Main Logo

Monday 14 September 2020

පළාත් සභා හා ඉන්දියාව

 පළාත් සභා හා ඉන්දියාව 


පළාත් සභා පිහිටුවනු ලැබුවේ කෙසේ ද? ඉන්දියාවේ මැදිහත් වීමෙන් වුණා කියන එක ජනයා අතර ප්‍රසිද්ධ කරුණක්. එමෙන් ම එය පිටුපස බටහිර බලවේගත් සිටියා. එකල ඒ බලවතුන් දිල්ලියට ආවේ නාන කාමරයට යනවාක් මෙන්. ඔවුන් දැන ගෙන සිටියේ නැහැ ඔවුන් නාගන්න යනවා කියා. 


කෙසේ වෙතත් ඉන්දු ලංකා ගිවිසුමට සිංහලයන්ගේ තදබල විරුද්ධතාවක් තිබුණා. එකල ශ්‍රී ල නි ප නායිකාව සිරිමාවෝ මැතිණිය. ඇය ජාතිකත්වය මුල් කර ගෙන ඉන්දු ලංකා ගිවිසුම් විරෝධයට නායකත්වය දුන්නා. චන්ද්‍රිකා හිටියේ නැහැ. මේ විරෝධතාව මෙහි ඇති ඡායාරූපයෙන් දැනගන්න පුළුවන්. එය රාජ්‍ය තන්ත්‍රික වශයෙන් වැරදියි. එමෙන් ම විශාල ප්‍රශ්නවලට තුඩු දෙන්න තිබුණා. රජිව් ගාන්ධිට අනතුරක් වුණා නම් මහා ප්‍රශ්නයක්. එහෙත් ඒ ක්‍රියාවෙන් කියැවුණෙ සිංහල බහුතරය විරෝධය. කෙසේ වෙතත් ඉන්දියාව මේ සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඔවුන්ට තිබුණේ පළාත් සභා ඇති කිරීමේ ප්‍රශ්නය.


පළාත් සභා කියන්නෙ නැති ප්‍රශ්නයකට දුන්න ක්‍රියාත්මක කරන්න බැරි විසඳුමක්. නැති ප්‍රශ්නය දෙමළ ජනයාට (දෙමළ ජන කොටස්වලට) තිබුණු ඊනියා අසාධාරණය. එයට සිංහලයන් වග කියන්න ඕන කියල මතයක් ඇති කරල තිබුණා. ඒ කියන්නෙ සිංහලයන් තමයි ඒ ඊනියා අසාධාරණය කරල තියෙන්නෙ කියන එක. ඒ කතාවට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ලන්දේසින්ගෙ කාලෙ තමයි දෙමළ ප්‍රශ්නය පටන් ගත්තෙ. ඉංගිරිසින් තමයි තම බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව ඊනියා සුළු ජාතීන් ජාතියට විරුද්ධව යොදා ගත්තෙ. මෙහි දී මහා ජාතිය සුළු ජාතීන් කියන එක වැරදියි. ඇත්තේ ජාතියක් හා ජන කොටස්.


ඉංගිරිසින් තමයි ඊනියා අසාධාරණ කතාව හා සිංහලයන්ගේ ඊනියා වරද සංකල්ප ඇති කෙළෙ. සිංහල ප්‍රභූන් බොහෝ දෙනෙක් මේ ඇම ගිල්ල. අර වරදකාරි විඥානය සිංහලයන්ගෙ මනසට කාන්දු කළා. මාක්ස්වාදී ඇටිකිච්චන් (ඇටමැස්සන් නොවෙයි) මෙරට විප්ලවයේ අපිකේන්ද්‍රය වතුකරයේ හොයා ගත්තා. අද නම් වමක් නැහැ. ජ වි පෙරමුණත් දැන් ශිෂ්ඨ පක්‍ෂයක්. ලකාන් නොවෙයි මොන යකා ආවත් කම්කරු පංති රාජ්‍යයක්වත් සමාජවාදයක්වත් ඇති කරන්න බැහැ. අද ඊනියා වම සකර්බර්ග් පිටුවල ලියන ඒවා දැක්කම මට නම් ඇති වන්නෙ බොරුකාරයන් දැක්කම ඇති වෙන හැඟීමක්. ඒ එක් අයකුටවත් සමාජවාදය තියා ඇති නැති පරතරය තුනී කරන්නවත් වාසුදේවට තියෙන වුවමනාව නැහැ. වාසු සින්දු කියන්නෙත් දේශපාලන කතාවක් කරනව වගේ. 


