Main Logo

Thursday 3 September 2020

දෙමළ කතා කරන ජනයා පදිංචි කෙරුණේ කා විසින් ද?

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



දෙමළ කතා කරන ජනයා පදිංචි කෙරුණේ කා විසින් ද?


ඇතැම් දෙමළ ජාතිවාදීන් කියනවා ආණ්ඩුව උතුරු පළාතේ සිංහල ජනයා පදිංචි නොකළ යුතු ය කියා. ඔවුන් කියන්නේ තමන් සිංහල ජනයා යාපනයට හා වෙනත් ප්‍රදේශවලට පැමිණ ඉඩම් මිල දී ගැනීමට විරුද්ධ නැති නමුත් ආණ්ඩුව සිංහලයන් පදිංචි කරනවාට විරුද්ධ බවයි. බැලූ බැල්මට එය ඉතා සාධාරණ ප්‍රකාශයක් ලෙස හැඟී යන්න පුළුවන්. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් ඒ ප්‍රකාශය ගැන තම එකඟත්වය පළ කරාවි. 

එහෙත් එහි සාධාරණකම තියෙන්නෙ බැලූ බැල්මට පමණයි. සිංහල ජනයාට උතුරු පළාතෙන් ඉඩමක් ගන්න ලෙහෙසියෙන් තියා අමාරුවෙන්වත් පුළුවන් ද? මුළු රටට ම එක නීතියයි කිව්වත් තවමත් තේසවලාමෙයි නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ නීතිය ඉන්දියාවෙ මුස්ලිම්වරුන් අතර තිබුණු නීතියක්. ඒක යාපනයට ගෙනාපු දෙමළ කතා කරන ජනයා වෙනුවෙන් පැනෙව්වෙ ඔවුන් ආපහු ඉන්දියාවට යන එක වළක්වන්න.

මට මතක හැටියට එක් සර්ව පාක්‍ෂික කමිටු රැස්වීමක ගාමිණි ඊරියගොල්ල ඔය මුස්ලිම් නීතිය පිළිබඳ ව ප්‍රකාශ කළා. එහි සිටි අමිර්තලිංගම් ඒ වගක් දැන හිටියෙ නැහැ. ආණ්ඩුව  මුස්ලිම් නීති වගේ ම මේ නීතියත් ඉක්මණින් ම අහෝසි කරන්න පියවර ගන්න ඕන. ඉක්මණින් ම කරන්න ඕන පහු පහු වෙන කොට කොහු කොහු වෙන්න ඉඩ තියෙන නිසා. 

මට අක්තපත්‍ර දෙන්න මියන්මාරයේ අගනුවර වූ නෙපිටෝ නගරයට ගිය අවස්ථාවෙ ඇමතිවරුන් කිහිප දෙනකු මුණ ගැසී සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණා. ජනාධිපතිතුමාත් ඇමතිවරුනුත් නිලධාරීනුත් සියළු දෙනාම මතක්කර සිටියේ මියන්මාරය හා ලංකාව අතර ථෙරවාද බුදුදහම නිසා ඇති වී තිබෙන මිත්‍රත්වය හා සම්බන්ධය. මා හිතනවා අපට ඒ මිත්‍රත්වය තව තවත් වර්ධනය කරගන්න පුළුවන් කියල. ඒත් මා දන්නේ නැහැ මා කොපමණ කාලයක් ඉඳීවි ද කියා. 

මියන්මාරයේත්  අපේ වගේ ම තමයි. ඊනියා මානව හිතවාදීන් තම පැවැත්ම සඳහා ප්‍රශ්න අවුල් කරනවා. මියන්මාරයෙ රටවැසියා කවුද කියන එක විසඳන්න ඕන මියන්මාරය මිසක් වෙනත් රටවල් නො වෙයි. මට ඒ ගැන වැඩි දුර කතා කරන්න බැහැ. 

අපි තේසවලාමේ නීතියට ආපසු යමු. තේසවලාමේ නීතිය පැනවීමට හේතුව වුණෙ මලබාරයෙන් ගෙනා දෙමළ කතාකරන ජනයා දුම්කොළ අසවැන්න නෙළා ගැනීමෙන් පසුව ඉන්දියාවට ආපහු යෑම. ඒ ඔවුන් තම මව්රට ලෙස ලංකාව නොසැලකීම නිසා. ඔවුන් ලංකාවට පැමිණියේ ස්වෙච්ඡාවෙන් නො වෙයි. ඔවුන් ලංකාවට ගෙනෙනු ලැබූ අයයි. පෘතුගීසි සමයේ වෙල්ලායන් කිහිප දෙනකු යාපනයේ සිටියත් ලන්දේසීන් තමයි ඔවුන් දුම්කොළ වගාව සඳහා තොග වශයෙන් ගෙන ආවෙ. එසේ ගෙනෙනු ලැබු වෙල්ලාලයන් මෙරට ස්ථිරව පදිංචි කිරීමට උත්සාහ කරනු ලැබුයේ පළමුව ලන්දෙසින් හා දෙවනුව ඉංගිරිසින් විසින්. ඔවුන් දෙගොල්ලන් ම තේසවලාමෙයි නීතිය පනවල තියෙනවා. පළමු වර පැනවීම අසාර්ථක වූ නිසා ඉංගිරිසින් දෙවැනි වරටත් ඒ නීතිය පනවා තියෙනවා. 

