් යුග පුරුෂයන් ඒ ගැන කතා කළ බවක් මට මතක නැහැ. එහෙත් මට කතා නොකර ඉන්න බැහැ. මට තේරෙන අන්දමට මැකොස කතා කරන්නෙ යම් පනතක් ගැන. ඒ පනත අනුව ආගමික සිද්ධස්ථානවල දේශපාලනය කරන එක වරදක්. පනත 1981 පනතක් බවයි හැඟී ගියේ. ඒ එසේ නම් එය ජේ ආර් ජටවර්ධනගෙ පනතක්. එක්සත් ජාතික පක්‍ෂයෙ පනතක්. 

මැතිවරණ සම්බන්ධ සියළු නීති මා දන්නේ නැහැ. මැකොස නම් දන්නවා ඇති. ඔහු ඒ නීති සියල්ල අකුරට ම ක්‍රියාත්මක කරනවා ද? කරනවා නම් හොඳයි. එහෙත් ඇතැම් වෙනත් නීති අමතක කර ආගමික සිද්ධස්ථානවල සිදු කෙරෙනවා යැයි කියන දේශපාලනය ගැන අවධානය යොමු කිරීම තරමක ප්‍රශ්නයක්. මැකොසට යම් මාක්ස්වාදයක් ගෑවී තියෙනවා ද? ඔහු නූතනත්වයේ ද? පශ්චාත් නූතනත්වයේ ද? 

ඒ කුමක් වුවත් ඔය කියන පනත කාගෙ කාලෙ සම්මත කළත් මෙරට සම්ප්‍රදායට විරුද්ධයි. අපේ හාමුදුරුවරු නිවන් සම්මාබෝධයට පමණක් කැප වුණු පිරිසක් නො වෙයි. සිංහල බුද්ධාගමේ හාමුදුරුවරු සිංහල බුද්ධාගම රැක ගැනීමටත් කැප වුණු පිරිසක්. අප බොහෝ දෙනාට වැරදෙන්නෙ සිංහල බුද්ධාගම තේරුම් ගන්නෙ නැති නිසා. පසුගිය ජනාධිපතිවරණයෙ දී ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේ පවා ඡන්දය දැම්මේ සිංහල බුද්ධාගම රැකගන්න. ඡන්දය බුදුදහමට එකඟ නොවන්න පුළුවන්. එහෙත් සිංහල බුද්ධාගමට එකඟයි. 

මැකොස කියාවි හාමදුරුවරුන්ට ඡන්දය දීමේ අයිතිය ඔය කියන පනතෙන් නැති කෙරී නැති බව. එපමණක් නොව ඔහු කියාවි හාමුදුවරුන්ට මැතිවරණ රැස්වීම් ඇමතීමටත් පුළුවන් කියල. එක ම දේ පන්සලේ මැතිවරණ කටයුතු කරන්න බැහැ කියන එක කියලා ඔහු කියාවි. මැකොස අපට ඒක කියන්න අවශ්‍ය නැහැ. 

පහුගිය දා (මාර්තු 2) වාරියපොළ සුමංගල හිමියන් සමරනු ලැබුවා. උන්වහන්සේ අර කතිර කොඩිය බිමට දැම්මෙ මහනුවර මගුල් මඩුවෙ දි බව සැබෑව. එහෙත් උන්වහන්සේ පන්සලේ දී ගිහියන්ට දේශපාලන අනුශාසනා පැවැත්තුවෙ නැහැ කියල ද ඔය පනත් සම්මත කරන උදවිය හිතන්නෙ. මැකොස කියාවි ඔහුට පනත ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ කියලා. ඔහු පනතේ අනෙක වගන්තිත් ඒ විධියට ම ක්‍රියාත්මක කරනවා ඇති.

මෙරට විවිධ ආගම් තියෙනවා. විවිධ ආගම් අදහන අය ඉන්නවා. විවිධ පූජකවරු ඉන්නවා. එහෙත් සිංහල බුද්ධාගම (අදාළ සංස්කෘතිය) මෙරටට විශේෂිතයි. සිංහල බුද්ධාගම හා අනෙක් ආගම් මෙරට එකම මට්ටමේ නො වෙයි. අප මෙරට ඊනියා බහුසංස්කෘතික රටක් කියා නොකියන්නේ සියළු සංස්කෘතීන් සමාන නොවේය කියන අර්ථයෙන්. අපේ හාමුදුරුවරු, පූජක නොව පූජ්‍ය, මැකොසට (ඔහු බෞද්ධ නම්) කෙසේ වෙතත් අපට නම් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරල තියෙනවා, කරනවා. හාමුදුරුවරු අර්ථයෙන් අනුශාසනා කරන්නෙත් පන්සලේ දී ම බව මැකොසත් අර පනත් සම්මත කළ අයත් දන්නෙ නැද්ද? හාමුදුරුවරු පන්සලේ දී ධර්මයෙන් අනුශාසනා කරල අර්ථයෙන් අනුශාසනා කරන්න පන්සලෙන් පිටතට වැඩියෙ නැහැ

