නැති මම
පසුගිය දා දිලිත් ජයවීර කියා තිබුණා මා වෙනස් නොවීම මගේ ඇති ලක්‍ෂණයක් කියා. සමහර විට ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණි සමයේ සිට වෙනස් නොවී ඇති බව කියනවා ඇති. ඔහු විශ්වවිද්‍යාලයට පැමිණියේ 1985 පමණ වෙන්න පුළුවන්. ඒ වන විට මා අද ඉන්න තත්වයට පත්වෙලා තිබුණෙ. ඒ කියන්නෙ එදා සිට අද දක්වා මා කිසිම අයුරකින් වෙනස් වී නැති බව නො වෙයි. මා සිත් පිත් නැති අංශුවක් නොවෙයි. අංශුවක වුණත් වේගය (ප්‍රවේගය) වෙනස් වෙනවා. අංශු වෙනත් අංශු සමග ගැටෙනවා. ක්වොන්ටම් අංශු කිසිවකු විසින් නිරීක්‍ෂණය නොකෙරෙන විට ඩිරැක්ට අනුව රේඛීය ව වෙනස් නොවී චලනය වෙනවා. එහෙත් නිරීක්‍ෂණයක දී වෙනස් වෙනවා. ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර ප්‍රවාදය අනුව නම් අංශු නැහැ. එය වෙනත් ම කරුණක්.
මා දෙවරක් කැඩුණා. ඒ එකක්වත් එක් රැයකින් සිදු වූ දේ නොවෙයි. කැඩීමකට කාලය අවශ්‍යයි. කැඩීමක් සිදුවන්නේ යම් කාල පරිච්ඡෙදයක. පළමුව අවුරුදු 11-14 පමණ කාලයේ මගේ බෞද්ධ පසුබිමේ සිට ඊනියා යථාර්ථවාදී විද්‍යාත්මක මගකට යොමු වුණා. ළමා කාලයේ දී පැවිද වීමට අවශ්‍ය වූ මට එයට ඉඩ නොදී ඉගෙන ගෙන පස්සෙ මහණ වෙයන් කිව්වෙ තාත්තා. ඒක බුදුහාමුදුරුවන් නන්ද කුමාරයා ගිහිගෙහි කළ කරවීමට යොදාගත් උපායෙහි අනෙක් පැත්ත. ඒත් මා පන්සල අත්හැරියේ නැහැ. මගේ පියාගේ ඥාති සොහොයුරකු ව සිට පැවිදි ව සිටි පූජ්‍ය කෙසෙල්වත්තේ සිලානන්ද හිමියන් බැහැ දැකීමට මා පන්සලට ගියා. එසේ ම මා පන්සල් පොත් නමින් හැඳින්වෙන පොත් ද කියවා තිබුණා. තාත්තා මට ඒ අනුබලය ද ලබා දුන්නා.
කුඩා කල ඉතිහාසය හා පුරා විද්‍යාව ඉගෙනීමට සිටි මා අවුරුදු 11 දී පමණ ගණිතයට හා විද්‍යාවට යොමු වූවා. ගණිතයට මා කොහොමත් කවදත් ඇලුම් කළා. පොඩි දක්‍ෂතාවකුත් තිබුණා. එය බෙහෙවින් පොඩියි. පාසලේ විද්‍යාව ඉගෙනීමට පටන් ගත් පසු ඒ ඇල්ම වැඩි දියුණු වුණා. විද්‍යාව කිව්වට අපට ඒ පංතිවල ඉගැන්නුවෙ සාමාන්‍ය විද්‍යාව. එහි හැම කොටසක් ම තිබුණා. මා ආකර්ෂණීය වුණෙ භෞතික විද්‍යා කොටස්වලට පමණයි. ජෛවීය විද්‍යා කොටස් නම් මගේ සිත් ගත්තේ නැහැ. කැරපොත්තන්ගේ අඬු ගණන මතක තබා ගැනීමට මා කිසිදා වෑයම් කෙළේ නැහැ.
මට කොහොමටත් මතක තබා ගැනීමට බැහැ. කවියක් ගාථාවක් කටපාඩම් කිරීමට මා අසමත් වුණා. එහෙත් මා ඉතිහාසයේ ඇතැම් කරුණු මතක තබා ගත්තේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් වුණා. මට හිතෙන්නේ මේ සෑම විෂයකට ම අධ්‍යයනය සඳහා එයට ආවේණික වූ ක්‍රමයක් තියෙනවා. ව්‍යාකරණයක් කියමු. ඒ ක්‍රමය ව්‍යාකරණය මනසට හසු වූ පසු ඒ විෂය ඉගෙනීම අපහසු නැහැ. ඉතිහාසය දේශපාලන විද්‍යාව ආදිය එකට බැඳී තිබෙනවා. ඉතිහාසය කියන්නේ එක් අතකින් දේශපාලනයේ ඉතිහාසය. අද දවසේ දේශපාලනය කාලීන ඉතිහාසය වෙනවා. තව තවත් ඉතිහාස තියෙනවා.
