Main Logo

Wednesday 16 September 2020

වෙළඳාම සිංහලේ හා වහාබ් විරෝධී මුස්ලිමුන්

 වෙළඳාම සිංහලේ හා වහාබ් විරෝධී මුස්ලිමුන් 


සුමේධ වීරවර්ධනගේ කාත්තන්කුඩි ගමන ගැන හොඳ තමයි වැඩියෙන් කියැවුණෙ. එහෙත් ඒ ගැන දොස් කී අය ද සිටියා. ඇතැමුන් අසා තිබුණේ කාත්තන්කුඩියේ සහ අනෙක් පළාත්වල ඉන්න වහාබ් විරෝධීන් විශ්වාස කරන්න පුළුවන් ද කියා. එය ප්‍රශ්නයක් තමයි. ඒත් ඒ සමග ම අහන්න පුළුවන් රාජපක්‍ෂලා විශ්වාස කරන්න පුළුවන් ද කියා. සුමේධ විශ්වාස කරන්න පුළුවන් ද කියා. මා විශ්වාස කරන්න පුළුවන් ද කියා. 

මෙයට පිළිතුරක් නැහැ. එහෙත් අපට ඇත්තේ විශ්වාස පමණයි. ඊනියා දැනුමත් විශ්වාසය මත පදනම් වෙලා. ගණිතය තරම් විශ්වාසය මත පදනම් වූ දැනුමක් තවත් නැහැ. අපට ඕන නම් කියන්න පුළුවන් මෙතෙක් කරල තියෙන දෙයින් මිනිසුන් මනින්න කියල. එත් එයත් ප්‍රමාණවත් නැහැ. අපේ ජීවිතවල විවිධ වෙනස්කම් සිදු වෙනවා. ඒ ගැන පුරෝකථන කරන්න බැහැ. අපට යම් විශ්වාසයක් මත ක්‍රියා කරන්න වෙනවා. 

මෙරට මුස්ලිම් ජනයාගේ ඉතිහාසය ගැන ලෝනා දේවරාජා ලියා තියෙනවා. අටවැනි සියවසේ පමණ මෙරටට පැමිණි මුස්ලිමුන් ගැන කියැවෙනවා. මා හිතනවා ඒ කාලයේ තමයි මුස්ලිමුන් මෝසම් සුළඟත් සමග නැගෙනහිරට ආවෙ. මා හිතන විධියට ඔවුන් මලබාරයට, ලංකාවට වගේ ම වත්මන් බංග්ලාදේශයට හා ඉනුත් නැගෙනහිරට ඇවිත් තියෙනවා.  එසේ පැමිණි අය ඒ ඒ රටවල (ප්‍රදේශවල) බින්න බැහැල තියෙනවා. ඉතා පැහැදිලිව ඔවුන්ගෙන් පැවත එන්නන් ඒ රටවල කතා කරන්නෙ ඒ පදිංචි වූ ප්‍රදේශයේ භාෂාව. 

ලංකාවේ එසේ පැමිණි මුස්ලිමුන්  පදංචි වී ඇත්තේ බටහිර වෙරළ තීරුවේ. එහි සිටියේ සිංහලයන්. ඒ පැමිණි මුස්ලිමුන් සිංහල කාන්තාවන් විවාහ කරගෙන ඉන්න  ඇති. ඔවුන්ගේ දරුවන් අනිවාර්යයෙන් ම සිංහල කතා කරන්න ඕන. එවැන්නක් තමයි දකුණු හා අග්නිදිග අසියාවේ සිදු වී තිබෙන්නේ. මුස්ලිමුන් මෙරටට අටවැනි සියවසේ පැමිණි බව සඳහන් පුවත ඇසීමත් සමග මට ප්‍රශ්නයක් වුණේ ඔවුන් සිංහල කතා නොකළේ ඇයි ද යන්නයි. 

