Main Logo

Monday, 21 September 2020

වමක් නැති ව දකුණට සේවය කරන වම්මු

 වමක් නැති ව දකුණට සේවය කරන වම්මු


මෙරට වමට මොක ද වුණෙ? මේ ප්‍රශ්නයට පිළිතුරු රාශියක් දෙන්න පුළුවන්. මුකුත් වෙලා නැහැ, ඔය යසට තියෙන්නෙ, අන්තිම සටනට සැරසෙනවා, වික්‍රමබාහුගෙන් අහන්න, සකර්බර්ග් පඬියන්ගෙන් අහන්න, ජ වි පෙ වම ඉස්සරහට ගෙන යනවා, පෙරටුගාමීන් තව ටික කලකින් බලය අල්ලනවා, අනෙක් රටවල වෙච්ච දේ ම වුණා, වෙන්න තිබුණු දේ වුණා, වෙන්න ඕන දේ වුණා, නාථ දෙවියන්ගෙන් අහන්න, ගෝඨාභයගෙ ෆැසිස්ට්වාදයෙන් රට මුදව ගන්න වැඩ කරනවා, කම්කරු පංතිය සංවිධානය කරනවා, කම්කරු පංති නායකත්වය ගොඩ නගන්න හදනවා සහ තවත් පිළිතුරු. මේ සමහර පිළිතුරු වමට මොක ද වුණෙ කියන ප්‍රශ්නයට නොව වම මොක ද කරන්නෙ කියන ප්‍රශ්නයට පිළිතුරු. ඒක පෙන්නුවොත් අපිට පාන් ද කියල අහන්න ඉඩ තියෙනවා. නැහැ කේක් කියන්නත් පුළුවන්.

වමට මොක ද වුණෙ කියල මා අහන්නෙ අද වමක් නැති නිසා. ජ වි පෙ, පෙරටුගාමීන්, සකර්බර්ග් පඬි නැට්ටන්, කුමාර් ඩේවිඩ්, නදීක ගුරුගේ, හරිනි අමරසූරිය, ලාල් විජේනායක, සිරිතුංග ජයසූරිය ආදීන් ඉන්න බව මා දන්නවා. ඒත් වමක් නැහැ. වම්මු ඉන්නවා වමක් නැහැ. වමක් නැති වම්මු. වම්මුන්ට වමක් නැති වුණා ම කරන්න තියෙන්නෙ දකුණට යන එක. ඒ කියන්නෙ වික්‍රමබාහු වගේ යන්න කියන එක නො වෙයි. වික්‍රමබාහු කියයි සිරි ගුණසිංහ සරණ යමින් අන් බිරියකට පෙම් කළමුදු සිත පිරිසිදු පිරිමියෙක්මි මම කියල. දකුණට යනව කියන්නෙ දකුණෙ පක්‍ෂයකට යන එක ම නොවෙයි. දකුණෙ ප්‍රතිපත්තිවලට යන එක. වම්මුන්ට විකල්පයක් නැත්නම් වෙන මොනව කරන්න ද?  

වම්මුන් පුළුවන් නම් දැන් පවතින ක්‍රමයට (එයට කියන නම මොකක් වුණත්) ඇති තම විකල්පය පැහැදිලි කර එය සාක්‍ෂාත් කර ගන්නා ක්‍රමයක දළ සේයාවක්වත් දෙනවා ද? අපට වැඩ පිළිචෙළක් තියෙනවා අපි ඉස්සෙල්ල දර්ශනය එහෙම නැත්නම් ප්‍රවාදය (තියරිය) උගන්වන්න ඕන කියල වගේ කතාවලින් වැඩක් නැහැ. මට එහෙම අහන්න හිතෙන්නෙ සමහර වම්මුන් වෙනත් අය කරන දේ ගැන විවේචනය කිරීම පමණක් කරන නිසා.  දැන් සමහර වම්මුන් අහන්න පුළුවන් සුපුරුදු විධියට අපට අනෙක් අය කරන දේ ප්‍රශ්න කරන්න බැරි ද කියල. අපොයි පුළුවන්. ඒත් අපිත් කැමතියි වම්මුන්ගෙ විකල්පය මොකක් ද කියල දැන ගන්න. 

