පැණියෙන් සිහි විකල් වූ සිංහල මධ්යම පංතිය
අනාගන්න එක හොඳ වෙන වෙලාවලුත් තියෙනවා. බත් කන්න ගියාම අනාගත්තෙ නැත්තන් මොකද වෙන්නෙ. බත් ටිකක් වෙන ම කාලා එක එක වෑන්ජනේ වෙන වෙන ම කෑවොත් අර කියන්න වගේ රහක් නැහැ. ඉංගිරිසින් නම් සාමාන්‍යයෙන් කන්නෙ වෙන වෙන ම. ඒ වැඩේට ගෑරුප්පුවයි පිහියයි ගැලපෙනවා. හැඳි ගෑරුප්පුවලින් කන්න පුරුදු වුණෙ ආසියාවෙ ද කියල හිතෙනවා. සිංහලයන් ද මෑතක් වන තුරු ඇතැම් අවස්ථාවල හැඳි ගෑරුප්පුවලින් බත් කැව. පිහියෙනුයි ගෑරුප්පුවෙනූයි අනාගන්න බැහැ නොවැ. ඒත් මෑතක ඉඳලා මධ්‍යම පංතියෙ අය ගෑරුප්පුවෙන් කොහොම හරි අනාගන්න හදනවා. ඉස්සර මධ්‍යම පංතියට ටිකක් හරි නිර්මාණ ශක්තියක් තිබුණ. ගෑරුප්පුවයි පිහියයි වෙනුවට අඩු තරමෙන් ගෑරුප්පුවයි හැන්දයි පාවිච්චි කළා. දැන් මධ්‍යම පංතියට එච්චරවත් නිර්මාණශීලී වෙන්න බැහැ.
බටහිරයන් නම් වෙන් කිරීම තමයි ප්‍රධාන වශයෙන් කරන්නෙ. ඔවුන් යම් යම් දේ කලවම් කරල සුප් හදනවා. ඒත් සුප් ගැන තරමක් අපහාසයෙන් වගේ සමහරවිට කියන්නෙ. වෙන් කිරීම තමයි ඔවුන් කරදරයෙන් බේරෙන්න කරන්නෙ. in the soup කිවුව ම කරදරයකට පත් වෙලා කියන එකක් හැඟෙනවා. අද මෙරට සිංහල නගරාශ්‍රිත මධ්‍යම පංතියට ඊටත් වඩා දෙයක් වෙලා තියෙන්නෙ. ඔවුන් අද එක්තරා ප්‍රසිද්ධ හාමුදුරුනමකගෙ වචනවලින් කිවුවොත් ඉව වැරදිච්ච බල්ලා වගේ. එහාට දුවනවා මෙහාට දුවනවා. ඒ අතර බුරනවා.
මා සාමාන්‍යයෙන් වෙන් කරන්නෙ නැහැ. මට ගෑරුප්පුවෙනුයි පිහියෙනුයි බත් කන්න බැහැ. බත් කනවා කියන්නෙ බත් විතරක් කන එක නො වෙයි. හොදි මාලුත් තියෙනවා. මෙතන මාලු කියන්නෙ අර පීතන වර්ගය නො වෙයි. හැඳි ගෑරුප්පුවලින් බත් කකා හිටිය සිංහල නගරාශ්‍රිත මධ්‍යම පංතිය නම් දැන් පිහි ගෑරුප්පුවලින් බත් කනවා. ඒ වැඩියෙන් ම ගැමි උගතුන් මධ්‍යම පංතියට ඇතුල් වෙලා නගරාශ්‍රිතයන් බවට පත් වුණාට පස්සෙ.
මා මේ ලිපි ලියන්නෙ අරමුණක් ඇතුව. ඒක හංගන්න දෙයක් නො වෙයි. ඒ ඒ අය ඒ ලිපි කියවා විවිධ අයුරින් සංස්කරණය කර ගන්නවා. ඔවුන් කියවන්නේ මා ලියන ලිපිය නො වෙයි. ඔවුන්ගේ ලිපියක්. ඒක එහෙම තමයි. අප අහන්නෙ අනෙකා කියන දෙයක් නො වෙයි. අපේ දෙයක්. ඒක අනෙකකුගෙ කටින් පිටවෙන එකයි වෙන්නෙ. කටින් පිට වූණෙ මොකක් ද කියන එක එක් එක් අය එක් එක් විධියට අහාගනීවි.
