Main Logo

Tuesday 8 December 2020

අධ්‍යාපනය, ධම්මික වෙදමහතා රාමනුජන් හා කාලි අම්මා

 

අධ්‍යාපනය, ධම්මික වෙදමහතා රාමනුජන් හා කාලි අම්මා

 

නිදහස් අධ්‍යාපනයට අධ්‍යාපනය නිදහස් කර ගැනීමට බැරි වීම අද රටේ තියෙන ලොකුම ප්‍රශ්නය වෙලා. කන්නන්ගර මහතාවත් ඊට පසු ඊනියා අධ්‍යාපනඥයන්වත් ඒ කරුණ ගැන උනන්දුවක් දක්වපු බවක් පේන්න නැහැ. ලන්දේසින් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වුණෙ අපට ඔවුන්ගෙ නම් හා ආගම දීම. ඒත් ඉංගිරිසින් ඒ කරුණුවලට වඩා වැදගත් තැනක් දුන්නෙ ඔවුන් හිතන පතන විධියට අප ලවාත් හිතවන්න. අප හිතන්නෙ නැති ජාතියක් නිසා එහි ප්‍රතිඵලය වුණෙ අපි ඉංගිරිසින්ගෙ හා අනෙක් බටහිරයන්ගෙ දැනුම වමාරනල වමාලා බවට පත්වීම.

 

අධ්‍යාපනය සමග අපේ ආර්ථිකය ජීවන ක්‍රමය ඉංගිරිසින් තමන්ට අවශ්‍ය ආකාරයට සකස් කළා. එක්තරා ආකාරයකින් ගතහොත් ඉංගිරිසින් අපට තම අධ්‍යාපනය අනිවාර්ය කළා. එකල පාසල් නොයන ළමුන් ගැන හොයන්න නඩු දාන මහත්තයෙක් ඇවිත් තියෙනවා. නඩු දාවි කියල ළමයි පාසල්වලට යැවූ දෙමව්පියන් හිටියා. ඉංගිරිසින් අපට ඔවුන්ගෙ අධ්‍යාපනයෙ වැදගත්කම කියල දුන්න. ඒ මදිවට ඊනියා උසස් රැකියා අධ්‍යාපනය සමග බද්ධ කළා. අපට අපේ දැනුමට හිනහ වෙන්න පුරුදු කළා.

 

ඔවුන් ලෝකයෙ හැම තැනම අපේ තරම් නූණනත් පාසල් ඇති කළා. විශ්වවිද්‍යාල පිහිටෙවුව. ඊයේ පෙරේදා මියන්මාරයෙ යැංගොන් (රැන්ගුන්) විශ්වවිද්‍යාලය පිහිටුවල අවුරුදු සියයක් ගත වීම සැමරුවා. ලංකාවෙ ඔවුන් වෛද්‍ය විද්‍යාලය පිහිටුවෙ 1870 තරම් ඈත කාලයක. ඊට පස්සෙ නීති විද්‍යාලයත් කාර්මික විද්‍යාලයත පිහිටෙවුව. ඔවුන් අපට විශ්වවිද්‍යාලයක් දෙන එක පරක්කු කළා. පළමුව දුන්නෙ ලන්ඩන් විශ්වවිි්‍යාලයෙ උපාධි කඩයක් ඒ 1921 දි. මට හිතෙනව ඉංගිරිසින් දැන ගෙන හිටිය ලෝකෙ සිංහලයන් තරම් අනුකාරකයන් පිරිසක් තවත් නැහැ කියල. ඔවුන් මෙරට තමන් විසින් බිහි කෙරුණු නායකයන් ගැන කෙතරම් විශ්වාසයක් තබා ගෙන හිටිය ද කියනව නම් 1931 තරම් ඇතක අපට සර්වජන ඡන්දය ලබා දුන්න. අපට විශ්වවිද්‍යාලයක් ලබා දෙන්න පරක්කු කළ ඉංගිරිසින් අනෙක් සියල්ලන්ට ම කලින් අපට සර්වජන ඡන්දෙ ලබා දුන්න.

 

ඉංගිරිසින් 1921 දි අපට ලබා දුන්නෙ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙ අධ්‍යාපනය. 1942 දි විශ්වවිද්‍යාලය පිහිටුවන්න ඔවුන්ගෙ හොඳ ම මිනිහෙක් අයිවො ජෙනිංග්ස් එවුවා. ඔහු පස්සෙ කාලෙක කේම්බ්‍රිජ් විශ්වවි්‍යාලයෙ උපකුලපති වුණු බව අමතක කරන්න එපා. ඉංගිරිසින් අපට හොඳට සැලකුවා. අපේ පාසල් ඉහළ ම අච්චුවෙන් හැදුව. සමහරු තවමත් රාජකීය විද්‍යාලය ලංකාවෙ ඊට්න් විද්‍යාලය ලෙස සලකනවා. අප ඉහළ ම ගණයෙ අනුකාරකයන් බව ඉංගිරිසින් දැන ගෙන ඉන්න ඇති. ඉන්දියාව ඉංගිරිසි ඔටුන්නෙ මැණික වෙන්න ඇති. ඒත් ලංකාව තමයි ඉංගිරිසින්ගෙ පරමාදර්ශී යටත්විජිතය. 