අපේ විකල්පය අපි කියල තියෙන්නෙ. අපි ඒකට යනවා. යන්න බැරි වෙයි කියල වම්මුන් හිතනව නම් අපට ප්‍රශ්නයක් නැහැ. අපි අඩු තරමෙන් මේ වන විට දෙමළ ත්‍රස්තවාදය හා දෙමළ ජාතිවාදය පරාජය කරල තියෙනවා. එය තමයි අපේ පළමු ඉලක්කය. අපි ටිකෙන් ටික අපේ විකල්පයට යනවා. මුස්ලිම් වහාබ්වාදී අන්තවාදයත් පරාජය කරන්න බලාපොරොත්තු වෙනවා.  හැබැයි එහෙම යනවාමයි ඒක ඉටු වෙනවාමයි කියන්න ඓතිහාසික ද්‍රව්‍යවාදය වගේ ප්‍රවාදයක් නම් අපට නැහැ. අපට අනාවැකි කියන්න බැහැ. අපි විද්‍යාඥයන් නම් නොවෙයි. සමාජ විකාශය ගැන අපට ප්‍රවාද නැහැ.  

අපේ ඉලක්කය නිච්චියට ම හරියනවා කියල අපි කියන්නෙ නැහැ. අපි නියතිවාදීන් නො වෙයි. සම්භාවිතාවාදීනුත් නො වෙයි. අපි ක්වොන්ටම් භෞතිකය ගැන කිවුවත් අපි ක්වොන්ටම්වාදීනුත් නොවෙයි. අපි දැන් තියෙන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අපේ ඉලක්කයට යනවා. අපේ ඉලක්කය ගැන දළ හැඳින්වීමක් සකර්බර්ග්  පිටුවේ මුලින් තිබෙන කතාවේ තියෙනවා. අප විවෘතයි. ඒ ඉලක්කය කරා යෑමට මට මියන්මාරයේ ඉන්න එක බාධාවක් නො වෙයි. කොහේ හිටියත් ජනමාධ්‍ය මගින් ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. එහෙත් ජනතාව අතරට ඒ මත කාන්දු වෙනවා. එක අතකට එහෙම කියන එකත් වැරදියි. මා කරන්නේ සිංහලයන් බහුතරයකට ඇති හැඟීම් ම්නෑකම් වචනවලට හැරවීම පමණයි. මෙතන ප්‍රවාද කතාවක් නැහැ. ඇත්තේ එක ම සංස්කෘතියක ඉඳීමෙන් ලැබෙන ඉවක්. 

අප වම්මුන්ගෙන් විකල්පය හා වැඩ පිළිවෙළ ඉල්ලන එක වැරදි ද කියලත් හිතෙනවා. කවුද දන්නෙ ඔවුන් රහස් වැඩ පිළිවෙළක ඉන්නවා ද කියල. කුමාර් ඩේවිඩ්ට නම් එහෙම වැඩ පිළිවෙළක් නැති බව මා දන්නවා. නදීක ගුරුගේට තියෙනව ද කියල මා දන්නෙ නැහැ. හරිනි කියල මම හරිමි රථසැපා කියල. ඒ හැරෙන්න වෙන වැඩ පිළිවෙළක් තියෙනව කියල හිතන්නෙ නැහැ. අනුරට නම් තරමක ප්‍රශ්නයක්. තම ස්වාමියා දැන් නායකයා නො වෙයි. ඔහුගෙ වැඩ පිළිවෙළ  සජිත්දාස වීම ද? පෙරටුගාමීන්ට විශ්වවිිද්‍යාලවල නවක වධය සම්බන්ධ ප්‍රකාශ නිකුත් කරන්න තියෙනවා. මට මතක නැති වුණා ඔවුන්ට අර ක්වොන්ටම් භෞතිකයෙ අංශුවල ගම්‍යතාවයි පිහිටීමයි එකට මනින හැටි කියල දෙන්නත් තියෙනවා. ඒකට නම් නොබෙල් තෑග්ග හම්බ වෙයි. 