එයට පිළිතුර මට ලැබුණේ කලක් ගත වී. එහෙම නැත්නම් මා හිතළුවක් සංස්කරණය කර ගත්තේ කලකට පස්සෙ. දහහතර වැනි සියවසේ පමණ මලබාරයෙන් මෙරටට විවිධ පුද්ගලයන් පැමිණ තියෙනවා. එයට හේතුව කුමක් ද යන්න පැහැදිලි නැහැ. එසේ පැමිණි අය මලයාලම් හරි දෙමළ හරි එහි අඩු වැඩි මිශ්‍රණයක් හරි කතා කරන්න ඕන. ඔවුන් අඩු තරමෙන් තෙළිඟු කතා කළා යැයි හිතන්න බැහැ. එසේ පැමිණි අය පදිංචි වී ඇත්තේත් බටහිර වෙරළ තීරුවේ. ඔවුන් වැඩි පිරිසක් හින්දු වෙන්න ඕන. එහෙත් ඔවුන් වැඩි කලක් යන්න මත්තෙන් සිංහල බෞද්ධ සංස්කෘතියේ විවිධ කුලවලට අවශෝෂණය වී තියෙනවා. ඒ කුල පටන් ගත්තේ ඒ අයගෙන් නොවන බවත් කියන්න ඕන. 

එහෙත් මෙහි පැමිණි මුස්ලිමුන් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වී නැහැ. එය මුස්ලිම් හා යුදෙවු සංස්කෘතීන්වල ලක්‍ෂණයක්. යුදෙවුවන් හා මුස්ලිමුන් අතර වෙනසක් ද තියෙනවා. මුස්ලිම් නොවන අයකුට මුස්ලිම් විය හැකි නමුත් උපතින් යුදෙවු නොවන අයකුට යුදෙවු වෙන්න බැහැ කියලයි මා හිතන්නෙ. යුදෙවුවන් බොහෝම වියුක්ත ව හිතන පිරිසක්. අද ලෝකයේ ඉහළ ම බුද්ධිමතුන්ගෙන් ිවිශාල ප්‍රමාණයක් සංඛ්‍යාත්මකවත් යුදෙවුවන්. ප්‍රතිශතයක් ලෙස ගතහොත් එය ජනගහන ප්‍රතිශතයට වඩා අතිවිශාලයි.

මලබාර ප්‍රදේශයෙන් මෙහි පැමිණි මුස්ලිමුන් මලයාලම් වචන සහිත දෙමළ කතා කළ බවයි මගේ හිතළුව. මේ හිතළු හරියනවා ද කියා කාට හරි පරීක්‍ෂා කරන්න පුළුවන්. මේ මුස්ලිමුන් කර ඇති එක වැඩක් වනුයේ අර සිංහල කතාකරමින් සිටි මුස්ලිමුන් තම සංස්කෘතියට අවශෝෂණය කර ගෙන සියල්ලන් දෙමළ කතා කරන මුස්ලිමුන් බවට පත් කිරීමයි. මෑතක් වන තුරු සිංහල කතා කරන මුස්ලිමුන් මෙරට නොසිටීමට හේතුව එය වෙන්න ඕන. මේ සියල්ල හිතළු තමයි.

අද වන විට අටවැනි සියවසේ මෙහි පැමිණි මුස්ලිමුන්ගේ සංස්කෘතියක් නැහැ. එහි ඇතැම් අංගයක් දෙකක් වත්මන් මුස්ලිම් සංස්කෘතියට අවශෝෂණය වී නැතැයි මා කියන්නේ නැහැ. අද මූලික වශයෙන් ම මෙහි ඇත්තේ මලබාරයෙන් පැමිණි මුස්ලිම් සංස්කෘතියක්. එහි සිංහල සංස්කෘතියත් ඇති. මේ මුස්ලිමුන් කුමන භාෂාවක් කතා කළත් කුමන ආගමක් ඇදහුවත් සිංහල බෞද්ධයන් සමග හොඳින් වැඩ කර තියෙනවා. මා හිතන්නේ සුමේධ ළඟ මේ සම්බන්ධ තොරතුරු රාශියක් තියෙන බවයි. මා හිතළු කියන්නෙක් කතන්දර හදන්නෙක් මිස තොරතුරු රැස්කරන්නෙක් නො වෙයි. මගෙන් මුලාශ්‍ර අහන එකේ තේරුමක් නැහැ. මා ලියා ඇති ලිපිවත් මා එකතු කර නැහැ. 

