Main Logo

Monday 7 September 2020

තෙල් නැවේ කතාව කාට කියන්න ද?

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



තෙල් නැවේ කතාව කාට කියන්න ද?


කේ එම් පනික්කාර් කියන්නෙ ඉන්දියාවෙ වත්මන් විදේශ ප්‍රතිපත්තියෙ එක් නිර්මාපකයෙක්. ඔහු වත්මන් කේරළයේ උපන්නෙක්. කේරළයේ ම ඉපදුණු මෙනන් සමග එකට ඉගෙන ගත් අයෙක්. ඉන්දියාවෙ වත්මන් විදේශ ප්‍රතිපත්තිය කේරළ බ්‍රාහ්මණ වාංශිකයන් අතින් සකස් කෙරුණාය කියන එක අතිශෝක්තියක් විය හැකි වුවත් එහි ගත යුත්තක් තියෙනවා. පනික්කාර් තමයි කිව්වෙ ඉන්දියන් සාගරය කියන්නෙ ඉන්දියාවෙ සාගරය කියල. තෙල් නැව ගිනි ගත්තෙ ඉන්දියන් සාගරයෙ.

ලෝකයේ තියෙන සාගරවලින් රටක නමින් නම් කරල තියෙන්නෙ ඉන්දියන් සාගරය විතරයි. බටහිරයන් එහෙම කෙළෙ මොකද කියන එක හිතා ගන්න බැහැ. ඒ සඳහා වැඩ කරන හිතළුවක් හදා ගන්න (සංස්කරණය කරන්න) බැහැ. නමුත් පනික්කාර්ගෙ කියමන අනුව අද අපට ජීවත් වෙන්න සිද්ධ වෙලා. ඔය සාගරයෙ බලපෑම ලංකාවෙ ඉඳන් අග්නිදිග ආසියාව තෙක් පැතිරිල තියෙන්නෙ අද ඊයෙ නො වෙයි. තපස්සු භල්ලුක, විජයසිංහ, සිංහල, වෛදික සංස්කෘතිය, බුද්ධාගම, අශෝක රජුගෙ ධර්මප්‍රචාර, රාමායණ කතා, මෞර්ය වංශය හා සංස්කෘතිය, බුද්ධඝෝෂ හිමි, මෙරට මුස්ලිමුන්, ආර්ය චක්‍රවර්ති රජවරු, මලබාරයන්, නායක්කාර රජවරු ආදී කුදු මහත් කතා රාශියක් ඉන්දියන් සාගරය හා සම්බන්ධයි. මෙහි කුදු මොනවාද මහත් මොනවාද කියා මා කියන්න යන්නෙ නැහැ. අපේ මුත්තා ථකුරත් එන්න ඇත්තෙ ඉන්දියන් සාගරය ඔස්සෙ. වෙන කොහොම එන්න ද 

අපට විතරක් නොවෙයි මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය වැනි රටවලටත් ඉන්දියන් සාගරය බලපාල තියෙනවා. තායිලන්තයෙ රාමායණය හරි ජනප්‍රියයි. එහෙ රාමායණ නාට්‍ය දකින්න පුළුවන්. මේ රටවල තියෙන්නෙ වෛදික බෞද්ධ සංස්කෘතික මිශ්‍රණයක්. එහි බෞද්ධ සංරචකය වැඩියි. එයට වැඩියෙන් ම බලපාල තියෙන්නෙ ලංකාව. ඒ මිශ්‍රණය උඩින් ඒ රටවල ඒ ඒ ප්‍රමාණයෙන් චීන සංස්කෘතියත් බලපාල තියෙනවා.  