එයින් කියන්නේ මොකක් ද කියන එකයි වැදගත් වන්නේ. උතුරු පළාතෙ දෙමළ වෙල්ලාලයන් අද එහි ආණ්ඩුව මගින් සිංහලයන් පදිංචි කරනු ලැබීමට විරුද්ධ වුණත් දෙමළ වෙල්ලාලයන් ලන්දේසින් විසින් පදිංචි කෙරුණු අය. බටහිරයන්ගේ අනුදැනුම යටතේ වෙල්ලාලයන් එකල වත්මන් උතුරු පළාතේ  හිටි සිංහලයන් ඊනියා අඩු කුල දෙමළ කතා කරන ජනයා බවට පත් කළා. ඒ සිංහලයන්ට සිංහලකම අහිමි කර ඇත්තේ බටහිරයන් විසින් යාපනයේ පදිංචි කරනු ලැබූ අය. අද ඔවුන් කියනවා ආණ්ඩුවට උතුරු පළාතේ සිංහලයන් පදිංචි කිරීමට බැහැ කියා! ඔවුන්ට පනස්ගණන්වල වෙන්න ඕන ආණ්ඩුව ඉරණමඩුවේ ඉඩම් දුන් වෙලාවෙ පදිංචි වෙන්න කැමති වුණෙ නැහැ. ඔවුන් ඒ වන විටත් කිලිනොච්චියෙන් දකුණට එන්නට සූදානම් ව සිට නැහැ. එසේ පදිංචි වුණත් එයත් ආණ්ඩුවේ පදිංචි කිරීමක්. වෙල්ලායන් සමහර දෙනකු කොළඹ පැමිණියේ වෙනත් කරුණු නිසා.

සිංහලයන් කියන්නෙ කවුරුන් විසින්වත් ගෙනෙනු ලැබ ලංකාවේ පදිංචි කෙරුණු පිරිසක් නො වෙයි. වංගයෙන් පැමිණි විජයසිංහලාත් භාරතයේ බටහිර වෙරළෙන් පැමිණ සිංහල සහ ඔහුගේ පිරිසෙනුත් යක්‍ෂ නාග ආදීනුත් එකතු වී තැණුනු ජාතියක්. වෙල්ලාලයන්ට බටහිරයන් උතුරු පළාත දීමට පළමුව එහි සිටියේත් සිංහලයන්. ආණ්ඩුවට අයිතියක් තියෙනවා සිංහලයන් උතුරු පළාතේ පමණක් නොව නැගෙනහිර පළාතේත් පදිංචි කිරීමට. 

වත්මන් නැගෙනහිර පළාතේ දෙමළ කතා කරන ජනයා පදිංචි කෙරුණේ ඉංගිරිසින් විසින්. ඒ දහනවවැනි සියවසේ. ඔවුනුත්  ස්වෙච්ඡාවෙන් පැමිණි අය නො වෙයි. කඳුකරයේ දෙමළ කතා කරන ජනයා පදිංචි කරනු ලැබුයේත් ඉංගිරිසින් විසින්.  1948 ලංකාව ඩොමීනියන් නිදහසක් ලැබීමෙන් පසු රටේ රටවැසියන් කවුද කියන එක තීරණය කිරීමට තිබුණා. 1949 රටවැසි පනතෙන් අර කඳුකරයේ ඇතැමුන්ගේ රටවැසිකම අහෝසි කෙරුණා. එහෙත් තොණ්ඩමන් වැන්නන් සහ වම්මුන් (අර විප්ලවයේ අපි කේන්ද්‍රය වතුවල හොයපු අය) එයට විරුද්ධ වුණා. එය කාලයක් තිස්සෙ විසඳගන්න බැරුව තිබුණා. අවසානයේ සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් එය විසඳුණා. එත් ජේ ආර් ජයවර්ධන එය හරියට ක්‍රියාත්මක කෙළේ නැහැ. මෙරට සිටින දෙමළ කතා කරන ජන කොටස් තුන්  වර්ගය ම  බටහිරයන් විසින් මෙරට පදිංචි කෙරුණු අය බව දෙමළ ජාතිවාදීන්ට අමතක වෙලා.