සිංහලයන් හා මුස්ලිමුන් අතර අසමගියක් වපුරා ඇත්තේ ඉංගිරිසින්. ඉංගිරිසින් යුදෙවුවන් ග්‍රිකයන් (ඔවුන්ගේ චින්තන) ආධාර කර ගනිමින් ලෝකයට කර ඇත්තේ  මහා විනාශයක්. මේ විනාශය දැන් දැන් පේන්න පටන් අරන් තියෙනවා. ඉංගිරිසින් මුස්ලිමුන් පමණක් නොවෙයි පහතරට සිංහල ප්‍රභූන් කියන අයත් සිංහල රාජ්‍යයට විරුද්ධව යොදා ගත්තා. 

නලින් සුබසිංහ පසුගිය දා ලියා තිබුණා පිටගම්කාරයන් ගැන. එහි සඳහන් ව තිබුණා දකණු පළාතෙන් උඩරටට ගිය සිංහල වෙළෙන්දන් ගැන. මේ සිංහල වෙළෙන්දන් අර මලබාරයෙන් මෙහි පැමිණ වෙරළබඩ තීරුවේ පදිංචි වූ අයගෙන් පැවත එන්නන් වෙන්න ඕන. ඔවුන්ට වෙළඳාම මලබාර සංස්කෘතියකින් උරුම වූ එකක් වෙන්න ඕන. දඹදෙණි යුගයේ හා ඊට පෙර සිටි සිංහලයන්ට හා ඔවුන්ගෙන් පැවත එන්නන්ට වෙළඳාම බැහැ.

මෙය බුද්ධාගමේ ප්‍රශ්නයක් වෙන්න බැහැ. සිටාණන්ලා ගැන වෙළඳුන් ගැන බෞද්ධ සංස්කෘතියේ කියැවෙනවා. මුල් ම උපාසකයන් වූ තපස්සු භල්ලුකත් වෙළඳුන්. රජවරු සිටුවරු ගැන දඹදිව කියැවෙන නමුත් සිංහල ඉතිහාසයේ කියැවෙන්නේ නැහැ. එය බුදුදහම නිසා වෙන්න බැහැ. මියන්මාරයේත් එනමින් නැති වුණත් සිටුවරු ඉන්නවා. මෙරට සාර්ථක ව්‍යාපාරිකයකු වූ දිලිත් ජයවීර පසුගිය දා බුදුදහම අනුව ව්‍යාපාර කරන අන්දම ගැන කතාවක් කළා. ඔහුත් දකුණෙන් පැමිණි අයෙක්. මට හිතෙන්නේ ඔහු තම ව්‍යාපාරික ඉව සිංහල බෞද්ධ සංස්කෘතියට මුසු කරගෙන තියෙන බවයි. 

මේ දකුණෙන් පැමිණි අය වෙළඳාමට කලෙක සිංහලේ ගියා. ගම්පෙරළියේ ජිනදාස එසේ ගිය අය නිරූපණය කරනවා. එමෙන් ම සිංහලේ ගිය සියල්ලන් සාර්ථක නොවූ බවත් ජිනදාසගෙන් කියැවෙනවා. පසු කලෙක සාර්ථක වුණේ දකුණෙන් සිංහලේ ගිය අය නොවෙයි ඉංගිරිසි ඉගෙන කොළඹ පැමිණි පියල් වගේ අය. නන්දා අවසානයේ දී හිමි වුණේ පියල්ට මිස ජිනදාසට නොවෙයි. ජිනදාසගේ අවසන් කටයුතුත් කෙළේ පියල්ගෙ මුදලින්. ගම්පෙරළියේ ගම ගමක් නොවුණත් නන්දා පියල් ජිනදාස කතාව අපට ලොකු දෙයක් කියනවා. මාර්ටින් වික්‍රමසිංහ නොහිතපු දෙයක් එයින් කියැවෙනවා. එය ගම්පෙරළියකට වඩා ව්‍යාපාරික පෙරළියක්. දිලිතුත් කොග්ගලින් වැඩි ඈතක නො වෙයි. 

මට කියන්න ඕන වුණෙ සිංහලේ කතාව.  එකල සිංහලේ කිවුවෙ පැරණි උඩරට රාජධානියට. පුරාණයේ මෙරට සිංහලේ නමින් හැඳින්වුණේ. එහෙත් 1815ට පෙර සිංහල රාජධානියෙන් ඉතිරි වී තිබුණේ උඩරට පමණයි. ඒ කොටසට මිනිසුන් පැරණි විධියට සිංහලේ කියන්න පටන් අරන් තියෙනවා. ජිනදාස සිංහලේ ගිය ඒ අනුවයි. 

