Main Logo

Wednesday 9 September 2020

විස්සේ කොස්ස

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



විස්සේ කොස්ස 


අද වන විට ද්විත්ව රටවැසියන්ට මෙරට  දේශපාලන වශයෙන් වැදගත් තනතුරු ලබා දිය යුතු යැයි කියන්නන් ගෙනෙන එක ම තරකය වී ඇත්තේ විවිධ දක්‍ෂතා ඇති දවිත්ව රටවැසියන්  මග හැරිය නොයුතු බවයි. ඔවුන්ට ඇලුම් පිළිබඳ ගැටුම ගැන කියන්න දෙයක් නැති බව පැහැදිලියි. ද්විත්ව රටවැසියන්ට දේශපාලන වශයෙන්  වැදගත් තනතුරු නොදිය යුතු බව කියන්නේ මේ ඇලුම් ගැටුම හා දෙවැනි රටට එකී ද්විත්ව රටවැසියන්ට බලපෑම් කළ හැකි ය යන කරුණු මත පදනම් ව. ඇලුම් ගැටුම බටහිර රටවල ඉන්න සිංහලයන්ට මැතිවරණවල දී ද බලපානවා. ඩෙමොක්‍රටික්/කම්කරු පක්‍ෂ ඉතා පැහැදිලි සිංහල විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔවුන් දන්නවා. ඒ සිංහලයන් ඡන්දය දීමේ දී සැලකිය යුත්තේ තමන් පදිංචි රටේ සුභ සිද්ධිය ද නැත්නම් ලංකාවේ සුභ සිද්ධිය ද? 

වැදගත් තනතුරු දරන්නන්ට ඒ දෙවැනි රට බලපෑම් කිරීීමට ඉඩ තියෙනවා. සමහර විට තවමත් එවැනි බලපෑමක් සිදු වී නැති නමුත් එසේ නොවේ වි යැයි කීමට කිසිවකුටවත් බැහැ. මේ තර්කවලට ද්විත්ව රටවැසියන්ට තනතුරු දිය යුතු යැයි කියන අයට ප්‍රතිචාරයක් නැහැ. ඔවුන් දන්නේ දක්‍ෂයන්ට තැන වැසිය නොයුතු යැයි කීමට පමණයි. දක්‍ෂයකුට වුවත් ඇලුම් ගැටුම හා බලපෑම ඇති වන්න පුළුවන්. අනෙක් අතට ඔය කියන දක්‍ෂයන් නැතිව ම බැරි දක්‍ෂයන් ද?

අද ද්විත්ව රටවැසියන් දැරූ තනතුරු සම්බන්ධයෙන් නම් කිහිපයක් කියැවෙනවා. මට නම් ඔවුන්ගේ ඇති විශේෂ දක්‍ෂකමක් පේන්නෙ නැහැ. ඔවුන් කර ඇති විශේෂ කාර්යය කුමක් ද? වෙනත් අයකුට කළ නොහැකි ව තිබූ විශේෂ දෙයක් ඔවුන් කර ඇත් ද? වෙනත් අයකුට කළ නොහැකි දෙයක් ඔවුන්ට කළ හැකි ද? ඔය කියන දක්‍ෂයන් තවත් සාමාන්‍ය පුද්ගලයන් පමණයි. ඔවුන් සමාජයේ වැදගත් යැයි පෙනෙන්නේ වෙනත් කරුණු නිසා. ඔවුන්ට වඩා දක්‍ෂයන් රටේ හිටියත් ඒ වෙනත් කරුණු නැති නිසා සමාජයේ වැදගත් තැනක් ලැබෙන්නේ නැහැ. 

පිටරට විශ්වවිද්‍යාලයක හරි වෙනත් ආයතනයක හරි තනතුරක් ලැබූ පමණින් යමකු ඊනියා අතිදක්‍ෂයකු බවට පත්වන්නේ නැහැ. පිටරට විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් හැටියට සේවය කරන්නන් අතිදක්‍ෂයන් නොවෙයි. ඔවුන් දක්‍ෂයන් වෙන්න පුළුවන්. එහෙත් ඔවුන්ගෙන් වෙනත් අයකුගෙන් නොවිය හැකි දෙයක් වෙලා නැහැ. ඔවුන් වෙනුවට වෙනත් අයකු පත්කර ගැනීමට පුළුවන්. ඒ සඳහා සුදුසු පුද්ගලයන් එක් කෙනකුට වඩා ඉන්න පුළුවන්.

ඔය ඊනියා අතිදක්‍ෂයන්ට රටට සේවය කිරීමට අවශ්‍ය නම් තම දෙවැනි රටවැසිකමෙන් ඉවත් වන්න පුළුවන්. ඔය අතිදක්‍ෂකම් ගැන කියවීම නවතා එවැනි වැදගත් තනතුරකට පත් කළොත් තම කැපවීම පෙන්නුම් කිරීමට ඒ දෙවැනි රටවැසිකමෙන් ඉවත් වීමට පුළුවන්. එසේ නොකරන්නේ නම්  පහසුවෙන් ම එවැනි ම අතිදක්‍ෂයකු මෙරටින් හොයා ගන්න පුළුවන්. අද රටේ පවත්නා සම්ප්‍රදාය අනුව යමකුට විවාහකයකු ව සිටිය දී පැවිදිවන්න බැහැ. පැවිදි වීමට නම් භාර්යාව අත්හරින්න ඕන. දැන් අහන්න එපා ඇතැම් පැවිදි අයට ආදරවන්තියන් නැත් ද කියා. 