එක් අතකට මේ සාගරයට ලංකා සාගරය කියන්න තිබුණා. ථෙරවාදය ලංකාවෙ ඇති නූණත් ලංකාවෙ අපි තමයි එය ආරක්‍ෂා කර ගත්තෙ. ඒක මේ කලාපයට දීල තියෙන්නෙත් අපි. කලින් කලාපයෙ බුද්ධාගම් තිබිල තියෙනවා. ඒත් වත්මන් බුද්ධාගම අපෙන් ගිය එකක්. අද මියන්මාරයෙ තියෙන්නෙ අනවරත (අනුරුද්ධ) කියල රජ කෙනෙක්ගෙ කාලෙ (එකොළොස්වැනි සියවසේ) විජයබාහු රජු දවස ලංකාවෙන් ගෙන ගිය බුද්ධාගම. මේ කලාපයේ ලංකාවෙ බලපෑම තදින් දැනෙනවා. ඒත් මේ සාගරය ලංකා සාගරය කියල නම් කරන්න බැහැ. ඒ නිසා අපි ලංකාගම කියල ගම් ලංකාව ඇතුළෙම හදා ගන්නවා. ඇත්තට ම සිංහරාජයට සිංහරාජ කියල නම දැම්මෙ මොක ද? මේ මගේ මනසට එන මනස්ගාත වෙන්න පුළුවන්.  

මට මේ සියල්ල මතක් වුණෙ අර තෙල් නැව හින්ද. ඒකෙ ගින්න නිවුවෙ ඉන්දියාව කියල විශාල ප්‍රචාරයක් ගෙනි යනවා. ලංකාව ඇතුළෙ රූපවාහිනී නාළිකා මොනවා කිව්වත් ඒවායෙ බලපෑම අඩුයි. අර කෝකටත් කට දාන ප්‍රංශ ප්‍රවෘත්ති සේවය මොකුත් කියල නැද්ද? එහෙමත් නැත්නම් අල් ජරා නැහැ අල් ජසීරා. අපි වරදක් ය කියන්න පුළුවන් දෙයක් කරල නැතිව ඇති. 

සමහර ගෙවල්වල ලොකු අයියල හිතන් ඉන්නෙ පොඩි මල්ලිල නංගිල ඒ අයට ඕන එක විතරක් කරන්න ඕන කියල. ගෙදර වැඩ කටයුතුවලට කිසිම උපකාරයක් නොකළත් ඔවුන් හිතන්නෙ ගෙදර සියලු වැඩ තමන්ගෙ නමින් කෙරෙන බව කියැවෙන්න ඕන කියල. කාට කියන්න ද? අම්මට තාත්තට කියන්න ද 

ඇත්තට ම මේ කලාපයෙ අම්ම තාත්තා කවුද? තාත්තා බ්‍රහ්මන් වුණොත් අම්ම කවු ද? සරස්වතී ද? එහෙමත් නැත්නම් අර අඩු කුලයක් ය කියන  ගුජාර් කුලේ ගයාත්‍රි ද 

මා පෙරදිගවත් අපරදිගවත් දාර්ශනිකයෙක් නොවෙයි. විද්‍යාඥයකු වීමට නොහැකි වූ මා දාර්ශනිකයකු වෙන්නෙ කොහොමද? දර්ශනය තියෙන්නෙ විද්‍යාවට උඩින් වෙන්න ඕන. විද්‍යාවෙ දාර්ශනිකයො මිසක් දර්ශනයෙ විද්‍යාඥයො නැත්තෙ ඒක හින්ද වෙන්න ඇති. භෞතික විද්‍යාඥයො උද්භිද විද්‍යාඥයො හිටියට දර්ශන විද්‍යාඥයො නැහැ. ඒ මොකක් වුණත් මගේ අදහස් මා කියනවා.  

අද්වෛත වෙදාන්තය අනුව බ්‍රහ්මන් තමයි එක ම යථාර්ථය. පරමාත්මය.  අනෙක් සියල්ල ම බ්‍රහ්මන්ගෙ නිර්මාණ. අනෙක් සියල්ල ම කියන එකත් වැරදියි. බ්‍රහ්මන් විතරයි. ආයෙ දෙකක් නැහැ. අද්වෛත කියන්නෙ ඒකයි. සියල්ල බ්‍රහ්මන්. බ්‍රහ්මන් අනන්තයි. අප දන්නෙ නැහැ අප බ්‍රහ්මන්ගෙ චූටි චූටි කෑලි (ආත්ම) කියල. ඒ නිසා තමයි අප සසර සැරිසරන්නෙ. 

