Main Logo

Thursday 24 December 2020

සජිත්ගේ කනත්ත විරෝධයට චම්පක නැහැ

 සජිත්ගේ කනත්ත විරෝධයට චම්පක නැහැ


ඊයේ කනත්ත ඉදිරිපිට සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයක් තිබුණා කොවිඩ් 19 වැළඳී මියගිය මුස්ලිමුන්ගේ සිරුරු ආදාහනය කිරීමට විරුද්ධ ව. එතැන බලවේගයේ නායකයන් බොහෝ දෙනකු හිටියා. සජිත් රාජිත ආදීන්. සජිත් අසා සිටියේ ලෝකයේ රටවල් එකසිය ගණනක භූමදානයට ඉඩ දෙද්දී ලංකාවේ ඉඩ නො දෙන්නේ ඇයි ද කියා.  එමෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානයත් භූමදානයට අවසර  දී ඇති බව ඔහු මතක් කළා. හොඳ ප්‍රශ්නයක් හොඳ මතක් කිරීමක්. 


අඩු තරමෙන් මේ ප්‍රශ්නයේ දී වත් මෙරට සෞඛ්‍ය සංවිධාන හා වෛද්‍යවරුන් කියන්නේ කුමක් දැයි සජිත් කියා සිටියේ නැහැ. මෙරට බටහිර, ආයුර්වේද, පාරම්පරික, හෙළ, යුනානි, සිද්ධ, හෝමියෝපති ආදී වශයෙන් වෙදකම් කිහිපයක් තිබෙනවා. සජිත් ඒ ඒ ක්‍ෂෙත්‍රවලින් භූමදානය පිළිබඳ ව විමසා නැති බවයි පේන්න තියෙනවා. ඔහුට උපදෙස් දෙන්නේ කවුද කියා දන්නේ නැහැ. 


මේ පිළිබඳ බටහිර වෛද්‍ය මතය කියා එකක් නැහැ. අනෙක් වෙදකම්වලින් මා දන්නා තරමින් කිසිවක් කියැවී නැහැ. එහෙත් ඔවුන්ගෙන් විමසන්න පුළුවන්. බටහිර වෙදමහත්වරු එක එක කතා කියනවා. කොවිඩ් 19 වයිරසය ගැන ඔවුන් හරියට කිසිවක් දන්නේ නැති බව පේනවා. බොහෝ දෙනකු මහාචාර්ය මලික් පීරිස් කියා ඇති කරුණක් පුනරුච්චාරණය කරනවා. ජෝසෆ් ශ්‍රියාල් මලික් පීරිස් කියන්නේ බටහිර වෙදකමේ ව්‍යාධවේදියෙක් හා වයිරස්වේදියෙක්. ඔහු කලක සිට හොංකොං විශ්වවිද්‍යාලයේ සේවය කරනවා. ඔහු ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් ලැබූ පළමු සිංහලයා, අවශ්‍ය නම් ලාංකිකයා. ඔහුට අමතර ව තවත් සිංහලයකු එකී සංගමයේ අධිසාමාජිකයකු වෙනවා. ඔහු ඉංජිනේරු වෘත්තියේ යෙදෙන්නෙක්. දෙදෙනා ම තාක්‍ෂණවේදයට සම්බන්ධ පරීක්‍ෂණාත්මක කටයුතුවල යෙදෙන්නන්. ප්‍රවාදාත්මක විද්‍යාඥයන් නො වෙයි. 


මලික් පීරිස් වැනි අයකුගේ ප්‍රකාශයක් ගැන කීමට විද්‍යාඥයකු වීමට නොහැකි වූ ද උගතකු බුද්ධිමතකු වියතකු නොවූ ද මට ඇති සුදුසුකම කුමක් දැයි පඬි නැට්ටකු ප්‍රශ්න කිරීමට ඉඩ තියෙනවා. මලික් පීරිස් කිව යුතු සියල්ල කියා නැහැ කියන එකයි මගේ මතය. වයිරස ගැන ඔහු කියන්නේ සාමාන්‍ය දෙයක්. වයිරසයක් ගුණනය වන්නේ නැත්නම් තව තවත් වයිරස බිහි කරන්නේ ජීව ෙසෙලයක පමණය කියා ඔහු කියනවා. ඒ බටහිර වෙදකමේ වයිරසවේදයේ කියැවෙන දෙය. එහි ගැටළුවක් නැහැ. 


