Main Logo

Saturday 26 September 2020

ජාතිකත්වයේ ගමන් මග

 ජාතිකත්වයේ ගමන් මග


බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරී අදට වසර හැටඑකක්. එතුමා වෙඩි පහරට ලක්වුණේ අභාවයට කලින් දින. ඝාතනය කෙරුණේ සෝමාරාම විසින්. ඔහු පසුව ඇංග්ලිකන් කිතුනුවකු වුණා. සෝමාරාම ඝාතනය ක්‍රියාත්මක කළ තැනැත්තා වුණත් එහි පිටුපස සිටියේ බුද්ධරක්ඛිත හා එච් පී ජයවර්ධන. විමලා විජේවර්ධනටත් එයට සම්බන්ධයක් තිබුණා. මේ ඝාතනය පිටුපස ඇත්තේ ජාතික ව්‍යාපාරයේ පරස්පර. ඒ කියන්නේ ධනවාදයේ පරස්පර නැතැයි කියන එක නො වෙයි. වමේ නම් පරස්පරයක් නැහැ. ඒ වමාලා (වම්මු කියනවාට වඩා වමාලා කියන එක සරලයි පහසුයි) ඇතත් වමක් නැති වීම නිසා. නැති වමක පරස්පර තියෙන්න බැහැ. ඒත් වමාලා අතර පරස්පර තියෙනවා.


බණ්ඩාරනායක ඝාතනයට ප්‍රධාන හේතුව බුද්ධරක්ඛිත හා එච් පී ජයවර්ධන සම්බන්ධ නැව් සමාගමකට බුරුමයේ සිට ලංකාවට හාල් ගෙන ඒමේ කාර්යය නොපැවරීම කියා කියනවා. වෙඩි තැබූ දින ගුවන් විදුලියෙන් ශෝක ප්‍රකාශ කළ තැනැත්තන් අතර බුද්ධරක්ඛිතත් සිටියා. අදත් මේ තක්කඩිකම් සිදු වෙනවා. ඒ හැම තැන ම තියෙනවා. 

මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව 1956 අප්‍රේල් සිට 1959 සැප්තැම්බර් දක්වා විශාල වැඩ කොටසක් කළා. සිංහලය රාජ්‍ය භාෂාව කිරීම, විවිධ ජනසතුකිරීම්, කුඹුරු පනත ආදිය ඉන් ප්‍රධානයි. සිංහල රාජ්‍ය භාෂාව කිරීම ක්‍රියාත්මක නොකළ බව ඇතැමුන් කියන්න පුළුවන්. බොහෝ දෙනා නොදන්නවාට සිංහලෙන් හරි දෙමළෙන් හරි අධ්‍යාපනය ලබා දීම ඇරඹුණේ පනස්හයට කලින්. ඒ කන්නන්ගර මහතාගේ වැඩක්. මා හිතන විධියට පනස්හය වන විට ක්‍රම ක්‍රමයෙන් පංතියෙන් පංතිය උසස්වී පැමිණි සිසුන් සාමාන්‍ය පෙළ ශාස්ත්‍ර විෂය සිංහලෙන් හරි දෙමළෙන් හරි ඉගෙන ගත්තා. 

සිංහලෙන් අධ්‍යාපනය ලබා දීම ජාතික ව්‍යාපාරයේ ඉල්ලීමක්. ඒ නිසාත් නිිදහස් අධ්‍යාපනය නිසාත් අද වන විට සිංහලෙන් වැඩ කරන පිරිසක් බිහිවෙලා ඉන්නවා. මා හිතන්නේ අද අමාත්‍ය මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ ප්‍රධාන වශයෙන් සිංහලෙන්. සිංහලෙන් අධ්‍යාපනය ලැබීම නිසා සිසුන්ගේ ඉංගිරිසි දැනුම දුර්වල වුණා කියා සමහරු කියනවා. ඒත් එයින් රටට පාඩුවක් වෙලා නැහැ. ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලැබූ අයගෙන් රටට සිදු වී ඇති සේවය කුමක් ද? ඉංගිරිසින් හා බටහිරයන් අපේ රටේ ඇතිකර තිබෙන දරුණු හීනමානයක් නම් තියෙනවා. ඉංගිරිසි ඉගෙන ගන්න ඕන අය තමන්ට අවශ්‍ය ප්‍රමාණයට  ඉංගිරිසි ඉගෙන ගන්නවා. කොහොමත් හැමෝම ෂේක්ස්පියර් කියවන්නේ නැහැ. සිංහලෙන් ඉගෙන ගත්තත් ගුරුළුගෝමි කියවන්නෙත් නැහැ. 

ජාතික ව්‍යාපාරය ධර්මපාලතුමාගේ කාලයේ සිට වර්ධනය වෙනවා. ඊට කලින් ජාතිකත්වයක් නොතිබුණා නොවේ. ජාතිකත්වය නිසා ම තමයි පංච මහා වාද ඇති වුණේ. එහෙත් එය ඕල්කට්තුමා පීලි පැන්නුවා. ධර්මපාලතුමාත් මුල දි ඒකට අහුවුණා. පස්සෙ සිංහල බෞද්ධ වුණා. රට දියුණු කිරීම ගැන විවිධ මත තියෙනවා. දියුණුව කියන්නෙ මොකක් ද කියන එකත් පිළිබඳ මත තියෙනවා. 

