පශ්චාත් එංගලන්ත කතාව
බටහිර විද්‍යාවේ ප්‍රධාන සඟරා දෙකෙන් එකක් වන සයන්ස් සඟරාවේ (අනෙක නේචර්) අද (සැප්තැම්බර් 12) කලාපයේ ගුරුත්වජ කාච (gravitational lenses) හා මන්දාකිණි පොකුරු ගැන පත්‍රිකාවක් පළවනවා. ඉන් කියන්නේ මන්දාකිණි පොකුරුවල අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතා ප්‍රවාදය මත පදනම් වූ විශ්වවේදයෙන් කියැවෙන ගුරුත්වජ කාචවලට වැඩි සංඛ්‍යාවක් ගුරුත්වජ කාච නිරීක්‍ෂණය කෙරී ඇති බවයි. මෙහි ඇති ඡායාරූපය ඒ පත්‍රිකාවෙන් ගත් එකක්. එහෙත් මෙහි ඇත්තේ පත්‍රිකාවේ දැක්වෙන ඡායාරූපයෙහි ප්‍රතිබිම්බයක්.
මා මේ පත්‍රිකාව ගැන කියන්නේ බටහිර විද්‍යාව මත පදනම් වනවා කියන්න නොවෙයි. අයින්ස්ටයිනීය විශ්වවේදය හා නිරීක්‍ෂණ අතර නොගැලපීම් තියෙනවා. අයින්ස්ටයින්ගේ හිතළුව දැන් විශ්වයේ ඈතට යන විට වැඩ කරන්නේ නැති තත්වයකට පත්වෙලා. අයින්ස්ටයින් හිතළුවේ ඊනියා විශ්වවේදීය නියතය(cosmological constant) යොදා ගන්නේ නියතයක් ලෙස. එය විචල්‍යයක් ලෙස යොදා ගෙන තම දර්ශනපති උපාධි නිබන්ධ ඉදිරිපත් කළ වසන්ත කටුගම්පොළට හරි කුමුදුමලී ජයකොඩිට හරි අදාළ පත්‍රිකාවේ සඳහන් නිරීක්‍ෂණය තේරුම් කරන්න පුළුවන් කියා මට හිතෙනවා.
ඒත් මට මේ පත්‍රිකාව කියවු විට මගේ අතීතය මතක් වුණා. 1969 ජනවාරියේ එංගලන්තයේ ශීතල අඳුරු දවසක මා සසෙක්ස් විශ්වවිද්‍යාලයට පා තැබුවේ බටහිර විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුවෙන්. වඩාත් විස්තරාත්මක ව කියනවා බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුවෙන්. මට එහි දී මහාචාර්ය මැක්රේ පළමු දවසේ දී ම ගුරුත්වජ කාච හා ක්වේසාර (quasars) ගැන සොයා බැලීමට කිව්වා. ඒ දවස්වල ගුරුත්වජ කාච මෙන් ම ක්වේසාරත් අලුත්. මා ඒ කාර්ය හොඳින් කළා කියා හිතනවා. අද පත්‍රිකාවේ සඳහන් වනවා ගුරුත්වජ කාච මගින් ඇති කෙරෙන බහුප්‍රතිබිම්බ (multiple images) ගැන. මගේ නිබන්ධනයේ තමයි එවැනි ප්‍රතිබිම්බ තිබිය හැකි බව මුල් වරට පෙන්වා දුන්නේ. එවැනි බහුප්‍රතිබිම්බ පළමු වරට පසු කාලයක නිරීක්‍ෂණය කෙළේත් මා සමග සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියකට වැඩ කළ බොබ් කාර්ස්වෙල්.