ධම්මික වෙදමහතාගෙ පැණිය රජරට විශ්වවිද්‍යාලයේ ආචාර ධර්ම කමිටුවෙන් අනුමත වෙලා. මා නම් ඒකට කැමති නැහැ. ඒ හෙළ වෙදකම බටහිර වෙදකමේ පරීක්‍ෂාවට ලක් කිරීම වැරදි නිසා. මගේ අකමැත්තෙන් වැඩක් නැහැ. දැන් ඒ අනුමැතිය ලැබිල. ඒත් මේ අනුමැතිය දීමට මා අකමැති වුණත් මට ඒ ගැන සතුටක් තියෙනවා. අකමැති දේ ගැනත් සතුටු වෙන්න පුළුවන්.
ධම්මික වෙද මහතාගෙ පැණිය ගැන කමිටු කිහිපයක් පත් කෙරුණා. ආයුර්වේද කමිටු තිබුණා. බටහිර විද්‍යා කමිටුවක් තිබුණා. බටහිර වෙද කමේ ආචාර ධර්ම කමිටුවක් හා මහාචාර්ය කමිටුවක් තිබුණා. බටහිර විද්‍යා කමිටුවෙන් තීරණය වුණා පැණියෙ වසක් විසක් නැති බව. ආයුර්වේද කමිටුවලින් තීරණය වුණා සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබෙන ඖෂධ ධම්මික වෙද මහතාගේ ඖෂධාගාරයේ නිෂ්පාදනය කළ හැකි බව. ඒ ඖෂධාගාරය නම මොකක් වුණත් දැන් පැණිය විතරක් නොවෙයි තවත් ඖෂධත් නිෂ්පාදනය කරන්න පුළුවන් තැනක්. ඒ වගේ ම සූත්‍ර කමිටුව පැණිය නිෂ්පාදනය කිරීමට අනුමැතිය දුන්නා. එමෙන් ම පැණිය ආහාර පරීපූරකයක් ලෙසත් කමිටුවකින් තීරණය වුණා. දැන් බටහිර වෛද්‍ය විද්‍යාවෙ ආචාර ධර්ම කමිටුව පැණිය බටහිර ක්‍රමයෙ සායනික නැහැසුම් සඳහා අනුමැතිය දීල. පැණිය කොවිඩ් රෝගීන් සඳහා ඖෂධයක් ලෙස තවම අනුමත වෙලා නැහැ. ඒත් අවශ්‍ය කෙනකුට ඖෂධයක් ලෙස නැතත් ආහාර පරිපූරකයක් ලෙස පානය කරන්න පුළුවන්. එයට තහනමක් නැහැ.
බටහිර වෛද්‍ය විද්‍යා ආචාර ධර්ම කමිටුවට පැණිය ආයුර්වේද ඖෂධයක් ද නැද්ද ගැන කතාවක් නැහැ. ඔවුන්ගේ අනුමැතිය අනුව බටහිර සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්ට පුළුවන් පැණිය බටහිර රෝහල්වල සායනික නැහැසුම්වලට ලක් කරවන්න. ඒ තමයි ඊළඟ පියවර. මේ සියල්ලෙන් කියැවෙන්නෙ බටහිර වෙදකමේ ආධිපත්‍යය. මා එයට විරුද්ධයි. මේ කරුණු ජඩමාධයෙන් විකෘති කෙරෙනවා. එපමණක් නොවෙයි පරිපාලන සේවයේ අයත් විකෘත කරනවා. පැණිය ආයුර්වේද ඖෂධයක් ලෙස නිර්දේශ කිරීමට අර ආචාර ධර්ම කමීිටුව බලපාන්නේ නැහැ. පරිපාලන සේවා නිලධාරිනියක් කියා තිබුණා බටහිර සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්ගේ අනුමැතිය ඇතිව ආයුර්වේද රෝහල්වල පැණිය පරීක්‍ෂාවට ලක් කරනවා කියා. ආයුර්වේදයට ඖෂධයකට අනුමැතිය දීම සඳහා ඇති ක්‍රමය කුමක් දැයි දැන ගැනීමට සතුටුයි. සූත්‍ර කමිටුව පැණිය නිෂ්පාදනය කිරීම නම් අනුමත කරල.
