Main Logo

Tuesday 1 December 2020

කොත්තමල්ලි පුළුවන් නම් පැණිය බැරි ඇයි

 

කොත්තමල්ලි පුළුවන් නම් පැණිය බැරි ඇයි

 

අරණායක පැත්තෙ වෙදමහතකු වූ ධම්මික බණ්ඩාර මහතා කොවිඩ් 19 රෝගීන් සඳහා හඳුන්වා දී ඇති පැණියට (අපි එයට පැණියක් යැයි කියමු) යහපත් ප්‍රතිචාරයක් ලැබිල තියෙනවා. ලැබෙන තොරතුරු අනුව වෙදමහතා අවුරුද්දකට කිට්ටු කාලයක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරල තියෙනවා. දැනට සති හිපයකට පමණ පෙරයි සිසිර ජයකොඩිට ආරංචිය ලැබිල තියෙන්නෙ. ඉන් පසු තමයි වතුපිටිවල රෝහලේ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන් කිහිප දෙනකු සමග යම් ආකාරයක  සම්පරීක්‍ෂණයක කර තියෙන්නෙ. මේ අනුපිළිවෙලේ වෙනසක් තියෙන්නත් පුළුවන්. අරණායක වෙදමහතා ගැන මුලින් ම දැන ගත්තෙ වතුපිටිවල වෙදමහතා වෙන්නත් පුළුවන්.

 

දළ වශයෙන් කිවුවොත් සම්පරීක්‍ෂණයක දී කෙරෙන්නෙ නියැදියක් කොටස් දෙකකට බෙදා එක් දෙයකින් (විචල්‍යයකින්) හැරෙන්න කොටස් දෙකට ම එක සමාන ව සැලකීමත් යම් දෙයක් සම්බන්ධයෙන් දෙයාකාරයකට සැලකීමත්. වතුපිටිවල දී කරල තියෙන්නෙ පීසීආර් ධන වූ අයගෙන් එක් කණ්ඩායමකට පැණියත් අනෙක් කණ්ඩායමට පැණිය වැනි දියරයකුත් දෙන එකයි. මෙහි දී ඒ පැණිය හරි දියරය හරි දෙන අය දන්නවා කාට කාට ද ඒ දුන්නෙ කියා. එයත් නැති කරල දෙන ක්‍රමයට කියනවා ද්විත්ව අන්ධ අධ්‍යයනයක්  කියල. වතුපිටිවල දි කුමක් කළා ද යන්න මා දන්නෙ නැහැ. ඒ කුමක් වුවත් ප්‍රශ්නයක් නැහැ. පැණිය දුන් කොටස දින කිහිපයකින් පීසීආර් සෘණ වෙලා. අනෙක් අය ධන.

 

පසුව ගම්පහ රෝහලේ මහාචාර්ය අරුණ මුණසිංහ හා කණ්ඩායම ද ඒ අධ්‍යයනය කරල ඒ ප්‍රතිඵල ලබා ගෙන. මෙයින් කියැවෙන්නෙ පැණිය පීසිආර් සෘණ වීමට හේතුව බවයි. සම්පරීක්‍ෂණවලින් කෙනේනෙත් යමක් යම් සංසිද්ධියක් සඳහා හේතුවක් ද නැත් ද යන්න සොයා බැලීමයි. ඔය ඊනියා හේතු අවශ්‍ය වන්නෙ බටහිර විද්‍යාවට. අපේ වෙදකමේ තියෙන්නෙ අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි කියන එක. ධම්මික බණ්ඩාර වෙදමහතා පැණියෙ සාර්ථක බව අත්දැකපු ප්‍රත්‍යක්‍ෂයෙන් ම දැනගත් කෙනෙක්. බටහිර වෙදකමට තමයි අර වගේ සම්පරීක්‍ෂණයක් කරල පැණිය ධන පීසීආර් සෘණ වෙන හේතුව ද කියල දැන ගන්න ඕන.

 

මෙරට දැනුම් ආධිපත්‍යය තියෙන්නෙ බටහිර දැනුමට නිසා තමයි මෙවැනි පරීක්‍ෂණ සම්පරීක්‍ෂණ අවශ්‍ය වෙන්නෙ. නැත්නම් ඔය සම්පරීක්‍ෂණය වැඩක් ඇති එකක් නො වෙයි. කොහොම හරි බටහිර වෙදකමටත් දැන් පිළිගන්න පුළුවන් පැණිය කොවිඩ් 19ට ප්‍රතිකාරයක් කියල. ඒත් ප්‍රශ්න තියෙනවා. බටහිර දැනුමට නමස්කාර කරන පඬි නැට්ටන්ට නොතේරුණාට වතුපිටිවල කෙරුණු සම්පරීක්‍ෂණය මෙරට බටහිර වෛද්‍ය සභාවෙ රෙගුලාසි නීති රීති අනුව ප්‍රශ්න කෙරෙනවා. දැන ගන්න ලැබී ඇති ආකාරයට දැනටමත් වතුපිටිවල රෝහලේ වෙදමහතුන්ගෙන් නිදහසට කරුණු අහල. බස්නාහිර පළාතෙ රෝහල් පාලන නිලධාරියකු හරි නිලධාරිනියක හරි තමයි නිදහසට කරුණු අහල තියෙන්නෙ.

