Main Logo

Wednesday 2 September 2020

අක්තපත්‍ර පිළිගැන්වීම

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



අක්තපත්‍ර පිළිගැන්වීම 


මා ඊයේ බිනර පොහෝ දා මියන්මාරයේ ජනාධිපතිතුමාට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මගේ අක්තපත්‍ර පිළිගැන්නුවා. එය මෙපමණ කල් ගියේ කොවිඩ් නිසා. කොවිඩ් පැතිරී යෑමෙන් පසු වෙනත් තානාපතිවරයකු මියන්මාරයට පැමිණ නැහැ. එමෙන් ම කොවිඩ් නිසා ඔවුන් අක්තපත්‍ර භාරදීමේ දී අනුගමනය කරන පිළිවෙතත් තරමක් වෙනස් කර තිබුණා. උත්සවයට සහභාගි වීමට අවසර ලැබී තිබුණේ ඉතාමත් සීමිත පිරිසකට. මියන්මාරයේ ලංකා තානාපති කාර්යාලයේ වෙනත් කිසිම නිලධාරියකුට සහභාගි වීමට අවසර තිබුණේ නැහැ.  


ජනාධිපතිතුමා ඉදිරියට යෑමට පෙර අනුගමනය කළ යුතු පිළිවෙත් කිහිපයක් තිබුණා. ජනාධිපතිතුමා ඉදිරියේ කළ යුතු ප්‍රකාශයක් තියෙනවා. එය කටපාඩම් කළ යුතුයි. ඒ ප්‍රකාශ කිරීමෙන් පසුවයි අක්තපත්‍ර භාර දෙන්නේ. අක්තපත්‍ර භාරදීමෙන් පසු ජනාධිපතිතුමා හා මා අතර කෙටි සාකච්ඡාවක් තිබුණා. කෙටි සාකච්ඡාවක් වුවත් බොහෝ දේ කතා කෙරුණා. එහි පදනමේ තිබුණේ ථෙරවාද බුදුදහම. විදේශ ප්‍රතිපත්තිය, සංචාරක කටයුතු, අධ්‍යාපනය, ආසියාන් ආදී කරුණු රාශියක් ගඋන කතා කරන්න ලැබුණා.


එය ඉතාමත් චාම් උත්සවයක්. ජනාධිපතිතුමාත් ඇමතිතුමාත් විදේශ අමාත්‍යංශයේ නිලධාරිතුමාත් සැරසී සිටියේ ඔවුන්ගේ ජාතික ඇඳුමෙන්. ඔවුන් කතා කෙළේ මියන්මාර භාෂාවෙන්. ජනාධිපතිතුමාගේ කතාව ඉංගිරිසියට පරිවර්තනය කිරීමට නිලධාරියකු සිටියා. ඒ මා සඳහා. අනෙක් සියල්ලන්ට ම එතුමා කතා කළ දෙය තේරුණා. මා කී දේ මියන්මාර භාෂාවට පරිවර්තනය කෙරුණා. 


ජනාධිපතිතුමාත් අනෙක් මියන්මාර නිලධාරීනුත් පැළඳ සිටියේ සාමාන්‍ය සෙරෙප්පු. ඔවුන්ගේ ජාතික ඇඳුම  වූ සරම හා  උඩු වැස්ම සමග සෙරෙප්පු ගැලපෙන බවයි බොහෝ දෙනාගේ අදහස. එමෙන් ම ඒ සෙරෙප්පු ඉතා සුව පහසු බවත් ඔවුන් කියනවා. 


මියන්මාර වැසියන් බොහොමයකට ඇත්තේ ඉතා සරල අවශ්‍යතා. අල්ලපු ගෙදර අය සමග තරග වදින්නට ඔවුන්ට අවශ්‍යතාවක් නැහැ. අවශ්‍යතා යන්නත් සාපේක්‍ෂ බව කදිමට පැහැදිලි වෙනවා. මියන්මාරයේ ප්‍රසාරණය වූ මධ්‍යම පංතියක් නැහැ. මේ මාක්ස්වාදයේ එන ඊනියා පංති නො වේ. මාක්ස්ගේ කම්කරු පංතියත් අර යථාර්ථය වගේ. හොයා ගන්න බැහැ. එවිට ඕන නම් කියන්න පුළුවන් යථාර්ථය කියන්නෙ යථාර්ථයක් නැති කම කියල. අර කවුදෝ කලකට පෙර කියල තිබුණා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නෙ යථාර්ථය කියල. දැන් අහන්න යථාර්ථය අනිත්‍ය ද කියලා. 


තවත් පඬි නැට්ටකු කියා තිබුණා මා කියන බුදුදහම බුදුදහම නොවෙයි කියලා. පඬි නැට්ටා සමහර විට බුදුහාමුදුරුවන්ගෙ බුදුදහම දන්නව වෙන්න ඇති. බුදුහාමුදුරුවන්ගෙ බුදුදහම දන්නව කියන පඬි නැට්ටන්ගෙන් මා දැනට ප්‍රශ්න දෙකක් අහනවා. නිවන් සම්මාබෝධයේ දී මනසට සිදු වන්නේ කුමක් ද? දෙවනුව අනිත්‍ය අනාත්ම මැදට දුකක් දැම්මේ අහවල් දේකට ද?  සාමාන්‍ය වචනවලින් වෙනස්වීම ආත්මයක් නැතිවීම අතර තියෙන්න ඕන හිස්බව කියන එක ද දුකක් කියන එක ද? ආත්මයක් නැති බව, වෙනස්වීම, හිස්බව ගැන සම්මාබෝධයක් නැතිව ඊනියා අවබෝධයකින් ඇලීම් ඇති කර ගැනීමෙන් දුකක් ඇති වෙනවා. ඒක වෙන ම කරුණක්. 


ඒ සියල්ල අප සාකච්ඡා කරන්න ඕන. මියන්මාර බුදුදහම ලංකා බුදුදහම බවට පත් වී ඇත්තේ එකොළොස් වැනි සියවසේ. ඒ විජයබාහු රජතුමාගෙ කාලයේ. මියන්මාර ජනාධිපතිතුමාටත් ලංකාවේ ජනාධිපතිතුමාටත් අවශ්‍ය දෙරටේ සම්බන්ධතා ථෙරවාද බුදුදහම මත පදනම් කර ගනිමින් වර්ධනය කරන්න.