ඒ අතර විවිධ අය බොරු ඉතිහාස කතා ලියන්න පටන් ගත්තා. දෙමළ ජන කොටස් විජයටත් පෙර සිට මෙරට හිටිය බව කියන්න ගත්තා. මෙරට රාජ්‍ය දෙකක් තිබූ බව 1802 පමණ කාලයේත් ඉංගිරිසි මිෂනාරීන් කිවුවා. පියසිරි අමරකොන්ගෙ පොතපතත් කියවන්න. මේ සියල්ලෙහි කූට ප්‍රාප්තිය (කූඨ නොවෙයි) තමයි 1976 වඩුකොඩේ සම්මේලනය. එහි සම්මත කර ගත් යෝජනා දේවභාෂිතයක් වගේ සැලකුවා. සිංහල මිනිසුන් කෑමට පෙරේත වෙලා ධර්මිෂ්ට කතාවලට මුළාවෙලා 1977 දි ජේ ආර් බලයට පත් කර ගත්තා. ඒ කරුමය තවම ඉවර නැහැ. 


අර නැති ප්‍රශ්නයට විසඳුම තමයි පළාත් සභා. අසුහතේ ජේ ආර්ට ඉන්දියාවට මෙන් ම බටහිර රටවලටත් හිස නවන්න සිද්ධ වුණා. ගාමිණී දිසානායක ඉන්දු ලංකා ගිවිසුම ජනාධිපතිවීම සඳහා යොදා ගන්න බැලුවා. ඉන්දියාව ජේ ආර් සමග පළාත් සභා කතා කරන්න ඇති. එහෙත් ඉන්දු ලංකා ගිවිසුමේ පළාත් සභා ඇති කිරීමක් ගැන කියැවෙන්නෙ නැහැ. මා දන්නේ නැහැ පළාත් සභා පිහිටුවීම ගැන වෙනත් ගිවිසුමක සඳහන් වෙනවා ද කියා. ඉන්දු ලංකා ගිවිසුමේ නම් එහෙම එකක් නැහැ.


එහි තියෙන්නෙ පිහිටුවපු පළාත් සභා ගැන එහෙමත් නැත්නම් ලංකාණ්ඩුව පිහිටුවන්න බලාපොරොත්තු වන පළාත් සභා ගැන. උතුරු පළාතට හා නැගෙනහිර පළාතට එක් පළාත් සභාවක් ඇති කිරීම ගැන ඒ සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ පවත්වන ජනමත විචාරණයක් ගැන ආදිය මිසක් පළාත් සභා පිහිටුවීමක් ගැන ඉන්දු ලංකා ගිවිසුමෙන් කියැවෙන්නෙ නැහැ. ඒ කියන්නෙ පළාත් සභා අහෝසි කරන්න අපි ඉන්දියාවෙන් අහන්න ඕන නැහැ. කොහොමටත් අපේ ස්වෛරිභාවය රකින්න වෙනවා. 


ඉන්දු ලංකා ගිවිසුමේ නැති දේවල් ගැන අපි ඉන්දියාවත් එක්ක කතා කරන්න ඕන නැහැ. සරත් වීරසේකර  දිල්ලි නගරයේ කාලගුණය කොවිඩ් 19 ආදිය ගැන පෞද්ගලික කතා කළාට කමක් නැහැ. ඒත් පළාත් සභා අහෝසි කිරීම ගැන කතා කරන්න ඕන නැහැ. 


