විස්සට කමිටුවක් - අපි අඹ කමු
තවමත් කිසිවකු පළාත් සභා පිහිටුවා ඇත්තේ ඉන්දියාවේ බලපෑමට බව කියන්න සාධකයක් ඉදිරිපත් කර නැහැ. අර ඊනියා මූලාශ්‍රයක් ගැනවත් කිසිවකු කියන්නේ නැහැ. සමහරු කියන්නන් වාලේ කියනවා ඉන්දියාවෙන් අහන්නෙ නැතිව පළාත් සභා අහෝසි කරන්න බැහැ කියා. මාත් කලින් හිතන් හිටියේ අප වරදකරුවන් කර ඉන්දියාව අප මත පළාත් සභා බලයෙන් පැටෙව්වා කියා. එහෙත් දැන් පළාත් සභා ගැන මට වෙනස් අදහසක් (හිතළුවක්) ඇතිවෙලා. එය හරියනවද වැඩකරනවාද කියල බලන්නයි මේ විස්තර (සාධක) ඉදිරිපත් කරන්න කියා කියන්නෙ.
සජිත් විස්ස ගැන කියන දේ ගණන් ගන්න ඕන නැහැ. හරින්ලා හර්ෂලා කියන දේ ජනමාධ්‍ය පවත්වාගෙන යෑමට පමණයි. ඔය ප්‍රකාශ නැත්නම් ජනමාධ්‍යයට පැවැත්මක් නැහැ. විස්ස ගැන ඔවුන් දන්නේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කීමට පමණයි. සුපුරුදු පරිදි රාජපක්‍ෂ පවුලට බලය දීම ගැනත් කියනවා. විස්සෙන් මහින්දටවත් නාමල්ටවත් වන සෙතක් නැහැ. සිරිසේනට වන සෙතකුත් නැහැ.
විස්සට ජාතික කඳවුරෙන් විරෝධයක් ඇති වුණා. ජාතික කඳවුර බෙදී සිටියත් එක අරමුණකින් වෙන වෙන ම උද්ඝෝෂණය කළා. මා පළ කළ විරුද්ධතාව ජඩමාධ්‍යයෙන් ප්‍රසිද්ධ වුණේ නැහැ. බොහෝ දෙනා හිතන්නේ මා මියන්මාරයේ නිකම් ඉන්නවා කියා. ලංකාවෙ ඉන්න කොටත් ජඩමාධ්‍යය මට ලොකු ප්‍රචාරයක් දුන්නේ නැහැ. මා දිනපතා ලියන ලිපි දිවයිනට යැව්වත් ඔවුන් ඒ එකක්වත් පළ කරන්නේ නැහැ. අරුණ බදාදාට ලිපියක් තෝරා ගෙන පළ කරනවා.
මා හිතන්නේ රටේ දැන් ඔය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කෙසේ වෙතත් සිංහල බෞද්ධ ක්‍රමයක සේයාවක් ක්‍රියාත්මක වෙනවා කියා. මෙරට තිබුණේ රජු සංඝයා වහන්සේ හා ජනතාව සහභාගි ව කෙරුණු පාලනයක්. ඉන් කියන්නේ ජනතාව තොග වශයෙන් පාලනයට සහභාගි වුණා කියන එක නොවෙයි. ජනතාවගේ යම් පිරිසක් තමයි හැමදාමත් දේශපාලනයට හවුල් වන්නේ. භික්‍ෂූන් වහන්සේ හා ජනතාව කියන දේට බොහෝ විට රජු සවන් දුන්නා.
මේ සම්බන්ධ හොඳ ම උදාහරණය තමයි මහසෙන් රජුගේ සිද්ධිය. ඔහු මහා විහාරයේ උඳු වැපුරුවා. භික්‍ෂූන් වහන්සේත් ජනතාවත් (ඇමතිවරු මාර්ගයෙන් කියමු) මහසෙන් රජුට විරුද්ධ වුණා. යුද්ධයට සූදානම් ව සිටියදීත් රජු හා මේඝවර්ණාභය ඇමති අඹ බෙදා ගෙන සාකච්ඡා කළා. මහසෙන් රජු ජනතා මතයට කන් දුන්නා. මේ තුන්වැනි සියවසේ සිදු වීමක්. එංගලන්තයේ ඒ කාලෙ එහෙම වුණා ද කියා මා අහන්නෙ නැහැ. අපට නම් අදත් අඹ කන්න පුළුවන්. අපි අඹ කමු.
