Main Logo

Wednesday 11 March 2020

දෙබිඩි බටහිර ජඩමාධ්‍ය හා දෙමළ ජාතිවාදය

             සිංහල ලිත් ඉලක්කම්


දෙබිඩි බටහිර ජඩමාධ්‍ය හා දෙමළ ජාතිවාදය



බටහිරයන්ගේ  අවශ්‍යතාවට, පැරදවිය නොහැකි බවට රොහාන් ගුණරත්න වැනි ඊනියා යුද විශේෂඥයන් විසින් ප්‍රකාශ කෙරුණ ද ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදී කණ්ඩායම 2019 මැයි 19 වැනි දා නන්දිකඩාල් හි පරාජය කෙරුණා. එය ඊනියා යුද විශේෂඥයන් හා බටහිරයන් ලැබූ පරාජයක්. එහෙත් අපට බටහිර මාධ්‍ය විසින් ගෙන යනු ලැබූ ප්‍රචාරය පරාජය කරන්න බැරි වුණා. තවමත් ඒ ප්‍රචාරක යුද්ධය කෙරී ගෙන යනවා.

මේ ප්‍රචාරක යුද්ධයේ කොටසක් තමයි ජෙනීවා 30/1 හා අදාළ වෙනත් යෝජනා. මූලික වශයෙන් එයින් කියැවෙන්නේ මෙරට සිවල් සමාජයට අනුව දෙමළ කතා කරන ජනයා මෙපමණ ප්‍රමාණයක් මරා දමා ඇති බවත් මෙපමණ ප්‍රමාණයක් අතුරුදහන් වී ඇති බවත් රජය ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකරන බවත්. මේ සංඛ්‍යා ලේඛන පිළිබඳ එකඟතාවක් ද නැහැ. හතළිස් දාහේ සිට විවිධ සංඛ්‍යා එහි දී ඉදිරිපත් කෙරෙනවා. 

මේ සංඛ්‍යා ලේඛන දරුස්මාන් වාර්තාවේ වෙන්න පුළුවන් වෙනත් වාර්තාවක වෙන්න පුළුවන් ප්‍රචාරය කෙරෙන්නේ බටහිර ජනමාධ්‍ය විසින්. බටහිර ජනමාධ්‍යවලට ඒ සංඛ්‍යා ලේඛන ආකර්ෂණීයයි. එහෙත් ඒ සංඛ්‍යා ලේඛන තහවුරු කෙරෙන්නේ නැහැ. අනෙක් අතට බටහිර ජනමාධ්‍ය නේස්බි වාර්තාවට ප්‍රචාරයක් ලබා දෙන්නේත් නැහැ. 

බටහිරයන් කියන්නේ මේ මාධ්‍ය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන ගැන සැලකිළිමත් විය යුතු බවත් ඒ ගැන පරීක්‍ෂණ කළ යුතු බවත්. ඊනියා ජාත්‍යන්තර අධිකරණ පත් කළ යුතු බව කියන්නේත් පරීක්‍ෂණ සඳහා. අතුරුදහන් වූවන් සෙවීමටත් පියවර ගත යුතු බව කියනවා. මෙහි දී ප්‍රශ්නයක් පැන නගිනවා. අතුරුදහන් වූවකු යනු කවුද? අතුරුදහන් වූවන් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ කාට ද? දැනට පැමිණිලි කීයක් ඉදිරිපත් කෙරී ඇත් ද?

අතුරුදහන් වූවකු යැයි කියන්නකු පිළිබඳ පැමිණිල්ලක් කළ හැක්කේ ඔහුගේ හෝ ඇගේ හෝ දෙමව්පියන්  සහෝදර සහෝදරියන් ළඟ ම ඥාතීන් හා සමීප හිතවතුන් ආදීන්ටයි. එමෙන් ම එහි දී ද ඒ ඥාතිකම මිත්‍රකම ආදිය පිළිබඳ අදාළ සහතික ඉදිරිපත් කිරීම ද අනිවාර්ය විය යුතුයි. ඒ උප්පැන්න සහතික  විවාහ සහතික ග්‍රාම නිලධාරී සහතික පාසල් සහතික ආදිය විය හැකියි. ඕනෑම කෙනකුට ඕනෑම සහතිකයක් ඉදිරිපත් කර ඊනියා අතුරුදහන්වීමක් ගැන කියන්න බැහැ. 

මේ අතුරුදහන් වූවන් යැයි කියන්නන් වෙනත් නම්වලින් පෙනී සිටිනවා වෙන්නත් පුළුවන්. ඒ ගැන හරියට කියන්න පුළුවන් කාට ද? සමහරු කොටි ත්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. බටහිරයන් අතුරුදහන් වූ පුද්ගලයන් ගැන කියන්නේ ඒ සියල්ල හමුදාවෙන් මරා දැමුණු සාමාන්‍ය ජනයා ලෙස ගනිමින්. අතුරුදහන් වී යැයි කියන පුද්ගලයන් හමුදාවෙන් මරා දමනු ලැබූ බවට සාක්‍ෂි තියෙනවා ද? එසේ නම් සාක්‍ෂි ඉදිරිපත් කිරීමෙන් පසු ඒ ගැන විධිමත් පරීක්‍ෂණයක් කරන්න පුළුවන්.