ඒ මොනවා කළත් මට විද්‍යාඥයකු වීමට නොහැකි බව තේරුණා. මා මහාචාර්ය මැක්රේට කිව්වා මට ආපසු යෑමට වුවමනා ය කියාත් දර්ශන විශාරද උපාධියකට ගත කළ යුතු අවම කාලය වූ අවුරුදු දෙක මා ගත කර නැති බැවින් දර්ශනපති උපාධියකට නිබන්ධනය ඉදිරිපත් කරන බවත්. මහාචාර්යතුමා මට මුල දී එයට ඉඩ දුන්නේ නැහැ. එහෙත් පසුව එතුමා සනාතන සභාවේ මා වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ නීති වෙනස් කර අවුරුදු එකහමාරකින් දර්ශන විශාරද උපාධිය සඳහා නිබන්ධනය ඉදිරිපත් කිරීමට අවසරය ලබා දුන්නා. අවශ්‍ය වාචික පරීක්‍ෂණ කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව 1970 අගෝස්තුවේ මට උපාධිය නිර්දේෂ කෙරුණා. පසුව සනාතන සභාව එය අනුමත කළා.
මට අර පත්‍රිකාව කියවීමෙන් පසුව මතක් වූණේ මගේ ආචාර්ය උපාධියට අවුරුදු පනහක් ගත වී ඇති බව. වයස, විවාහ ජීවිතය, දේශපාලන ජීවිතය ආදිය අවුරුදු පනහ වූ පසු එය සමරන බැවින් උපාධියේ වයසත් අවුරුදු පනහක් වීම සැමරිය යුතු ය කියා මා කියන්නේ නැහැ. මගේ ප්‍රථම උපාධියට නම් වයස අවුරුදු පනස්තුනක්. දැනට අවුරුදු හතකට පෙර 2013 දී අප විශ්වවිද්‍යාලයට ඇතුළත් ව අවුරුදු පනහක් පිරීම සැමරුවා. එදා සිටි කිහිප දෙනෙකු අද නැහැ.
විද්‍යාඥයකු වීමට නොහැකි වී ආපසු පැමිණීමෙන් මට පාඩුවක් වුණේ නැහැ. ඒ පැමිණ මාස කිහිපයකින් මට මගේ (අනාගත) භාර්යාව මුණ ගැසුනා. ඉන් මාස කිහිපයකට පසු ජ වි පෙ පළමු විප්ලවය කරන දිනවල අප විවාහ වුණා. ඒ විවාහයත් විප්ලවයක් තමයි. එහි එක් සාක්‍ෂිකරුවකු මා දැන ගත්තේ එදින ම යි. ඉන්පසු ඔහු දැක්කේ නැහැ. ඔහුගේ නම දන්නේත් නැහැ. ඒ සඳහා විවාහ සහතික පත්‍රය බලන්න ඕන. ජ වි පෙ විප්ලවය අසාර්ථක වුණත් මගේ විප්ලවය එසේ වුණේ නැහැ.
අපේ විවාහයටත් ලබන වසරේ අවුරුදු පනහක් පිරේවි. කේන්ති යන මා සමග අවුරුදු පනහක් ඉන්නවා කියන එක ලෙහෙසි පහසු වැඩක් වෙන්න බැහැ. ඒ මදිවට පළමු වර අවුරුදු දෙකකුත් දෙවැනි වර අවුරුදු දහයකුත් රැකියාවක් නැති ව හිටි මට කන්න අඳින්න දීමත් දරුවන් රැක බලාගෙන ඔවුන්ට ඉගැන්වීමත් මා කෙසේ අගය කරන්න ද? මා රටට ඉගැන්වීමට මිසක් දරුවන්ට ඉගැන්වීමක් කෙළේ නැහැ. දරුවන් තිදෙනා ම උසස් පෙළට ගණිතය හැදෑරූවත් මා ඔවුන්ට ගණනක්වත් කියා දී නැහැ.