විස්සේ ප්‍රධාන කොස්ස ලෙස මා සලකන්නේ ඔය ද්විත්ව රටවැසි බාධකය ඉවත් කිරීමයි. අනෙක් සමහර වගන්ති ගැන මට ඇත්තේ වෙනත් කතාවක්. ඒ වගන්ති අනාගතය ගැන නොසිතා ඇතුල් කර ඇති බවකුයි මට වැටහෙන්නේ. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාට යම් යම් බලතල දී ශක්තිමත් කිරීම මට ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් ව්‍යවස්ථාවට ඒ කරුණුත් වෙනත් කරුණුත් ඇතුළත් කිරීම අනාගතයටත් බලපානවා. අපට මේ ජනාධිපතිතුමාට බලපාන වෙනත් ජනාධිපතිතුමන්ට බලපාන්නෙ නැති ව්‍යවස්ථා හදන්න බැහැ. ඒ වගේ ම මේ කාලයට බලපාන වෙනත් කාලවලට බලපාන්නෙ නැති ව්‍යවස්ථා සම්පානය කරන්නත්  බැහැ. 

වෙනත් ජනාධිපතිවරයකු ඒ බලතල කෙසේ යොදා ගනීවි ද? ජනාධිපතිවරයාට  අධිකරණයේ ලැබෙන මුක්තිය, විගණකාධිපති සම්බන්ධ වගන්ති ප්‍රශ්න මතුකරනවා. රාජ්‍ය සේවයේ ඇති ඇතැම් නීති රීති රෙගුලාසි වැඩ කිරීමේ දී බාධා ඇති කරනවා. එහෙත් එයට තවම පිළියමක් නැහැ. සංස්ථා ඇති කිරීමත් පිළියමක් නොවෙයි. විගණකාධිපති බල රහිත කිරීමත් පිළියමක් නො වෙයි. එහෙත් ඉක්මනට කරන්න ඕන වැඩ කරන්න බැරි වෙන විධියෙ රෙගුලාසි නීති රීති රාජ්‍ය සේවයේ තියෙනවා. රෙඩ් ටේප් නමින් හැඳින්වෙන ලිපි ගොනු බැඳ තබන පටිය කපන්න ක්‍රමයක් හොයා ගන්න ඕන. 

මා හිතන්නෙ හත්වැනි උපලේඛනයෙ තියෙන ප්‍රතිඥාව ඉවත් කිරීමත් කාලයට සාපේක්‍ෂ එකක්. ඒ ප්‍රතිඥාව මෙසේයි. "......................................................................... වන මම, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද, ශ‍්‍රී ලංකාවේ දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීමට, කෙළින් ම හෝ අන්‍යාකාරයකින්, ශ‍්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී ආධාර දීම, අනුබල දීම, අනුග‍්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවට ද, ගෞරව බහුමානයෙන් යුක්තව ප‍්‍රකාශ කොට ප‍්‍රතිඥා දෙමි./ දිවුරුම් දෙමි."

දෙමළ බෙදුම්වාදය පරාජය කර ඇති මෙකල මේ ප්‍රතිඥාව අනවශ්‍ය බවට තර්ක කරන්න පුළුවන්. එහෙත් තවමත් විදේශීය බලපෑම් සම්පූර්ණයෙන් ඉවත් වී නැහැ. අනෙක් අතට මුස්ලිම් අන්තවාදය පරාජය කෙරී නැහැ. හකීම් මුස්ලිමුන් සඳහා වෙන ම කලාපයක් ඉල්ලනවා. ඒ අතර ඔහු ම කියනචා සහරාන් පසුපස වෙනත් බලවේගයක් තිබුණා කියා. හකීම්ගෙ යුතුකම ඒ බව කලින් ම ආරක්‍ෂක අමාත්‍යාංශයට දැනුම් දීම. කෙසේ වෙතත් ජාත්‍යන්තර ව ක්‍රියාත්මක වෙන මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයක් තිබෙන බව පැහැදිලියි. බෞද්ධ රටවල දී එයට බටහිර රටවලින් ද සහාය ලැබෙනවා.

අවශ්‍ය වන්නේ ඉහත සඳහන් ප්‍රතිඥාව රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදී ක්‍රියා ද ඇතුළත් වන ආකාරයට සංශෝධනය කිරීමයි. අපට තුන්කල් බලා ව්‍යවස්ථා සම්පාදනය කරන්න බැහැ. එහෙත් යම් කාල වකවානුවකට සරිලන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය වන්න ඕන.