වම්මුන්ට අද ඇත්තේ ජාතිකවාදය විවේචනය කිරීම ද කියලත් සමහර වම්මුන්ගෙ වැඩ දිහා බැලුව ම හිතෙනවා. වම්මුන් හා දකුණ එකතු වෙන තැනක් තමයි ජාතිකවාදයට පහර දීම. ඔය කවුරුත් දැන් කාලෙක ඉඳන් කරන ශාස්ත්‍රීය වැඩක් තියෙනවා. ඒ අනගාරික ධර්මපාලතුමාට පහර දීම. ධර්මපාලතුමා ගැන ශාස්ත්‍රීය කෘතීන් කොයි තරම් පළවෙලා තියෙනවා ද? එතුමාගේ ලිංගිකත්වය, දොන් කරෝලිස් සාප්පුව, මුදල් ලැබුණෙ කොහොම ද සහ තවත් දේ ගැන වමේ හා දකුණේ උගතුන් ලියල තියෙනවා. ගුණදාස අමරසේකරත් ලියල තියෙනවා. අමරසේකර තමයි පෙන්නුවෙ ධර්මපාලතුමාගේ දේශපාලන වැදගත්කම. මා අමරසේකරට සලකන්නෙ මහාවංසයෙ ධර්මපාල පරිච්ඡෙදය ලියූ තැනැත්තා හැටියට. අමරසේකරට අනුව මා නම් එතරම් දෙයක් කරල නැහැ. ඒක වෙන ම දෙයක්.

අද අපට කියන්න පුළුවන් ධර්මපාලතුමා ඉන්දියාවට ගියෙත් දේශපාලන ව්‍යාපාරයකට කියල. බලන කොට එතුමාට ඉන්දියාවට යන්න කියල තියෙන්නෙත් නාථ දෙවියො. ඒ කතාව පහුගිය දවස්වල මුහුණු පොතේ සඳහන් වුණා තමළුගෙන්. ඒත් පඬි නැට්ටන්ට ඒක එතරම්  දැනුනෙ නැහැ. එතුමා පරමවිඥානාර්ථවාදියකුගේ සිට බෞද්ධයකු වීම ඉතා වැදගත් කැඩීමක්. පඬි නැට්ටන් අහන්න පුළුවන් ධර්මපාලතුමා කලින් බෞද්ධයකු ව හිටියෙ නැද්ද කියා. පඬි නැට්ටන් අහන්නෙ එවැනි වැදගත් ප්‍රශ්න.  එතුමා බෞද්ධයකු වීමෙන පසු තමයි දේශපාලනය කරන්න පටන් ගත්තෙ. ධර්මපාලතුමාට වම්මුයි දක්‍ෂිණාංශිකයනුයි එකට එකතු වෙලා පහර දෙන්නෙ එතුමා වමටත් නැති දකුණටත් නැති දේශපාලනයක් කරපු නිසා. එතුමා වත්මන් ජාතිකවාදෙයේ ප්‍රධාන ම පුද්ගලයා. ඒ ගැන විවාදයක් නැහැ. ලේක්හවුසියේ විජයවර්ධනලා ධර්මපාලතුමාට පහර දුන්නේ  එතුමා හුදු බෞද්ධයකු වූ නිසා නොවෙයි. විජේවර්ධනලා  කැලණියෙ දායකයො. ධර්මපාලතුමාගෙ දේශපාලනය ඩී ආර් විජේවර්ධනට හොඳ හැටි තේරෙන්න ඇති. 

වම්මුන් කියයි ඔවුන් ධර්මපාලතුමාට පහර දෙන්නෙ වෙන ම ආස්ථානයක ඉඳන් කියල. ඒ ආස්ථානයත් ඇත්තෙ ලේක්හවුස් පිහිටි ස්ථානයේ ම තමයි. අද දකුණ ධර්මපාලතුමාට පහර දෙන්න එන්නෙ නැහැ. ඒ බැරි කමට හා ජාතිකත්වය තහවුරු වී ඇති බැවින්. ඒත් වම්මුන් අද දකුණත් වෙනුවෙන් ධර්මපාලතුමාට පහර දෙන්නේ ජාතිකවාදයට විරුද්ධ ව. පහර දුන්නයි කියල වම්මුන්ට කිසිම දෙයක් ලබා ගන්න බැහැ. ඔවුන් දකුණ වෙනුවෙන් පහර දෙනවා.  සජිත්ට කරන්න බැරි වැඩේ වම්මු කරනවා ඒ අවසානයේ දී සජිත් වෙනුවෙන්. බැලූ බැල්මට නම් වම්මු සජීත්ට විරුද්ධයි. ඒ බැලූ බැල්මට.