Main Logo

Tuesday 31 March 2020

අපටත් ලෝකයටත් පිහිට වෙමු

   සිංහල ලිත් ඉලක්කම් 


අපටත් ලෝකයටත් පිහිට වෙමු 



තවමත් අපේ සමහරුන්ට කොවිඩ් 19 බරපතළකම ගැන හැඟීමක් නැහැ. පොලීසියේ ඇස්වලට වැලි ගසා බයිසිකලයකින් හෝ පයින් හෝ රවුම් ගැසීම ඔවුන් වීර ක්‍රියාවක් ලෙස සලකන බවක් පේනවා. මිතුරකු එසේ කළහොත් ඔහට අවවාද කරනු වෙනුවට තමන් ඊටත් එහා යන සෙල්ලමක් කිරීමට සමහරු උත්සාහ කරනවා. මේ අය සමහර විට සිංහල බෞද්ධ දෙමව්පියන්ගෙ දරුවන් වෙන්න පුළුවන්. එහෙත් ඔවුන්ට සිංහල බෞද්ධ විනයක් නැති බව පැහැදිලියි. අධ්‍යාපනය විසින් ඒ අයගේ සිංහල බෞද්ධ විනය නැති කෙරී තිබෙනවා. 


මාර්තු 10 වැනි දා හරි ඊට ඉස්සෙල්ල හරි ගුවන්තොටුපල වැහුවෙ නැත්තෙ මොකද කියල මා අහන්න යන්නෙ නැහැ. කා අතිනුත් වැරදි සිද්ධ වෙනවා. ඒකෙ දේශපාලන වාසිය ගන්න එක නොවෙයි කරන්න තියෙන්නෙ. ඒකට පිළියම් යෝජනා කරන එක. දහවැනිදාට පසු ලංකාවට පැමිණි අය මා හිතන විධියට පොලීසියට දන්වන්න කියා තියෙනවා. එය කරන්න. වඩාත් හොඳයි මාර්තු 1 වැනි දාට පසු පැමිණි සියල්ලන් ම දන්වන එක. අප්‍රේල් පළමු වැනි දා ගත්තොත් මාර්තු 18 වැනි දාට පෙර පැමිණි අයට රෝගය නැති වෙන්න පුළුවන්. එහෙත් ඔවුන් වෛරස වාහකයන් ලෙස ක්‍රියා කර තියෙන්න පුළුවන්. බුද්ධි අංශ මේ තොරතුරු ලබා ගන්න එක අප කාටත් හොඳයි. එවිට ඒ ඒ අය ඇසුරු කළ අය ගැන යම් තොරතුරක් ලබා ගන්න හැකි වේවි. 

අප මේ තොරතුරු හංගන්නේ කාගෙන් ද? මරුවාගෙන් ද? අපේ මරුවාගෙන් නොවන්න පුළුවන්. එහෙත් අනෙක් අයගේ මරුවන් ද ඉන්න බව අමතක කරන්න එපා. තොරතුරු හැංගීම වීර ක්‍රියාවක් නොව නොසන්ඩාල කමක්. ආරක්‍ෂක ලේකම්තුමාගේ වචනය ඉතා කදිමයි. 

අද වන තුරු යම් යම් අඩුපාඩුකම් තිබුණත් රජය ඉතා විශිෂ්ට අන්දමින් ක්‍රියා කරනවා. හමුදාව පොලීසිය සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපති අගමැති සෞඛ්‍ය ඇමතිණි ඉතා ප්‍රශස්ත අයුරින් ක්‍රියා කර තිබෙනවා. මා මෙහි සඳහන් කරන්නේ තවත් වර්ධනය කර ගන්න ඕන කරුණු කිහිපයක්.  තවමත් භාණ්ඩ බෙදා හැරීම හරි හැටි කෙරෙන්නේ නැහැ. මා කලිනුත් කියා ඇති බෙදා හැරීම විමධ්‍යගත වැඩක්. විශේෂයෙන් ගම්වල හාමුදුරුවන් ග්‍රාම නිලධාරීන් කඩේ මුදලාලි එයට සහභාගි කර ගන්න ඕන. එදිනෙදා වැඩ කිරීමෙන් ජීවත් වන අයට රජය මැදිහත් වෙලා සහන ලබා දෙන්න ඕන.

වඩත් ම හදිසි දෙය ඖෂධ බෙදා හැරීම. එය තවමත් සතුටුදායක අන්දමකින් කෙරෙන්නේ නැහැ. වට්ස්අප් වයිබර් බොහෝ දෙනකුට තේරෙන්නේ නැහැ. පුතාට තේරෙනවා කියා ප්‍රශ්නය මග හරින්න බැහැ. අප බොහෝ දෙනා සාමාන්‍ය මිනිස්සු. අප අද නිදහස් අධ්‍යාපනය නිසා මොන ඉහළ තනතුරු දැරුවත් අපට රට අමතක කරන්න බැහැ. රට ගැන අවබෝධයක් නැතිව හරි නැතිව වගේ හරි වැඩ කරල ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න බැහැ. ඒ ඒ නගරයේ ගමේ  තියෙන ඔසුසල් (පෞද්ගලික හා රජයේ) විවෘත කෙරෙන්න ඕන. එහෙත් ඔවුන්ට ඖෂධ හැර වෙනත් දෙයක් විකිණීම තහනම් කරන්නත් ඕන. ව්‍යාජ බෙහෙත් සීට්ටු රැගෙන එන අයට ඖෂධ නිකුත් නොකිරීමටත් හැකි නම් එ අය ගැන වහාම පොලිසියට දැනුම් දීමටත් උපදෙස් දෙන්න ඕන.  ජංගම බැංකු ක්‍රමයක් ගැනත් හිතන්න ඕන. 

