Main Logo

Friday, 11 September 2020

ලංකාව මියන්මාරය බෞද්ධ සම්ප්‍රදාය හා කිතුණුවන්

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ලංකාව මියන්මාරය බෞද්ධ සම්ප්‍රදාය හා කිතුණුවන් 


මා පසුගිය දා මෙසේ සඳහන් කළා. "කාට හරි කියන්න පුළුවන් ද අප පළාත් සභා සම්බන්ධ තීරණයක් ගන්න ඉස්සෙල්ල ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන්න ඕන ඇයි කියල”. ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීමට තව දවසක් දෙකක් කල් දෙන්න පුළුවන්. එක් අයකු අහල තිබුණා අප ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන්න අප එහි ප්‍රාන්තයක් ද කියල. ඒකත් ඇත්ත තමයි. නමුත් ප්‍රාන්තයක් නොවෙයි කීම ම ප්‍රමාණවත් නැහැ. අප ඉන්දියාව සමග පළාත් සභා ඇති කිරීම ගැන  යම්කිසි ගිවිසුමකට එළඹිලා  තියෙනවා ද කියා දැන ගැනීමටයි මට අවශ්‍ය වෙන්නෙ. දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර සපයන්න කියා ඉල්ලා සිටිනවා.

ඉන්දියාව අද කලාපීය බලවතෙක්. අනෙක් බලවතා චීනය. මේ කලාපයේ, දකුණු හා අග්නිදිග ආසියා කලාපවල අද ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ මේ කලාපීය බලවතුන් සමග  නොහොඳ නෝක්කඩු වෙන්නෙ නැතිව පැවතීම. අග්නිදිග නැත්නම් ගිනිකොණ කියල ඒ දිශාවට කියන්නෙ ගින්න ඇති  පැත්ත කියන තේරුමෙන්. අග්නිදිග ආසියෙවත් ගිනි ඇති වෙනව. චිනයටත් ඉන්දියාවටත් උත්තර ධ්‍රැවයට සාපේක්‍ෂව මියන්මාරයෙන් එහාට අග්නිිදිග තමයි. ඉදිරි කාලය  ගැන විමසිල්ලෙන් ඉන්න ඕන.  

අපට බ්‍රාහ්මණ සම්ප්‍රදාය ලැබුණෙ පස්වැනි සියවසේ පමණ කියල හිතන්න පුළුවන්. මියන්මාරයටත් ඒ කාලයෙ ම වගේ ඒ සම්ප්‍රදාය ලැබිල තියෙනවා. අපි අනුරාධපුර යුගයෙන් පස්සෙ විජයබාහු රජුත් සමග මේ සම්ප්‍රදායෙන් කැඩිල සිංහල බුද්ධාගමක් ස්ථාපිත කර ගෙන තියෙනවා. මියන්මාරයටත් බ්‍රාහ්මණ සම්ප්‍රදායෙන් කැඩනේන ඕන වෙලා අනවරත නැත්නම් අනුරුද්ධ රජු ලංකාවෙන් සිංහල බුද්ධාගම ගෙනත් තියෙනවා. ඉන් පස්සෙ තමයි අප දෙරට අතර සමීප සම්බන්ධතාවක් ගොඩනැගිල තියෙන්නෙ. 

එය විශේෂයෙන් ම සිංහල බෞද්ධ රාජ්‍ය ආකෘතිය මියන්මාරයට ලැබීමත් සමග සිදු වී ඇති බවයි මගේ හිතළුව. සැම එකක් ම හිතළු බව පඬියන්ට තේරෙන්නෙ නැහැ. සමහර හිතළු වැඩ කරනවා. ඒව  ඇත්ත හැටියට සැලකෙනවා. ට්රෙවෝ ලිං කියල තියෙන රජු සංඝයා වහන්සේ ජනතාව කියන ත්‍රිකෝණය සිංහල බෞද්ධ රාජ්‍යයේ මුල් ගලක්. ඒ මුල්ගල පෘතුගීසීන් පැමිණෙන කාලයෙත් තිබුණ.   පහළොස්වැනි සියවසේ දීත් මියන්මාරයේ ධම්මසෙට්ඨි රජු ලංකාවෙන් කල්‍යාණි උපසම්පදාව ගෙන ගොස් තියෙනවා. 