ඉතිහාසයෙ හාමුදුරුවරු අර්ථයෙන් අනුශාසනා කළෙ මාළිගාවෙවත් නො වෙයි. රජු පන්සලට ගෙන්නලා. ජනතාවටත් එසේමයි. අප විරුද්ධ හාමුදුරුවරු රජු පන්සලට ගෙන්නන්නෙ නැතුව මාළිගාවට වැඩම කිරීම ගැනයි. ඒ කියන්නෙ පාර්ලිමේන්තු වැඩම කිරීම ගැනයි. දේශපාලන පක්‍ෂ හාමුදුරුවරුන්ට අපේක්‍ෂකත්වය නොදී ඉන්න ඕන. මා හිතන්නෙ මහානායක හාමුදුරුවරුත් එයට එකඟ කියලයි

අර පනත සම්මත කරගත් අය පන්සල් හැරෙන්න අනෙක් ආගමික සිද්ධස්ථාන සම්බන්ධයෙන් ඔය කියන තහනම කළා නම් අපට ප්‍රශ්නයක් නැහැ. එහෙත් පන්සල් ගැන එහෙම නීතියක් සම්මත කර ගන්න බැහැ. එය මෙරට සම්ප්‍රදායට විරුද්ධයි. සිංහල බුද්ධාගමට මෙරට විශේෂිත තැනක් හිමි වෙනවා. මේ රට හදන්නට ගිහියන්ට උපදෙස් දුන්නෙ හාමුදුරුවරු. ඒ කෙළේ පන්සලේ දී. මැකොස හදන්නෙ පනතක් ගැන කියමින් ඒ සම්ප්‍රදායට විරුද්ධ වීමට. ඒ සම්බන්ධයෙන් පනත සම්මත කරගත් අය වැරදියි. අනෙක් වගන්ති බොහොමයක් පැත්තකින් තියල මැකොස අදාළ වගන්තිය අකුරට ම ක්‍රියාත්මක කිරීමට වළි කනව නම් ඒකත් වැරදියි. දේශපාලනඥයන්ට පන්සලේ දි දේශපාලනය කරන්න පුළුවන් ද බැරි ද කියන එක තීරණය කරන්න ඕන හාමුදුරුවරු. ඒ කොහොම වුණත් හාමුදුරවරුන්ට පන්සලේ දී ගිහියන්ට මැතිවරණය පිළිබඳ අනුශාසනා කිරීම පනත් මගින් තහනම් කිරීම මෙරට සම්ප්‍රදායට විරුද්ධයි.

මැකොස හා පනත් සම්මත කර ගත්තවුන් කුමක් හිතුවත් ඉංගිිරිසින් ඇතැම් අවස්ථාවල දී සිංහල බුද්ධාගමේ විශේෂත්වය පිළිගෙන තියෙනවා. උදාහරණයකට සිද්ධස්ථාන ඉදි කිරීම සම්බන්ධයෙන්. මා ඒ නීතිය කිහිප වරක් ම උපුටා දක්වා දක්වා තිබෙනවා. එහෙත් එය නැවතත් උපුටා දක්වන්නේ සිංහල බුද්ධාගමේ විශේෂත්වය පැහැදිලි කිරීම සඳහා.


Section 16 of the "Declaration of British Sovereignty" dated 21/11/1818 and ordinance no 4of 1892.
"As well the priest as all the ceremonies and processions cessions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations"


ඉංගිරිසින් අන්‍යාගමික සිද්ධස්ථාන රැකීමට බැඳී සිටියේ ඒ සිද්ධස්ථාන ඉදිකිරීමට ආණ්ඩුකාරයාගෙන් අවසර ගෙන තිබුණි නම්. හාමුදුරුවරුන්ට දේශපාලනයේ දී රජුන් තැනීමට ගිහියන්ට අනුශාසනා කිරීමට වූ සම්ප්‍රදාය එලෙස ම රකින්න ඕන. ඒ සිංහල බුද්ධාගමට ඇති විශේෂත්වය. මැකොස කියන පනතෙ අදාළ වගන්තිය සම්ප්‍රදාය විරෝධියි. මීළඟ පාර්ලිමේන්තුව ඒ පනත වෙනස් කරන්න ඕන.