අපේ සංස්කෘතිය අපට කොවිඩ් 19 පරාද කරන්න උදවු වෙනවා. අපි බෙදාහදා ගන්න කැමතියි. එහෙත් රෝග බෙදාහදා ගන්න ඕන නැහැ. අපි වයස අනුව රෝගීන්ට ප්‍රතිකාර නොකර ඉන්නේ නැහැ. ඇතැම් රටක වගේ වෛද්‍යවරුන් තම ආරක්‍ෂාව පමණක් පතා ප්‍රතිකාර නොකර ඉන්න හදන්නෙත් නැහැ. 

ඉතාලියේ හරි වෙනත් රටක හරි  දින දහනවයකට පසු රෝගය පැතිර යෑම උත්සන්න වූ පලියට ම අපෙත් විය යුතු නැහැ. අප අවශ්‍ය බොහෝ දේ ගැන සැලකිලිමත් වෙලා තියෙනවා. අවශ්‍ය පියවර ගෙන තියෙනවා. එහෙත් අප පරෙස්සම් වෙන්න ඕන. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියන්නාක් මෙන්  අප වෙසක් බලන්න යනවා වගේ මිතුරන් සමග හෝ තනිව හෝ ඇඳිරි නීති බලන්න යන්න ඕන නැහැ. 

ඒ වෙනුවට පැලයක් හිටවන්න පුළුවන්. යම් නිර්මාණයක් කරන්න පුළුවන්. අද ලෝක ආර්ථිකය කඩා වැටෙමින් තියෙන්නෙ. මාස කිහිපයකින් ඒ බව දැනේවි. අපට හැකිතාක් ස්වයංපෝෂිත වෙන්න සිදු වෙනවා. අපේ කාර්මික නිර්මාණශීලිත්වය දැන් නැවතත් ඉදිරියට ඇවිත්. ඉදිකටුවක් නිපදෙවුවෙ නැති ජාතියක් දැන් විවිධ උපකරණ නිපදවනවා. එය තව තවත් ඉදිරියට ගෙන යන්න ඕන. 

අප දැනටමත් කොවිඩ් 19ට මුහුණ දීම සම්බන්ධයෙන් ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. අපට  ලෝකයට  දිය හැකි වැදගත් විිදර්ශනයක් තියෙනවා. එහෙත් තවමත් ඊනියා උගතුන්ට ඒ ගැන වැටහීමක් නැහැ. ඔවුන්ට අනුව ඇත්තේ බටහිර දැනුම පමණයි. ආත්මාර්ථකාමීත්වය තරගය වෙන් කිරීම මත ගොඩ නැගුණු බටහිර දැනුමට හා සංස්කෘතියට රෝගීන් හා රෝග සැක කරුවන් වෙන් කර ගන්න බැහැ. ඉන්දියාව මෝදිගෙ වචනවලින් සම්පූර්ණ ලොක්ඩවුන් (sampurna lockdown) කරලා. එහි දුගී ජනතාවගෙන් සමාව ගැනීම හැරෙන්න වෙනත් දෙයක් කරන්න ඔහු දන්නෙ නැහැ. 

නිර්මාපකයකු නැති අපේ සංස්කෘතියට බටහිර එක් තැනකින් පටන් ගන්නා රේඛීය දැනුම වෙනුවට චක්‍රීය දැනුමක් තියෙනවා. අප සාමුහිකත්වය මත පදනම් වුවත් රෝගීන් හා රෝග සැකකරුවන් වෙන් කර ගන්න පුළුවන් සංස්කෘතියක්. අපට අපේ ම වූ ක්‍රම තියෙනවා. කොවිඩ් 19 ගැනත් අපේ ම වූ දැනුමක් තියෙනවා. 

මහානායක හාමුදුරුවරුන් තිස් නමක් පමණ අත්සන් කර නිවේදනයක් නිකුත් කර තියෙනවා අප්‍රේල් පළමුවැනි දා සිට පන්සල්වල රතන සූත්‍රය ගිරිමානන්ද සුත්‍රය ඇතුළු පිරිත් සූත්‍ර සජ්ඣායනා කරන ලෙස. එයට රජය ද සහාය දෙනවා. එහි ඝණ්ඨාර නාදය ශබ්ද පූජාවක් පමණයි. ජනයා ඒ අසා පන්සලට රැස් විය යුතු නැහැ. ගෙදර ඉඳන් ඒ වෙලාවට තමනුත් පිරිත් කියන්න.

අපට තවත් දැනුම් ලෝකයාට දෙන්න පුළුවන්. ඒ සියල්ල නොදැනුම මත පදනම් වූ දේ. එහෙමත් නැත්නම් දැනුම අත්හැරීම මත පදනම් වූ දේ. මේ කියමන ඇරිස්ටෝටල්ට විසංවාදයක් ලෙස පේන්න පුළුවන්. අප ඇරිස්ටෝටල් පසු කෙළෙ ඔහු ඉපදීමටත් පෙර. ඒකත් විසංවාදයක් ද? සරල සල්ලහුක ජීවිත ගත කරන එක තමයි අපේ ආර්ථිකයේ පදනම විය යුත්තේ. 

මේ වෙලාවෙ ලෝකය ගලව ගන්න අපට බැරි නම් කාටවත් බැහැ. මා මේ කියන්නෙ අප ලෝකයට හැම දෙයක් ම දී ඇත කියන උද්ධච්ඡ කමකින් නො වේ. අපට ඇත්තේ විදර්ශනයක් යන තේරුමෙන්. නොදැනුම මත පදනම් ව ජීවත් වීම සඳහා දැනුමක් නිර්මාණය  කර ගන්න විධිය අපට කියල දුන්නෙ බුදුහාමුදුරුවන්.