මානුෂික මෙහෙයුම් අවසානයේ දී හමුදාව කොටි විසින් බලයෙන් රඳවා ගෙන සිටිනු ලැබූ පුද්ගලයන්ට සැලකූ ආකාරය පිළිබඳ ව රූහඬපට තියෙනවා. එමෙන් ම කොටි ඒ ජනතාවට වෙඩී තැබූ හැටි පෙන්වන රූහඬපටත් තියෙනවා. හමුදාව මෙහෙයුම් කාලයේ දී ආහාර බෙහෙත් ද්‍රව්‍ය ආදිය උතුරේ ජනතාවට යැවූ ආකාරය, රජය එහි රෝහල් පාසල් විශ්වවිිද්‍යාලය පවත්වා ගෙන ගිය ආකාරය පිළිබඳ බටහිරයන් ද දන්නවා. එහෙත් ඔවුන් ඒ සම්බන්ධයෙන් ඇහැ කණ කට මේ සියල්ල වසා ගෙන ඉන්නවා. 

ඉතා පැහැදිලි ව බටහිර ජඩමාධ්‍ය ලංකාවට විරුද්ධ ව විශාල ප්‍රචාරයක් ගෙන යනවා. ජෙනීවා යෝජනාත් එහි ප්‍රතිඵලයක්. බටහිර රටවල ආණ්ඩුවල මතය පවා ජඩමාධ්‍ය විසින් වෙනස් කෙරෙනවා. මාධ්‍ය ජනමතය සකස් කරනවා. බොහෝ ජඩමාධ්‍යවේදීන් ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දරණ පුහු ජාත්‍යන්තරවාදීන්. අප පිළිතුරු දෙන්න උත්සාහ කරන්නේ මේ ජඩමාධ්‍යවේදීන්ට. 

අපට තවමත් එය සාර්ථක ව කරන්න බැහැ. එයට හේතුව ඒ ජඩමාධ්‍ය සමග හැප්පෙන්නට අපට ශක්තියක් නොමැති වීමයි. මෙරට ජනමාධ්‍ය මෙරටට පමණක් සීමා වෙනවා.  ජාතික රූපවාහිනියටවත් දෙරණටවත් සීඑන්එන් හරි බීබීසී සමග හරි තරග කරන්න බැහැ. අපට කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමට හැකියාව තිබුණත් මේ ජඩමාධ්‍ය පරාජය කරන්න දැනට බැහැ. සමහරවිට ඉංගිරිසි මාධ්‍යයෙන් බටහිරට කතාකරන ජනමාධ්‍යයක් නිර්මාණය කරගන්න පුළුවන් නම් අපට ඒ සඳහා සුළු ඉඩක් ලබා ගන්න පුළුවන් වේවි. 

බටහිර ජඩමාධ්‍ය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා. අපට ඊනියා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පිහිටුවන්න කියද්දී බටහිර හමුදා අතින් මිය යන පුද්ගලයන්, දූෂණයට ලක් කෙරෙන කාන්තාවන් ආදීන් ගැන පරීක්‍ෂණ ඉල්ලන්නේ නැහැ. බටහිර ආසියාවේ මේ වන විට සාමාන්‍ය ජනයා කී දෙනකු ඝාතනය කෙරී ඇත් ද? බටහිර ජඩමාධ්‍ය කරන්නේ තම රටවල් ආරක්‍ෂා කර ගනිමින් අප වැනි රටවල් දඬු කඳේ ගැසීම පමණයි. 

අප කළ යුත්තේ බටහිර ජඩමාධ්‍යයට පිළිතුරු දීමට වඩා ඒ රටවල රාජ්‍ය නායකයන් ඔවුන්ගේ හිත මිතුරන් සමග සම්බන්ධතා ඇති කර ගැනීමයි. රාජ්‍ය නායකයන් ද මිනිසුන් බව අමතක නොකළ යුතුයි. ඔවුන් සමග ඇතිකර ගන්නා සම්බන්ධකම් හරහා අපට ඔවුන් දැනුවත් කිරීමට හැකි විය යුතුයි. ලෝකයේ බොහෝ කටයුතු කෙරෙන්නේ පුද්ගලික මට්ටමකින්. තානාපති සම්බන්ධතා ඒ සඳහා නිල ආවරණයක් පමණයි. 

අපට කොටි පරාජය කිරීමේ දී බොහෝ රටවලින් ආධාර ලැබුණා. ඒ ත්‍රස්තවාදයක් පරාජය කරන්න. එසේ වුවත් බටහිර ජඩමාධ්‍ය විසින් කෙරී ඇත්තේ දෙමළ කතාකරන ජනයාට මෙරට විශාල අසාධාරණයක් වන බවට මතයක් ගොඩ නැගීමයි. මේ ඊනියා අසාධාරණය කුමක් දැයි අද දක්වා කිසිවකු කියා නැහැ. එහෙත් අසාධාරණයක් පවතින බව කියමින් ලෝක ජනමතයක් සකස් කිරීමට බටහිර ජඩමාධ්‍ය ක්‍රියා කරනවා. 

මේ දෙමළ ජාතිවාදී ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම මෙරට සිටි ඉංගිරිසි ආණ්ඩුකාරයන් ඇති කළ එකක්. මෙහි ඉතිහාසය මා අනේක වාරයක් කියා තියෙනවා. ඒ ඉතිහාසය දන්නා මෙරට දේශපාලනඥයන් ද හිඟයි. ඔවුන් ඒ ගැන දැන ගන්න උනන්දුවක් ගන්නේත් නැහැ. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට මේ සම්බන්ධයෙන් යමක් කළ හැකියි. ඒ ඉතිහාසය දන්නා එමෙන් ම ජඩමාධ්‍ය ඉක්මවා ගොස් රාජ්‍ය පාලකයන් සමග සම්බන්ධතා ගොඩ නගා ගත හැකි පිරිසක් ඒ ඒ රටවලට යවන්න ඕන. හුදු තානාපති සම්බන්ධකම් මගින් පමණක් එය කරන්න බැහැ.