රට්ටු ඉගෙන ගත්තෙත් නැහැ. ඔවුන්ට වුවමනා මට බනින්න කරුණක් අල්ල ගන්න. මාක්ස්වාද විවේචනය, සම්ම ජාතියේ ඇති නොවන සමාජවාදය, චින්තනය, චතුස්කෝටිකය, දෙමළ ප්‍රශ්නය, චක්‍රීය කතා, නාථ දෙවියන්, විද්‍යාව පට්ටපල් බොරු, බටහිර වෙදකම, මනස, නිවන, බුද්ධාගම, අශෝක රජු, බුද්ධඝෝෂ හිමි, යක්‍ෂ අතීතය, සිරිසේන, බැසිල්, ඉතිහාසය ගැන මා දරණ මත ආදිය බොහෝ දෙනාට රුස්සන්නේ නැහැ. ඒ මදිවාට මෙන් ඔවුන් මගේ දරුවන් ඉගෙන ගත් තැන්, රැකියා කරන තැන්, ඉන්න රටවල් ආදිය ගැනත් හොයා බලනවා. ඒ මා බොරුකාරයකු, හොරකු, වංචනිකයකු බව පෙන්වීමට.
ඒ විරුද්ධවාදීන් පමණක් නොවෙයි. මගේ ගෝලයන් ජාතිකවාදීන් කියන අයත් ඒ අතර ඉන්නවා. මෑතක දී ප්‍රධාන ජාතිකවාදියකු කීවේ මා ඉගෙන ගැනීමට මනෝහර සිල්වාගේත් ලලිතසිරි ගුණරුවනගේත් ලිපි කියවන්න ඕන කියල. ගුණරුවන් ඒක බරපතළ විධියට අරගෙන මට ලිපියකුත් එවල තිබුණා. ගෝලයන් හා ජාතිකවාදීන් සමහර දෙනකුට මා අමතක කිරීමට අවශ්‍යයයි. ඔවුන් හිතනවා මා ඉතිහාසයෙන් මකා දාන්න ඕන කියල. ඒක නම් ප්‍රශ්නයක් නො වෙයි. මා මළ පසු මගේ සෙහොන් කොතේ දුක් ගීයක් ලියන්න තබා සොහොන් කොතක්වත් ඉදිකරන්න වුවමනා නැහැ.
රට්ටු මොන කිව්වත් මට දරුවන් ගැන ආඩම්බරයි. පුතුන් දෙදෙනාත් දියණියත් දෙයියන්නෙ පිහිටෙන් හොඳින් ඉන්නවා. ඔවුන් නිසා ලැබුණු ලේලිලත් බැණනුවනුත් ඉතා අගේට පවුලට සම්බන්ධ වෙලා. ඔවුන් ඉගෙන ගත්තේ කොළඹ පාසල්වල. ඇත්තට ම පාසල් තුනක. රාජකීය, මියුසියස්, විශාකා. ඔන්න බනින්න තව දත්ත තියෙනවා.
ඒ මොන වුණත් මගේ ලෝකයේ අද උඩින් ම ඇත්තේ අර කලින් කී චින්තනය වැනි දේවත් වෙනත් කවුරුන්වත් නොව මගේ මුණුබුරන්. දෙමාපියන්, ආච්චී සීයා, අනෙක් නැදැයන්, භාර්යාව, දරුවන් කෙරෙහි දැක්වූ සෙනහසට සෑම අතින් ම වෙනස් සෙනෙහසක් මුණුබුරන් කෙරෙහි ඇත්තෙ. එය මුළුමනින් ම කොන්දේසි විරහිත ඒක පාර්ශ්වීය වූවක්. ඔවුන්ගෙන් සෙනෙහසක පුළුටක්වත් බලා පොරොත්තු වන්නේ නැහැ. ඔවුන්ගේ සෙනෙහසක් තිබීම වෙනත් කරුණක්. එහෙත් එය අනිවාර්ය නැහැ.
මේ ආචාර්ය උපාධියට අවුරුදු පනහක් පිරී ඇති බව සයන්ස් සඟරාවේ පත්‍රිකාව දැකීමෙන් පසු මතක් වීමෙන් හිතට ආ අදහස්. මේ සියල්ල පෞද්ගලිකයි. එහෙත් රහසිගත නැහැ. අවශ්‍ය නම් පඬි වදනින් පශ්චාත් එංගලන්ත කතාව කියන්න පුළුවන්. අන්තිමට බලන් යන කොට අවුරුදු පනහකට ටිකක් වැඩි කාලයක් ගැන වචන දාහක්වත් ලියන්න තරම් දෙයක් නැහැ.