 

1948 නිදහස ලැබුණට පස්සෙත් අපේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්‍ෂක ප්‍රතිපත්තීය සකස් වුණෙ එංගලන්තෙන්. කටුනායක ත්‍රිකුණාමලය ඉංගිරිසි කඳවුරු හැටියට පවත්වා ගෙන ගියා. 1956න් පස්සෙ තමයි අප ඒ ලබා ගත්තෙ. ඒත් 1972 වන තුරු අපට එංගලන්ත රැජනගෙන් නිදහස් වෙන්න බැරි වුණා. පනස් දෙකේ එලිසබෙත් වින්ඩ්සර් ලංකාවට ආපු වෙලේ ඇය බලන්න ගියෙ එ ජා පාක්‍ෂිකයන් පමණක් නො වෙයි. අදවත් අප ජනරජ දිනය සමරනව ද? අපට වැදගත් අප ඩොමීනියන් නිදහස ලබා ගත්ත පෙබරවාරි 4.

 

ඉංගිරිසින් තම අධ්‍යාපනය අපට හොඳට ම ලබා දුන්න. 1817-18 නිදහස් සටන තවමත් කැරැල්ලක් ලෙස පාසල්වල උගන්නනවා කියලයි මා හිතන්නෙ. නැතත් අප බොහෝ දෙනා එයට කියන්නෙ කැරැල්ල කියල. අනේ දෙයියනේ කැප්පටිපොළ, ඔහු කැරලිකාරයෙක්. තල කැරලි විකුණුව ද දන්නෙ නැහැ. අප ලෝකය බලන්නෙ ඉංගිරිසින්ගෙ ඇසින්. ඔවුන්ගෙ දැනුම එකම දැනුම හැටියට අප සලකනවා. අසූවේ දශකයෙ මා වුණත් බොහෝ විට කියා ඇත්තෙ විකල්ප දැනුමක් ගැන. එය වැරදි සංකල්පයක්. විකල්ප දැනුම නොවෙයි දැනුම් පද්ධති තියෙන්නෙ. අපේ දැනුම් පද්ධතිය හා වෙනත් දැනුම් පද්ධති. ඉංගිරිසි දැනුම් පද්ධතියත් තවත් දැනුම් පද්ධතියක් පමණයි. එය එක ම දැනුමවත් අනෙක් පද්ධති මිථ්‍යා වන්නෙවත් නැහැ. සියල්ල එක්කො බොරු නැත්නම් පට්ටපල් බොරු.

 

නිදහස් අධ්‍යාපනයට තබා එයට පෙර ඊනියා බෞද්ධ අධ්‍යාපනයටවත් ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් නිදහස් වෙන්න බැරි වුණා. ක්‍රිස්තියානි පූජකයකු වූ ලෙඩ්බීටර් ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් ආනන්දය නිදහස් කර ගන්නේ කොහොම ද? අද සමාජයේ රාජකීයයන් මෙන් ම ආනන්දියන්ලා හා වෙනත් යන්ලා අයිට්ලා ඉස්ට්ලා අංලා ඉන්නවා. ආනන්දයට තියෙන ලොකුම ප්‍රශ්නය බෞද්ධ හමක් පොරවා ගත් රාජකීය විද්‍යාලයක් වීම. හතළිස් ගණන්වල මධ්‍ය මහා විද්‍යාල පනස්දෙක පිහිටුවන විට කන්නන්ගර මහතා අදාළ විදුහල්පතිවරුන් අමතා කියා ඇත්තේ තමන් ඉගෙන ගත් පාසල් වැනි පාසල් ඇති කරන්න කියා. මා ඒ මහතාට දොස් කියනවා නො වෙයි. ඒ පාසල්වලින් බිහිවුවන්ට ලැබුණේත් ඉංගිරිසි දැනුම හා දැනුම පමණයි.             

 

ඉංගිරිසින් හා සෙසු බටහිරයන් විවිධ උපාය යොදමින් වැල්වටාරම් කියමින් පෙන්නන්න උත්සාහ කරන්නේ තම දැනුම පමණක් දැනුම බවයි. එය පමණයි ක්‍රමවත් ම නිපදවන දැනුම හැටියට පෙන්නන්නෙ. අපේ දැනුම් ද ඔවුන්ගෙ මිනුම් දණ්ඩෙන් පරීක්‍ෂා කරන්න කියා දැනුම් යටත්විජිතවාදය පටවන්නෙ. කැප්පෙටිපොළ නිළමෙ තළ කැරලිකාරයකු ලෙස සලකන ඉංගිරිසි අධ්‍යාපනයෙන් නිදහස් නොවුණු අය ධම්මික බණ්ඩාර වෙද මහතා වෛද්‍යවරයකු ලෙස පිළිගනීවි ද?