මෙරටට පැමිණි මුස්ලිමුන් වෙළෙන්දන්. ඔවුන් වෙළදාම අතට ගත් බවක් පේන්න තියෙනවා. ඒ සිංහල සංස්කෘතියේ තිබුණු ප්‍රශ්නයක් නිසා. අප එය හදා ගන්න ඕන. බුදුදහමේ වෙළඳාම් කරන්න එපා කියල නැහැ. එහි කියන්නෙ අධාර්මික වෙළඳාම එපා කියලා. මා මෙහෙම කිවුවට මට ව්‍යාපාරික මනසක් තබා ව්‍යවහාරික මනසක්වත් නැහැ. මගේ භාර්යාව නැත්නම් මා අනාථයි. 

ඒ පැමිණි මුස්ලිමුන්ට පසුච පෘතුගිසීන් හිරිහැර කළා. එවිට සිංහල රජු ඔවුන් පදංචි කෙළේ අර සිංහලේ. හාරිස්පත්තුව වගේ ම කාත්තන්කුඩියත් එකල සිංහලේ. ඒ බව කාත්තන්කුඩියෙ වැසියන්ට කියල දෙන්න ඕන. අපට ඕන ඔවුන් සිංහල මුස්ලිමුන් කරන්න මිසක් අරාබි මුස්ලිමුන් කරන්න නොවෙයි. ඔවුන් අර අටවැනි සියවසේ පැමිණ බින්න බැස්සාය කියන මුස්ලිමුන් මෙන් සිංහල කතා කරනවා නම් වඩා හොඳයි. අද අපට සිංහල කතෝලිකයන් ඉන්නවා. කලක් හිටියේ රෝමානු කතෝලිකයන්. ජාවා මලයාව පැත්තෙන් පැමිණි මැලේ නමින් හැඳින්වෙන මුස්ලිමුන් සිංහල මුස්ලිමුන් වී ඉවරයි. 

ඉංගිරිසින් තමයි මුස්ලිමුන් සිංහලයන්ගෙන් ඈත් කෙළේ. සිංහලේට විරුද්ධව ඔත්තු බැලීමටත් මුස්ලිමුන් යොදා ගත්තා. 1817දි වෙල්ලස්සට සිංහල ඉංගිරිසි ගිවිසුම කඩමින් මුස්ලිම් නිලධාරියකු පත් කර භේදයක් ඇති කළා. 1915 දි ගම්පොළ මුස්ලිමුන් සිංහල බෞද්ධයනට විරුද්ධ ව උසිගැන්නුවා. අද ඉංගිරිසින්මයි වහාබ්වාදයට විරුද්ධ බවක් පෙන්වමින් ලෝකයේ ම වහාබ්වාදය පතුරවන්නෙ. සෞදි අරාබිය ඉංගිරිසින්ගෙ නිර්මාණයක්. එහි දී මුල දී ඉංගිරිසින් යොදාගත් ප්‍රධාන පුද්ගලයකු වුණෙ ජෝන් ෆිල්බි. ඔහු බදුල්ලෙ ඉපදුණු අයෙක්. පියා ලංකවේ වැවිලිකරුවෙක්. ජෝන් ෆිල්බි පසුව ඉස්ලාම් ආගම වැළඳ ගෙන දෙවැනි විවාහයක් කරගෙන තියෙනවා. ඔහුගේ පළමු විවාහයෙන් ලැබුණු පුතා කුප්‍රසිද්ධ ද්විත්ව ඔත්තුකරුවකු වූ කිම් ෆිල්බි. මේ ඉතිහාසය පසුව කියන්න ඕන. ඉතිහාසය කියන්න ඉතිහාසඥයෙක් වෙන්න ඕන නැහැ. කාර් හරි රෝටි හරි කියල තියෙන දේ දැනගන්න ම ඕනත් නැහැ. 

අපි ඉංගිරිසින්ගෙන් සෞදි අරාබියෙන් හා වහාබ්වාදයෙන් මෙරට මුස්ලිමුන් ගලවා ගන්න ඕන. එමෙන් ම ඔවුන් හකීම් හිස්බුල්ලා වැනි දේශපාලනඥයනගෙන් ද ගලවා ගන්න ඕන.  



John Philby