අද ලෝකයේ තියෙන්නෙ නූතනත්ව චින්තනය. ධනපති ක්‍රමය කියන්නෙ නූතනත්වය නොවෙයි. නූතනත්වයෙන් මතු වූ ක්‍රමයක්. නූතනත්වය බටහිර විද්‍යාව තාක්‍ෂණය ධනවාදය අතර සම්බන්ධයක් තියෙනවා. අද ලෝකයෙ වැදගත් වෙන්නෙ තාක්‍ෂණය. ධර්මපාලතුමාට අවශ්‍ය වුණෙ තාක්‍ෂණය මිසක් ධනවාදයක් නො වෙයි. ධනවාදී ක්‍රමය කියන්නෙ නිෂ්පාදන මාතයක්. වම තියෙන කාලෙ හිතුවෙ ඒ වෙනුවට වෙනත් නිෂ්පාදන මාතයක් ඇති කරන්න. ඒක නම් ඉතින් කල්ප ලක්‍ෂයකටවත් බැහැ.

ධර්මපාලතුමා තාක්‍ෂණය ගන්න ඕන කිව්ව ම ඒකෙන් කියන්නෙ ධනවාදී නිෂ්පාදන මාතය ගන්න ඕන කියන එක නො වෙයි. එතුමා මාක්ස්වාදියෙකුත් නො වෙයි. බණ්ඩාරනායක ආණ්ඩුවත් එක්තරා ආකාරයක සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් අනුගමනය කෙළෙ. බණ්ඩාරනායක මහතා ඒකට කිවුවෙ මැදි පිළිවෙත කියල. මා කලින් කිවුව වගේ ඒකෙ පරස්පර තිබුණා. බුද්ධරක්ඛීතල වගේ ම පිලිප් ගුණවර්ධනලත් හිටිය. පිලිප් ගුණවර්ධන අස්වුණා. කුඹුරු පනතට ශ්‍රී ල නි පක්‍ෂයෙනුත් විරුද්ධතා ඇති වුණා. 

මේ තමයි ජාතිකත්වයේ පසුගිය වසර එකසිය විසිපහක පමණ ගමන් මග. අදත් එහි පරස්පර තියෙනවා. ධනවාදයෙත් පරස්පර තියෙනවා. මේ පරස්පර නැති කරන්න හිතපු වම පරස්පරයක් නැතිව ම නැති වෙලා. ඒ ඒ රටවල වමාලා ටික දෙනකුන් නම් ඉන්නවා. ඔවුන්ට ඉදිරිපත් කරන්න විකල්පයක් නැහැ. ඒ නිසා විවේචනය කරන්න ඔවුන්ගෙ ඔවුන්ගෙ කියල ක්‍රමයක් නැහැ.  

පරස්පර නැති ලෝකයක් නැහැ.  ඔය සියලු ලෝක මිනිසුන් මවා ගත්ත සංකල්ප හා ප්‍රවාද.  වමට වෙලා තියෙන්නෙ ජාතිකත්වයට මුහුණ දෙන්න බැරුව දිය වී යෑම. ජාතිකත්වයට කලින් සමහරු හිතන් හිටිය වම තමයි ජාතිකත්වය නියෝජනය කරන්නෙ කියල. ඒ දවස්වල සඟ වෙද ගුරු ගොවි කම්කරු අය වමේ හිටිය. ඒත් බණ්ඩාරනායක මහතා 1951 දී එ ජා පක්‍ෂයෙන් කැඩී යෑමත් සමග ජාතිකත්වය මතුවෙන්න ගත්ත. ඒ මහතා මුල දි ලිබරල්වාදියෙක්. ශ්‍රී ල නි පක්‍ෂයත් ලිබරල්වාදී පක්‍ෂයක්. එහෙත් 1952 මින්නේරිය අතුරු මැතිවරණයත් සමග ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයට යොමුවෙන්න පටන් ගත්තා.

ඒ පක්‍ෂයේත් දෝලන තිබුණා. චන්ද්‍රිකා විජාතිකත්වය පැත්තට ගියා. එහෙත් ජාතිකත්වය විසින් චන්ද්‍රිකා පරාජය කරල මහින්දට නායකත්වය භාර දුන්න. අද මහින්දත් ගෝඨාභයත් ජාතිකත්වය පැත්තෙ ඉන්නවා. ඔවුන් ජාතිකත්වයට නායකත්වය දෙනවා. ඔවුන් සියයට සියයක් ජාතිකවාදීන් කියා මා කියන්නෙ නැහැ. මේ ආණ්ඩුවත් සමග ජාතිකවාදීන් එකඟ නොවන තැන් තියෙනවා. ඒ කියල ජාතිකවාදීන් සජිත්ට එකතු වෙන්නෙ නැහැ. තමන්ගෙ කියල ක්‍රමයක් නැති වමාලා මොනව කිවුවත් වැඩක් නැහැ. වමාලට පුළුවන් වමාරන්න විතරයි. අනුරදාසල යටත්විජිතල අගුණරත්නම්ල වැමෑරුවට රටට බලපෑමක් කරන්න බැහැ.