අප පාසලේ එකල නවවැනි පංතියේ දී ඉතිහාසය ශුද්ධ ගණිතය භෞතික විද්‍යාව රසායන විද්‍යාව පමණක් නොව පාළි හා ලතින් ද ඉගැන්නුවා. මා හිතන්නේ අපට ඉතාමත් විශිෂ්ට අධ්‍යාපනයක් ලැබුණා කියා. ඒ වසර අවසානයේ දී පාසලේ ඉංගිරිසි ඉතිහාසය පිළිබඳ කණිෂ්ඨ ත්‍යාගය මට ලැබුණා. ඊළඟ වසර අවසානයේ (සාමාන්‍ය පෙළ අවසන් වසරේ) පාසලේ ව්‍යවහාරික ගණිතය පිළිබඳ ත්‍යාගය (කැමරන් සමරසිංහ ත්‍යාගය ) ලැබුණා. මා ඒ බව කියන්නේ පුරසාරමක් සඳහා නොව මගේ කැඩීම පැහැදිලි කිරීමටයි.
පාසලේ සම්ප්‍රදාය අනුවත් මගේ ඇල්ම අනුවත් සාමාන්‍ය පෙළ පන්තියේ දී මා විද්‍යාඥයකු වීමට හා විශ්වවිද්‍යාලයේ (ව්‍යවහාරික) ගණිතය පිළිබඳ කථිකාචාර්යවරයකු වීමට තීරණය කර ගෙන සිටියා. අප පාසල් පැමිණියේ දුම්රියෙන්. ඒ එන විට දැක්කේ ධීවරයන්ගේ පැල්පත්. දුම්රියේ දී හමුවුණේ කම්කරුවන් හා ලිපිකරුවන්. පාසලේ දී හමුවුණේ ප්‍රභූන්ගේ දරුවන්. සමාජවාදයට හිත ගියා. ඉන්දික ගුණවර්ධන, බර්නාඩ් විජේදෝරු ආදීන් ඇසුරෙන් මාක්ස්වාදය ඉගෙනීමට පෙළඹුණා. විජේදෝරු අප වියට්නාම් පෙළපාලියකට ද සහභාගි කෙරෙවුවා. මාක්ස්වාදය සමග දර්ශනයට ද ඇලුම් කළා. භෞතික විද්‍යාව හදාරණ විටත් දර්ශනයට හිත යොමු වෙනවා. පාසලේ හොඳ පුස්තකාලයක් තිබුණා. එයට අමතර ව මා පාණදුරේ මහජන පුස්තකාලයේ ද සාමාජිකයකු වුණා. විශ්වවිද්‍යාලයේ පළමු වසරේ දී ම මා සමසමාජ පක්‍ෂයේ තරුණ සමිති සාමාජිකයකු වුණා. දෙවැනි වසරේ පක්‍ෂ සාමාජිකත්වය ලැබුණා.
මා එංගලන්තයට ගියේ ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයකු (Theoretical Physicist) වීමට. එහෙත් බැරුව මා ආපසු පැමිණියා. විද්‍යාවේ පරිධියේ පොඩි වැඩ ටිකක් කළා. සමසමාජයෙන් නව සමසමාජයට ගියා. ඕස්ත්‍රේලියාවට ගොස් ආපසු පැමිණි විට පේරාදෙණියට දෙවැනිවර මා බඳවා ගත්තේ නැහැ. අවුරුදු දෙකක් පමණ රැකියාවක් නැතිව සිට ජේ ආර්ට පින්සිදුවන්න මට කොළඹ ලැබුණා. පඬි පෝතකයන්ට ජේ ආර්ට පින්සිිදුවන්න කියන ටික තලු මර මරා කන්න පුළුවන්. එහි පසුබිම කියන්න තවත් ලිපියක් ලියන්න ඕන. අපි කෙටියෙන් කියමු ජේ ආර්ගෙ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත නිසා කොළඹට එන්න ලැබුණා කියා.