 

බටහිර දැනුම විවෘත දැනුමක් ලෙස ඇතැමුන් සලකනවා. ඒ එසේ සලකන්නට ඉංගිරිසින් අපට කියා දී ඇති නිසා. එය විවෘත දැනුමක් වන්නේ එය විශ්වාස කරන අයට පමණයි. එහි සංකල්ප ප්‍රවාද ආදිය විශ්වාස කිරීමට පුරුදු වූ අයට පමණයි. එක්තරා ආකාරයකට එය මැජික් (විජ්ජාවක්) කියන්න පුළුවන්. මැජික් දන්නා අයට මැජික්වල බොරුව තේරෙනවා. අන් අයට මැජික් බලා ඉන්න පුළුවන්. හිතනවා සියල්ල විවෘත කියා. ඒත් හංගන හුඟක් දේ තියෙනවා. ශක්ති සංස්ථිති නියමය පිටුපස ඉන්න දෙවියන් වහන්සේ හංගලා.

 

බටහිර විද්‍යාවත් ඒ අතින් බැලුව ම විජ්ජාවක් කියන්නත් පුළුවන්. බටහිර වෙදකම නම් විජ්ජාවක් ම තමයි. බටහිර වෙදකම දැන් නම් අනාථයි. බටහිර භෞතික විද්‍යාව අනාථ වෙලා තියෙන විට බටහිර වෙදකම අනාථ වීම පුදුමයක් නො වෙයි. අද බටහිර වෙදකම ප්‍රතික්‍ෂෙප වන්නේ ට්‍රම්ප්ගේ අමෙරිකාවේ. ට්‍රම්ප්ගේ අමෙරිකාව කියන්නේ චර්චිල්ගේ එංගලන්තය නො වෙයි. ට්‍රම්ප් කියන්නේ ට්‍රම්ප්ගේ ඇමරිකාව නියෝජනය කළ තැනැත්තා. මා මෙවර නිවුස්වීක් සඟරාවේ දැක්කා ට්‍රම්ප්ගේ ඇමරිකාවේ සියයට හතළිහක් අර කොවිඩ් එන්නත ප්‍රතික්‍ෂෙප කරනවා කියා. එය එසේ වන්නේ ඇයි ද කියා පඬි නැට්ටන්ට කියන්න පුළුවන් ද? ඒ ගැන වමාරන්න දෙයක් බටහිරින් ලැබුණෙ  නැද්ද?

 

විවෘත බවක් බුදුදහමෙහි නම් තියෙනවා. එව බලව කියන්නෙ ඒකයි. බටහිර විද්‍යාවෙ එහෙම බලන්න බැහැ. මැජික් බලන්න නම් පුළුවන්. ඒත් ඒකටත් විශාල මුදලක් යනවා. අපට පුළුවන් ද ත්වරණක (accelerators) හදන්න. බුදුදහම බලන්න නම් මුදල් අවශ්‍ය නැහැ. බටහිර විද්‍යාවෙ සංකල්ප ප්‍රවාද බලන්නත් මුදල් ඕන.

 

ධම්මික වෙද මහතා දැනුම ලබා ගන්නෙ රාමනුජන් දැනුම ලබා ගත්ත කාලි අම්මගෙන් ම තමයි කියල කියන්නෙ. කාලි අම්ම හොඳට හොඳයි. නරකට නරකයි. රාමනුජන් අනන්ත ශ්‍රෙණි ලිවුවෙ යම් දේව බලයකින්. හාඩි ඔහුගෙන් සාධන ඉල්ලුව ම ඔහු කිවුවෙ දෙවියන්ගෙ වචනයට සාධන මොනවට ද කියා. හාඩි ලජ්ජාවෙන් බේරෙන්න රාමනුජන් බටහිර ගණිතඥයන් වගේ කල්පනා කළ බවක් කියන්න හදනවා. බටහිර ගණිතයෙ අනන්තය කියන්නෙ වියුක්ත සංකල්පයකට. රාමනුජන්ට අනන්තය සංයුක්ත දැනුමක්. ඒ සංයුක්ත බව කාලි අම්මාගෙන් ලැබුණු සංයුක්ත බවක්.

 

වෙදකම ගත්ත ම ලංකාවෙ පද්ධති රාශියක් තියෙනවා. බටහිර වෙදකම එක දැනුම් පද්ධතියක් විතරයි. ආයුර්වේදය, පාරම්පරික සිංහල වෙදකම, හෙළ වෙදකම වගේ ම සිද්ධ යුනානි හෝමියෝපති වෙදකම් තියෙනවා. ඒ අනෙක් පද්ධතිවල කොවිඩ් ගැන මොක ද කියන්නෙ. ඔවුන් බටහිර වෙදකමට අභියෝග කරන්නෙ නැද්ද?  හෙළ වෙදකමට පමණක් බටහිර වෙදකමට අභියෝග කරන්න පුළුවන් වුණෙ මොක ද? සිංහලයන්ගෙ මෝඩකම ද? පඬි නැට්ටන් මොකද කියන්නෙ.