ඉන්දු ලංකා ගිවිසුමේ ඉටු නොවුණු බොහෝ දේ තියනවා. කොටි සංවිධානය කිසි විටෙකත් ආයුධ භාර දුන්නෙ නැහැ. ජනමාධ්‍යයට පේන්න තුවක්කුවත් එහාට මෙහාට කරන්න ඇති. එහෙත් ඉන්දියාව තම වගකීම ඉටු කෙළේ නැහැ. ඉන්දියාවෙන් ත්‍රස්තවාදීන් ඉවත් කෙළෙත් නැහැ. අන්තිමට රජිව් ගාන්ධි මිය ගියෙ සොල්හයිමුත් දැන් කියන ආකාරයට ප්‍රභාකරන්ගෙ අණින් ඉන්දියාවෙ හිටපු ත්‍රස්තවාදීන් අතින්. ඉන්දියාව ත්‍රස්තවාදීන් ඉන්දියාවෙන් අයින් කළා නම් රජිව් ගාන්ධිට ඒ ඉරණ ම අත්වෙන්නෙ නැහැ. රජිව් ගාන්ධි ගිවිසුම කඩපු නිසයි ඔහුට මිය යන්න වුණෙ. ගිවිසුම කැඩුවෙ නැත්තන් සමහරවිට තාමත් ජීවත් වෙන්න තිබුණා. මා කතා කරන්නේ කර්ම විපාක ගැන නොවෙයි.


අර ජනමත විචාරණයත් නැගෙනහිර පළාතෙ තියන්න ඕන වුණෙ නැහැ. වර්ධරාජ පෙරුමල් නම් අර ඒකාබද්ධ පළාත් සභාවෙ මහඇමති වුණා. දේශපාලන විද්‍යාඥ දයාන් ජයතිලක ඒ ඇමති මණ්ඩලේ සාමාජිකයෙක් වුණා. පෙරුමාල් වෙන ම රාජ්‍යයක් පිහිටුව ගන්න ගිය ගමන් නැවතුණෙ ඉන්දියාවෙ. දැන් පෙරුමාල්ල දයාන්ල ඔක්කොම ලංකාවෙ. වෙන රටක ඔහොම වෙන්න පුළුවන් ද? ජනමත විචාරණ නැතිව ම නැගෙනහිරට වෙන ම පළාත් සභාවක් ලැබිල. 


ඉන්දු ලංකා ගිවිසුම දැන් අක්‍රීයයි. කොහොමටත් එය ක්‍රියාත්මක වුණෙ අර ඊනියා සාම සාධක හමුදාව ගෙන්නපු තැනේ දි විතරයි. ඔවුන්ටත් අන්තිමේ දි අකුලගෙන යන්න වුණා. ඉන්දු ලංකා ගිවිසුම ඇති කරන කාලෙ සිංහල නායකයන්ට හා ඇතැමුන්ට තිබූ වරදකාරි විඥානය දැන් නැහැ. දැන් අපි දන්නවා මෙරට අසාධාරණයක් වෙලා තියෙන්නෙ සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්යන්ට කියල. මා එකින් එක කියන්න යන්නෙ නැහැ. නැගෙනහිර පළාතෙ බෞද්ධ සිද්ධස්ථාන ටික රැක ගන්න අපට මොන තරම් උත්සාහයක් ගන්න වෙනවා ද? 


ඉන්දු ලංකා ගිවිසුම සතපහක් වටින්නැති හරි හැටි ක්‍රියත්මක නොවූ ලියවිල්ලක්. ඒකෙ කොහොමටත් පළාත් සභා පිහිටුවන්න කියල නැහැ. පළාත් සභා අහෝසි කරන්න අපි කාගෙන්වත් අහන්නෙ අහවල් දේකට ද?