බටහිරයන් ටිකෙන් ටික මේ මුල්ගල කැඩුවා. ඩී එස් සේනානායකට ඒ ගැන හැඟීමක්වත් තිබුණෙ නැහැ. ඔහු හාමුදුරුවන්ගෙන් ඇහුවෙ ආණ්ඩුව සරණං ගච්ඡාමි කියනව ද කියල. ජෝන් කොතලාවල, ජේ ආර් ජයවර්ධන රනිල් වික්‍රමසිංහ විතරක් නොවෙයි බෞද්ධයකු ලෙස යළි උපන් සජිත් ප්‍රේමදාසත් මේ ගැන දන්නේ නැහැ. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ භික්‍ෂූන් වහන්සේලාගේ උපදේශක මණ්ඩලයක් පත් කර ගෙන වැඩ කරනවා. ඒ උපදේශක මණ්ඩලය අර රධිකා, සෙල්වරත්නම් ආදීන්ගෙන් සමන්විත වුණු ව්‍යවස්ථාදායක මණ්ඩලයට වඩා රටට හොඳ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. 

මේ ටිකකට කලින් දැන ගන්න ලැබුණා ජරා (අල් ජසීරා) පූවත්පතේ තියෙනවා කියා අවුං සාං සු චී මැතිණියට යුරෝපයෙන් දීපු සැකරෝ ත්‍යාගය අස් කර ගැනීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කරල කියා. මා හිතනවා සු චී මැතිණියටවත් මියන්මාරයටවත් එය ප්‍රශ්නයක් නො වේ ය කියා. බටහිරයන්ගේ සම්මාන ප්‍රශංසා තෑගි බෝග ආදිය සතපහකට ගණන් ගන්න ඕන නැහැ. 

අපට බුදුදහම ලැබුණෙ ඉන්දියාවෙන් කියා අප ඉන්දියාවට ගැති වන්නෙත් නැහැ. අද ඉන්දියාවෙ බුදුසසුනක් නැහැ. තිබුණත් අප අපේ වැඩ ගැන ඒ සසුනකින් අහන්න යන්නෙත් නැහැ. අප මියන්මාරයෙ සසුනෙන්වත් මියන්මාරය අපේ සසුනෙන්වත් අහන්නෙ නැහැ. එ ස්වෛරි බෞද්ධ සම්ප්‍රදාය.  උපසම්පදාව ගෙන යනවා ගෙනෙනවා කියන එක වෙන ම කරුණක්. 

මෙරට හින්දු සසුනක් නැහැ. ඒ නිසා ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ඉන්දියාවෙන් උපදෙස්වත් අණක්වත් තීරණයක්වත් ලබා ගන්නෙ නැහැ. දේශපාලන තීරණ වෙනත් දෙයක්. ඒවා රාජ්‍යතන්ත්‍රික මිසක් ආගමික නො වෙයි.

එහෙත් මෙරට ක්‍රිස්තියානි කතෝලික සභාවලට තවමත් එංගලන්තයෙන් හරි රෝමයෙන් හරි නිදහස් වෙන්න බැරි වෙලා. කාදිනල්තුමන්ලා පත්කෙරෙන්නෙ රෝමයෙන්. මෙරට ඇංග්ලිකන් සභාව තම කොළඹ දහසයවැනි බිෂොප්තුමා පත්කර ගැනීමේ දී කැන්ටබරියේ ආච්බිෂොප්තුමාගෙන් ඉල්ලලා පත්වීම කරන්න කියා. එය දුෂන්ත රුද්‍රීගු දේවගැතිතුමා වෙනුවට වෙනත් අයකු පත්කර ගැනීම සඳහා බව කියැවෙනවා. රුද්‍රිගු දේවගැතිතුමා කොල්ලුපිටියේ ශාන්ත තෝමස් පාසලේ ප්‍රධානියා. එතුමාට බිෂොප් තනතුර සඳහා පැවති ඡන්ද විමසීමේ දී 60%කට වැඩි ඡන්දයක් ලැබී තියෙනවා. එහෙත් පූජකවරුන්ගේ සභාවෙන් 60%ක ඡන්දයක් නොලැබී ය යන පදනමෙන් වත්මන් බිෂොප් කනගසබේ දේවගැතිතුමා පතිකිරීම කැන්ටබරියෙන් කරන ලෙස ඉල්ලා තිබෙනවා. 

මා මෙය සඳහන් කරන්නේ මෙරට ඇංග්ලිකන් සභාව එංගලන්තයෙන් නිදහස් විය යුතු බව පැවසීමට. මෙරට කිසිම ආයතනයකට පත්වීම් පිටරටකින් කෙරෙනවා නම් එහි ප්‍රශ්නයක් තියෙනවා. මෙය ඇංග්ලිකන් සභාව බෞද්ධ සම්ප්‍රදාය අනුගමනය කළ යුතුය කීම සඳහා නො වෙයි. මෙරට ආයතනවල ස්වෛරීභාවය රැක ගත යුතු ය කීමයි මෙහි අරමුණ. එසේ නොවන්නට මෙරට ඇංග්ලිකන් කිතුණුවන් එංගලන්ත සභාවේ මිස ලංකා සභාවේ කිතුණුවන් නොවේවි.