නගරාශ්‍රිත සිංහල මධ්‍යම පංතියට ඉව වැරදිලා. අද ඔවුන් එක එක කතා කියනවා. මේ මධ්‍යම පංතියෙ ඉහළින් ම ඉන්නෙ බටහිර වෙද මහත්තුරු. ඊළඟට ඉන්ජිනේරුවන්. නීතිඥයන් සහ වෙනත් ව්‍යත්තීයකයන්. ඊට පස්සෙ පරිපාලන සේවා නිලධාරීන්. මේ අස්සෙ විශ්වවිිද්‍යාල ආචාර්යවරුත් ඉන්නවා. ඔවුන් ඉන්නෙ කොහෙද කියල ඔවුන්වත් සමාජයවත් දන්නෙ නැහැ. බටහිර වෙද මහත්වරු වීම, ඉංජිනේරුවන් හෝ වෙනත් වෘත්තීයකයන් හෝ වීම පරිපාල නිලධාරීන් වීම ප්‍රතික්‍ෂෙප කරල විශ්වවිද්‍යාලවලට බැඳුණු අය ඉන්නවා. ඒ අතර එහෙම බැරිවෙලා විශ්වවිද්‍යාලවලට බැඳුණු අයත් ඉන්නවා. ඒ අතර තවත් අයත් මේ නගරාශ්‍රිත මධ්‍යම පංතියට අයත් වෙනවා. සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයන් ද එයට අයත්. ඒ කුමක් වුණත් සමාජ සම්මුතිය අනුව නගරාශ්‍රිත මධ්‍යම පංතියෙ ඉහළින් ම ඉන්නෙ බටහිර වෙද මහතුන්.
ධම්මික වෙද මහතාගෙ පැණිය නිසා මධ්‍යම පංතිය එක්තරා දුරකට දෙදරලා. එ නිසා ඔවුන් එකතු වෙලා. කවදාවත් නැතිව පැණියෙන් සිංහල වෙදකමට හානියක් වෙලා කියා ඔවුන් බොහෝ දෙනෙක් කියනවා. ඔවුන් සම්‍යක් දෘෂ්ධික දෙවි දේවතාවුන්ට පක්‍ෂයි. කාලි අම්මාට විරුද්ධයි. මට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. නාථ දෙවියන් සම්‍යක් දෘෂ්ඨික ද කියා. මධ්‍යම පාංතිකයන් අදත් නාථ දෙවියන්ට විරුද්ධයි.
මධ්‍යම පංතියට අනුව පැණිය ගන්ජා පැණියක්. බාස් පැණියක්. වරමකින් දැනුම ලබා ගන්න බැහැ කියා මධ්‍යම පංතිය කියනවා. ආධ්‍යාත්මිකවත් දෙවියන්ට පුද පූජා පවත්වලත් දැනුමක් ලබා ගන්න බැහැ කියනවා. රාමනුජන් ඉන්දියාවෙ නිසා ප්‍රශ්නයක් නැහැ. නගරාශ්‍රිිත සිංහල මධ්‍යම පංතියේ මතය සමහර අවස්ථාවල චම්පකගෙන් ප්‍රකාශ වෙනවා. ඔහුට අනුව ධමමික වෙද මහතාගෙ පැණිය ගන්ජා පැණියක්. සූත්‍ර කමිටුව දන්නවා ඇති ගන්ජා තියෙනවා ද නැද්ද කියා.