නව සමසමාජයේ ඇතැම් ප්‍රතිපත්ති ගැන මා කළ කිරී
සිටියා. 1980 මාර්තු මාසයේ පමණ මා මාක්ස්වාදය විද්‍යාත්මක ද
යන ලිපිය ලියා නව සමසමාජ පක්‍ෂයෙන් අස්වුණා. එහෙත් මා විද්‍යාව පිළිගත්තා. මා
දෙවැනි වර කැඩීම ඇරඹුණා. ක්වොන්ටම් භෞතිකය උගන්වන්න ගිහින් විද්‍යාවේ ප්‍රශ්න පසක්
කර ගත්තා. අසුහතර පමණ වන විට මාක්ස්වාදයෙන් පමණක් නොව බටහිර විද්‍යාවෙන් ද කැඩුණා.
දිලිත් විශ්වවිද්‍යාලයට එන්න ඇත්තේ මේ කැඩීමෙන් පසුව වෙන්න ඕන. 1986
මගේ ලෝකය පළ වුණා. එය දෙතුන් වතාවක් සංශෝධනය කර තියෙනවා. එහි පළමුව තිබූ කරුණු
නිවැරදි කර තිබෙනවා. ඒ අදහස් වර්ධනයත් සමග සිදුවන්නක්. එක් එක් අයගේ අදහස්
කියවන්නන්ට මේ ප්‍රශ්නය එන්නේ නැහැ.
පසුගිය දා මට ලැබුණු තොරතුරු අනුව තපස්සු භල්ලුක මියන්මාරයේ නොවෙයි. එය මගේ හිතළුවල වෙනසක්. ඒ ගැන ලියන්න ඕන. එහෙත් මා මූලික තේමාවෙන් වෙනස් වී නැහැ. මේ රටවල් අතර ඇති සංස්කෘතික සම්බන්ධය ගැන මා හදාරනවා. තපස්සු භල්ලුක මට වැදගත් ඔවුන් තමයි මංගලට පළමු දෙසරණ සරණ ගිය අය. ඒ සියල්ල අතර මගේ විරුද්ධවාදීන් ලියන දේත් කියවනවා. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කී දේට මට කලකට පෙර කේන්ති ගියා. දැන් හිනා යනවා.
මගේ අදහස් වර්ධනය වී අනූවේ දශකයේ මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව කිව්වා. ඒ වගේ ම සිංහල බෞද්ධ රාජ්‍යයක් ගැන ද කිව්වා. 1998 පමණ මා සිංහල බෞද්ධ රාජ්‍යය ගැන පොත් පිංච දෙකක් පළ කළා. ඒ ගෝඨාභය රටෙත් නැති කාලෙ. මහින්ද අගමැති වෙලාවත් නැහැ. චන්ද්‍රිකා ජනාධිපතිනිය වශයෙන් රට පාවාදෙමින් හිටි කාලෙ.
සිංහල බෞද්ධ රාජ්‍යය අර කම්කරු පංති රාජ්‍යය වගේ සිහිනයක් නැත්නම් හුදු
හිතළුවක් නොවෙයි. එය කලක් මෙරට තිබුණා. එය එක ලෙසකින් පැවතිලත් නැහැ. ගැමුණු රජු
දවස තිබුණු රාජ්‍යය නොවෙයි විජයබාහු රජ දවස තිබුණෙ. දඹදෙණියෙ දෙවැනි පරාක්‍රමබාහු
රජුගෙ කාලෙ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙ කාලෙ ඒ තවත් වෙනස්. අප බලාපොරොත්තු වන්නෙ
ඒ එකක්වත් ඇති කරන්න නොවෙයි. ඒත් සිංහල බෞද්ධ රාජ්‍යයක් (රාජ්‍යය නොවෙයි) ඇති
කරන්න. ඒ රාජ්‍යයෙ ස්වයංක්‍රිය මෝටර් රථ තියේවි. බර කරත්ත නැති වේවි. නූතනත්වයේ
සමහර ප්‍රතිඵල අංග තියේවි. එහෙත් නූතනත්ව චින්තනය නැති වේවි. එය ඇති වන විට මා
නැති වේවි. ඒත් දිලිත්ගෙ පරම්පරාවෙ අයත් පඬි නැට්ටනුත් ඉඳීවි. පඬි නැට්ටන්ට දෙරණෙ
සික්ස්ටි ප්ලස් වැඩ සටහනට සහභාගි වෙන්න බැහැ. ඒ සඳහා දෙසුම් පඬි සික්ස්ටි ප්ලස්
වැඩ සහනක් නිෂ්පාදනය කරන්න බලන්න.