 

දැන් බැරිවෙලාවත් ඒ වතුපිටිවල වෙදමහතුන් වැරදිකරුවන් ලෙස වෛද්‍ය බලධාරීන තීරණය කළහොත් මොක ද වෙන්නෙ. බලධාරීන්ට නීතිය නවන්න පුළුවන්. නවල වතුපිටිවල වෙදමහතුන් නිදොස් කර නිදහස් කරන්න පුළුවන්. අපි නොදන්න නීතිය කිවුවලු. මගේ ප්‍රශ්නය එහෙම නොකළොත් මොකද කරනනෙ කියන එක. මා හිතනවා එහෙම නොකළොත් ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන කියල. පඬි නැට්ටන් කියන්න පුළුවන් ආණ්ඩුව මැදිහත් නොවී සෞඛ්‍ය බලධාරීන්ට ස්වාධීන ව තම කාර්යය කර ගෙන යෑමට ඉඩ දිය යුතුයි කියා.

 

මෙතන දි තමයි අප කැමැති වුවත් අකැමති වුවත් දැනුම් ආධිපත්‍යය කතාව නැවතත් එන්නෙ. වතුපිටිවල හා ගම්පහ  සම්පරීක්‍ෂණ කරපු සියලු බටහිර වෙදමහතුනට අපේ ගෞරවය හිමි වෙනවා. එහෙත් ඒ සම්පරීක්‍ෂණ කරන්න හේතු වුනෙත් දැනුම් ආධිපත්‍යය. එහෙමත් නැත්නම් දැනුම් යටත්විජිතවාදය. යටත්විජිත හේරත්ලට ඒව තේරෙන්නෙ නැහැ. ඔවුන් වැඩිම වුණොත් දන්නෙ නව යටත්විජිතවාදය ගැන.

 

බටහිර වෛද්‍ය බලධාරීන් කරන්නෙ තමන්ට උගන්නලා තියෙන විධියට බටහිර දැනුම් පද්ධතියෙ නීති රීති අනුව කටයුතු කිරීම. ඔවුන්ට අවශ්‍ය නම් නීතිය නවන්නත් පුළුවන්. පැණිය බෙහෙතක් (ඖෂධයක්) නොව ආහාර පරිපූරකයක් ලෙස සලකන්න පුළුවන්. ඔය බටහිර වෙදකමේ ඕන තරම් පැණි නිර්දේශ කරන්නෙ. ඒවා ඖෂධ ම නොවෙයි. පීසීආර් දෙකක් ගැන චක්‍රලේඛයෙ නැත්නම් පීසීආර් ප්‍රතිඵලය නිශ්චිත ව දැන ගැනීමට පරීක්‍ෂා දෙකක් නොකළ බවත් එක ම පරීක්‍ෂාව දෙවරක් කළ බවත් කියන්න පුළුවන්. පීසීආර් දෙකක් කියන එක හා පීසීආර් නැවත කිරීම කියන එක අතර වෙනසක් තියෙනවා. උසාවිවල තර්ක කරන එක අමාරු වැඩක් නොවෙයි. වැලි ගොඩකට වැලි ගොඩක් එකතු වුණා ම වැලිගොඩවල් දෙකක් ලැබෙන්නෙ නැහැ. ලැබෙන්නෙ එක වැලි ගොඩයි. වැලි ගොඩ ලොකු වුණා කියන එකෙන් ගොඩවල් දෙකක් කියල කියැවෙන්නෙ නැහැ. 

 

ඒත් වෛද්‍ය බලධාරීන් නීතිය නැවුවෙ නැත්තන් ආණ්ඩුවට මැදිහත් වෙන්න වේි. චන්න ජයසුමන සිසිර ජයකොඩි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ පවීත්‍රා වන්නිආරච්චි ආදීන් තමන් මොන වෘත්තියෙ යෙදුණත් රටවැසියන් ගැන හිතන්න ඕන.  ප්‍රශ්නය තියෙන්නෙ රටේ සෞඛ්‍යය ගැන. එහි දී අපට එක් දැනුම් ආධිපත්‍යයකට යට  වෙන්න බැහැ. ආණ්ඩුව වෛද්‍ය සභාවට වෛද්‍ය බලධාරීන්ට උඩින් ඉන්නෙ. ආණ්ඩුවට උඩින්, ඕන නම් නම් ජනාධිපතිට හා පාර්ලිමේන්තුවට උඩින් කවුරුන්වත් නැහැ. අද අවශ්‍ය කොවිඩ් රෝගීන්ට සහනයක් මිස බටහිර සෞඛ්‍ය බලධාරින්ට බලධාරිනියන්ට ලෙඩා මළත් බඩ සුද්දයි කියන මානසික සහනයක් නොවෙයි.

 

ඔය බටහිර වෙදමහතුනුත් කොත්තමල්ලි ටිකක් නොබී ඉන්නෙත් නැහැ. බටහිර වෙදහාමිනෙලා තම සැමියාට දරුවන්ට කොත්තමල්ලි නොදී ඉන්නෙත් නැහැ. ඉඳ හිට හරි පැණියක් නොදී ඉන්නෙත් නැහැ.