කොහොමටත් එක් කතාවක් අනුව සරස්වතී ඉපදිලා තියෙන්නෙ බ්‍රහ්මන්ගෙ කටින්. සමහර වෙනත් අය වෙනත් තැන්වලිනුත් ඉපදිලා. පඬියන් ඉපදෙන්නෙ ඇත්තෙ අර ඔවුන් නිතර ම කියන අවයවයෙන් වෙන්න ඇති. ඔවුන් ඒ ගැන නිතර කියන්නෙ ඒ නිසා වෙන්න ඕන.  

තවත් කතාවකට අනුව සරස්වති කියන්නෙ බ්‍රහ්මන්ගෙ ම කොටසක්. බ්‍රහ්මන් තම සිරුරෙ එක කොටසක් ස්ත්‍රී පාර්ශ්වයක් කරල. ඒ තමයි සරස්වති. බ්‍රහ්මන්  පස්සෙ  සරස්වතී   පිළිබඳ සිතක් පහළ වෙලා ඇය විවාහ කරගෙන. ඒක තමන් තමන් ව විවාහ කර ගැනීමක් ද කියල මගෙන් අහන්න එපා. ඊළඟට අහාවි බ්‍රහ්මාස්වාදය කියන්නෙ මොකක් ද කියල. බ්‍රහ්මාස්වාදය වගේ ආස්වාද ගැනත් අහාවි. ඒවයින් වැඩක් නැහැ. අපි සරස්වතී පූජා පවත්වනවා නේ. ඒ ඇති. ඒ කියන්නෙ මේ කලාපයෙ අම්මා තාත්තා සරස්වති හා බ්‍රහ්මන් කියන එක ද?ඒ රේඛීය චින්තනය. රේඛීය චින්තනය බමුණො ගාවත් තිබුණ. අද ඉන්දියානුවන් මයික්‍රොසොෆ්ට් වැනි ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් වීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.  

එතකොට ගයාත්‍රි කවු ද? දවසක් බ්‍රහ්මන්ගෙ මොකක් ද යාඥාවකට සරස්වතී එන්න පරක්කු වෙලා. දැන් අහන්න එපා බ්‍රහ්මන් යාඥා කරන්නෙ කාට ද මොකට ද කියල. ඕවා රේඛීය ප්‍රශ්න.  සරස්වති ප්‍රමාද වීම ගැන බ්‍රහ්මන්ට කේන්ති ගිහින්. බ්‍රහ්මන්ට කේන්ති යනව නම් මට කේන්ති ගියා ම මොක ද කියල මා අහන්නෙ නැහැ. බ්‍රහ්මන් කේන්ති ගියා ම කරන්නෙ අමුතු වැඩ. බ්‍රහ්මන් එතැන හිටපු ගයාත්‍රි ව නාවල පිරිසිදු කරල අඹුකමට අරගෙන යාඥාව පවත්වල. නාල පාරිශුද්ධ වෙන්න පුළුවන් නිසා වෙන්න ඕන අපේ අය නිතර නාගන්නෙ. සරස්වති පස්සෙ ඇවිල්ල මේ අලුත් අඹුව දැකල කේන්ති ගිහින්. ඊට පස්සෙ මොනව වුණා ද කියල සරස්වතී පූජාවක දි තමයි අහගන්න වෙන්නෙ.  

දැන් මේ කලාපයෙ තාත්තා බ්‍රහ්මන් කියමු. අම්මා සරස්වතී ද ගයාත්‍රි ද? මා මේ ප්‍රශ්න අහන්නෙ තෙල් නැවේ කතාව කාට කියන්න ද කියල දැන ගන්න. දැන් ගින්න නිවල නේ. ඔය නැව ලංකාව පැත්තට ආවෙ මොක ද කොහොම ද කියල දැන් හොයලා බලමු ද?