මුස්ලිම්වරුන් නම් කුමක් හෝ හේතුවක් නිසා ලංකාවට පැමිණ තියෙනවා. මා කියන්නේ අටවැනි සියවසේ පැමිණි යා යැයි කියන අය නො වෙයි. අටවැනි සියවසේ පැමිණි මුස්ලිමුන් ඉන්දියාවේත් බංග්ලාදේශයේත් වෙනත් අග්නිදිග ආසියාවේ රටවලත් පදිංචි වී තිබෙනවා. එහෙත් ලංකාවේ පදිංචි වී ජනගහන ව්‍යාප්තියක් කළ බවට සාක්‍ෂි නැහැ. ඉන්දියාවේත් බංග්ලාදේශයේත් මුස්ලිමුන් කතා කරන්නේ ඒ ඒ ප්‍රදේශවල භාෂා. ඔවුන් වෙළෙන්දන් හැටියට පැමිණ ඒ ඒ  ප්‍රදේශවල කාන්තාවන් විවාහ කර ගෙන ඒ ඒ ප්‍රදේශවල භාෂා කතා කරන ජනතාවක් බිහි කර තියෙනවා. 

ලංකාවට අටවැනි සියවසේ පමණ මුස්ලිමුන් පැමිණියා නම් ඔවුන් සිංහල කාන්තාවන් විවාහ කර ගෙන සිංහල කතාකරන මුස්ලිමුන් පිරිසක් බිහි කරන්න ඕන. එසේ වූවා යැයි කියමු. එහෙත් ඒ වැඩි පිරිසක් වෙන්න බැහැ. පෘතුගීසීන් පැමිණීමට ටික කලකට පෙර ඉන්දියාවේ බටහිර වෙරළෙන් දෙමළ කතා කරන මුස්ලිමුන් මෙහි පැමිණ තියෙනවා. ඔවුන් අර සිංහල කතා කරන මුස්ලිමුන් (සිංහල මුස්ලිමුන්) ටික දෙනකු සිටියා නම් ඔවුන් යටපත් කරගෙන මෙරට දෙමළ කතා කරන මුස්ලිමුන් පිරිසක් ඇති කර තිබෙනවා. මෙය තමයි මෙරට මුස්ලිමුන්ගේ හා බංග්ලාදේශයේ හරි මලයාවේ (මලයාසියාවෙ) හරි ඉන්දුනීසියාවෙ හරි මුස්ලිමුන් අතර ඇති වෙනස. මෙරට සිංහලයන් අතර සිංහල නොවන භාෂාවක් කතා කරන මුස්ලිමුන් ඇති වෙලා.

සිංහලයන් අතර බටහිර වෙරළේ ජීවත් වූ මුස්ලිමුන් සිංහල කතා කරන මුස්ලිමුන් (සිංහල මුස්ලිමුන්) වූවා නම් සමහර විට මුස්ලිම් ප්‍රශ්නය වෙනස් මුහුණුවරක් ගන්න තිබුණා. එහෙත් ඔවුන් සිංහල ජනයා අතර ජීවත් වූ දෙමළ කතා කරන මුස්ලිමුන්. කෙසේ වෙතත් පෘතුගීසීන් පැමිණ ඒ මුස්ලිමුන්ට හිරිහැර කළා. ඉන් පසු සෙනරත් රජු ඔවුන් වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කළා. එමෙන් ම අකුරණ ආදී ප්‍රදේශවලත් පදිංචි කළා. ඒ කියන්නෙ බස්නාහිර හා දකුණු පළාත්වල ජීවත්වන මුස්ලිමුන් හැර අනෙක් මුස්ලිමුන් පදිංචි කරනු ලැබූ අය. විශේෂයෙන් ම නැගෙනහිර පළාතේ මුස්ලිමුන්. 

ඉන් කියැවෙන්නේ වත්මන් නැගෙනහිර පළාතේ දෙමළ කතා කරන ජන කොටස හා මුස්ලිමුන් කවුරුන් විසින් හරි එහි පදිංචි කරනු ලැබූ අය. අනෙක් අතට නැගෙනහිර පළාතේ සිටි සිංහල ජනයාට සිදුවුණේ මොකක් ද? 1817-18 නිදහස් සටනෙන් පසු ඉංගිරිසින් ඔවුන් සමූලඝාතනය කළා. එවිට වත්මන් නැගෙනහිර පළාත අනෙක් අය විසින් පදිංචි කෙරුණු දෙමළ කතා කරන ජන කොටසකගෙන් හා මුස්ලිමුන්ගෙන් සමන්විත වන අතර ඉංගිරිසින් විසින් සිංහලයන් ඒ ප්‍රදේශයෙන් පන්නා දමනු ලැබ තියෙනවා. මේ ආණ්ඩුවේ වගකීමක් තමයි සිංහලයන් නැගෙනහිර පළාතේත් උතුරු පළාතේත් පදිංචි කරවීම. එමගින් සිංහලයන්ට වී ඇති අසාධාරණ නැති කිරීම. මෙරට අසාධාරණයක් සිදු වී ඇත්තේ සිංහලයන්ට.