අද ක්‍රියාත්මක වන්නේ සජිත්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය නොවන්න පුළුවන්. අද රජ කෙනෙක් නැහැ. ඉන්නේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයෙක්. ඒ අතර ජනතාවගේ ඡන්දයෙන් පත් වූ පාර්ලිමේන්තුවක් තියෙනවා. එමෙන් ම සංඝයා වහන්සේගේ උපදේශක මණ්ඩලයක් ද තියෙනවා. ඊනියා පාරලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මෙරට ක්‍රියාත්මක වන්නේ නැහැ. ආණ්ඩු පක්‍ෂ සංවිධායකට අවශ්‍ය ආකාරයට මන්ත්‍රීවරුන් කටයුතු කරන්නේ නැහැ. කැබිනට් සාමුහික වගකීමක් නැති වන අවස්ථා තියෙනවා.
විස්ස කවුද කෙටුම්පත් කෙළේ යන්න ප්‍රශ්නයක් නො වෙයි. මට තේරෙන විධියට ආණ්ඩුව දළ වශයෙන් නීිතිපති දෙපාර්තමේන්තුවට දහනවය අහෝසි කර කලින් තිබූ තත්වයට යැමට උපදෙස් දී තියෙනවා. ජනාධිපති ධුර කාලය හා තවත් එකක් දෙකක් පමණක් වෙනස් නොවිය යුතු බවක් කියා ඇති බවයි පෙනෙන්නේ. ඒත් දහනවයේ තවත් කරුණු සාධාරණ වශයෙන් ගත් කල තියා ගත යුතු බවට ජාතික කඳවුරෙන් ම මතයක් ඇති වුණා. ජනාධිපතිත් අගමැතිත් එයට සවන් දී කමිටුවක් පත් කර තිබෙනවා.
මේ ව්‍යවස්ථා පටලැවිලි තරමක් වියුක්තයි. මා කලක සිට කියන කරුණක් තමයි සිංහලයන් තරමක් හරි වියුක්ත ව හිතන්න පුරුදු වෙන්න ඕන කියන එක. එයින් කියන්නේ අප බටහිර වියුක්ත බව අනුකරණය කරන්න කියන එකවත් බටහිර අගය කිරීමක්වත් නො වෙයි. අද ලෝකය තරමක් වියුක්තයි. ව්‍යවස්ථා හදන්න ඕන සාධාරණ වශයෙන් වියුක්ත ව. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනව කියන රනිල්ලා සජිත්ලා හා ශිෂ්ඨත්වයට පා නගන අනුරලා ව්‍යවස්ථා හැදුවේ බොහොම සංයුක්තව එක පවුලකට පහර දෙන්න.
දහනවයේ අවුල ඇත්තේ එතැනයි. වියුක්ත විය යුතු තැන සංයුක්ත වීම. දහතුන වෙන ම එකක්. එය සිංහලයන් වරදකරුවන් කියන මතය ඇතිකර සම්මත කර ගත් එකක්. දෙමළ ජනයාට සිදු වී ඇති ඊනියා අසාධාරණය සිංහලයන්ගෙ වැඩක් බව කියැවුණා. සිංහල බෞද්ධ ස්වොත්තමවාදයක් ගැන කිවුවා. බහු සංස්කෘතික බහුබුත ගැන කියෙවුවා. බුදුදහම පාවාදීමක් ගැන කිවුවා. සිංහලයාට වරදකාරී විඥානයක් (guilty consciousness ) ඇති කළා. පළාත් සභා ඒ විඥානය ඇති කිරීම යොදා ගෙන පිහිටවපු ආයතන.. ඒ සඳහා විවිධ බලපෑම් තිබුණා. නැතුව නොවෙයි. ඒත් සාක්‍ෂි නැත්නම් අප කුමක් කළ යුතු ද? සාක්‍ෂි නැත්නම් පොතේ හැටියට බලපෑම් නැහැ.
අපට කරන්න තිබුණේ සිංහලයන් මේ වරදකාරි
විඥානයෙන් ගලවා ගැනීමයි. එය දැන් සිිදු වී අවසන්. සරත් වීරසේකර ඉන්දියාවට ගියා ම
බුද්ධගයාව වැඳගෙන එන්න. වෙන කරන්න දෙයක් නැහැ.