ඔය මධ්‍යම පංතිය පැණිය විවේචනය කළාට කතරගම යනවා. කතරගම දෙවියන් සම්‍යක්දෘෂ්ඨික කියාවි. ඒකට කමක් නැහැ. අර දෙහි ගෙඩි තුන රථයේ එල්ලා ගෙන යන එක විද්‍යාත්මක වෙන්න ඇති. නගරාශ්‍රිත සිංහල මධ්යම පංතිය සෝම හාමුදුරවන්ටත් එකතු වුණා. පසුව චම්පක සමග හිටියා. සජිත් එක්කත් ඉන්නවා. වෙලාවකට රාජපක්‍ෂලා එක්කත් ඉන්නවා.මධ්‍යම පංතියට ධම්මික වෙද මහතාගෙ පැණියට පහර දෙන්න ඕන. ඒත් සාමාන්‍ය මිනිසුන් පැණියත් එක්ක ඉන්නවා. මධ්‍යම පංතිය පැණියට පහර දීමට බටහිර ඊනියා විද්‍යාත්මක ක්‍රමය යොදා ගන්නවා. එහෙත් එවැනි ක්‍රමයක් නැහැ. ඔවුන් ද ආච්චි අම්මලා කළ විධියට ම හිතළු වැඩ කරනවා ද කියා බලනවා. වෙන මොනවා කරන්න ද? ඊනියා සායනික නැහැසුම්වලින් දැන් කරන්න හදන්නෙ පැණිය වැඩ කරනවා ද කියා බැලීම පමණයි. වෙන මොනවා කරන්න ද?
බටහිර වෙද මහත්තුරු මේ චින්තනයෙ ලෝකෙ හැම තැන ම වගේ ආධිපත්‍යය දරණවා. ලංකාවෙත් එහෙමයි. ලංකාවෙ බටහිර වෛද්‍ය විද්‍යාලයට අවුරුදු 150යි. උත්සවයක් පැවැත්තුවෙ නැද්ද? විද්‍යාලය පටන් ගත්තෙ 1870 දි. අර ගාල්ලෙ විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය බවට උසස් කරල තියෙන්නෙ 1876 දි. පැණිය දැන ගත්තෙ ආවේසයකින්. රිච්මන්ඩ් විද්‍යාලයෙ ආරම්භය 1814 දක්වා දිව යන බව දැනගත්තෙත් දෙවියන්ගෙන් ආධ්‍යාත්මික ව. 1870 වෛද්‍ය විද්‍යාලය ඇරඹුවෙ නැත්නම් මෙරට මධ්‍යම පංතිය කුමන ස්වරූපයක් ගනිවිද? එයටත් වඩා ගාල්ල මිෂනාරි පාසල 1876 දි උසස් වීමක් ලබා ගනීවි ද? 1877 හරි 78 හරි වන විට රිච්මන්ඩ් විද්‍යාලයෙන් ශිෂ්‍යයකු වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වූණේ කොහොම ද? එකල අධ්‍යාපනයේ ඇංග්ලිකන් මෙතෝදිස්ත තරගය ගාල්ලට බලපෑවේ කෙසේ ද? මට මේවා වෙන් කරන්න අවශ්‍ය නැහැ. විස්තර පසුවට.
කිරි පැණි වෙන් කරන්නෙ නැහැ. අර සින්දුවකත් තියෙනව කිරි පැණියෙන් කල් ගෙවනු බලා ඊරිසියාවෙන් උමතු වෙලා කියල. හෙටින් ඇරඹෙන්නෙ අපේ අවුරුද්දක් නො වෙයි. කමක් නැහැ. හැම දා අවුරුද්දක් ලබනවා නොවැ. හෙටින් ඇරඹෙන නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන වසරක් වේවා. මධ්‍යම පංතියටත් එක්ක තමයි. දැලි පිහියෙන් කිරි කන එක ලෙහෙසි නැහැ. ගෑරුප්පුවෙන් කිරි පැණි කන්නත් බැහැ.