එහෙත් මෙහි දී ප්‍රශ්නය වන්නේ වයිරසයකට අජීව පෘෂ්ඨයක පැවතිය හැකි ද යන්නයි. පැවතීම කියන්නෙ එකක් ගුණනය වීම කියන්නෙ තවත් එකක්. මගේ අල්පමාත්‍ර වූ දැනුම අනුව වයිරසයකට ඒ ඒ පෘෂ්ඨවල ඒ ඒ කාල සීමාවන්හි පවතින්න පුළුවන්. කොවිඩ් 19 වයිරසයට විවිධ පෘෂ්ඨවල පැවතිය හැකි බව  බටහිර විද්‍යාඥයන් කියනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු නම් ඒ ගැන වද වන්නේ ඇයි දැයි පඬි නැට්ටකු අහන්න ඉඩ තියෙනවා. බොහෝ පඬි නැට්ටන් බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන්නේ ඇයි දැයි දන්නේ නැහැ. 


කොවිඩ් 19 වයිරසය මුදල් නෝට්ටුවලත් යම් කාලයක් පවතින බව මට මතක හැටියට පළමු වරට කිවුවේ ඕස්ත්‍රේලියාවේ විද්‍යාඥයන් දෙදෙනකු. අපේ ජීවිතවලට බලපෑවත් මුදල් නෝට්ටු අජීව බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. දැන් ඩෙන්මාර්ක් විද්‍යාඥයන් කියා තිබෙනවා අර මරා දාපු මුගටියන් වළෙන් ගොඩ ගෙන ආදාහනය කරන්න කියා. ඒ වයිරසය මිය ගිය මුගටියන්ගේ සිරුරේ තිබෙන නිසා. කොවිඩ් වයිරසය ජලයේ පවතින බවට වාර්තා වී තියෙනවා.


මලික් පීරිස් නොකියන කතාව ඒකයි. විද්‍යාඥයන් හා නීතිඥයන් අතර ඇති වෙනස ලෙස සමහරු කියන්නේ විද්‍යාඥයන් දෙපැත්ත ගැන ම කරුණු දක්වන අතර නීතිඥයන් එක පැත්තක් ගැන පමණක් කරුණු දක්වනවා කියා. මා ඒ කතාව පිළිගන්නේ නැහැ. විද්‍යාඥයන් හා නීතිඥයන් අතර වෙනසක් නැහැ. ඒ සඳහා හොඳ ම උදාහරණය මලික් පීරිස්. කොවිඩ් 19 වයිරසය අජීව ෙසෙලවල ගුණනය නොවූවත් යම් කාලයක් පවතින්න පුළුවන්. එ කාලයෙහි වයිරසය මිනිසුන් ඇතුළු ජීවීන්ට ලබා දෙන්න පුළුවන්. කොවිඩ් වැළඳී මියගිය අයගේ සිරුරු ආදාහනය කරන්න කියන්නේ එබැවිනුයි. මලික් පීරිස්ගේ කතාවෙන් එසේ මියගිය අයගේ සිරුරු භූමදානය කිරීම ප්‍රශ්නයක් නොවේ යැයි කියැවෙන්නේ නැහැ.  


කොවිඩ් වැළඳී මිය ගිය අයගේ මළ සිරුරු ගැන තවත් කතාවක් කියන්න තියෙනවා. ඊයේ සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට චම්පක පැමිණ නැහැ. ඔහු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වුවත් ඒ පෙරමුණට තවම ව්‍යවස්ථාවක් නැති නිසා ඔහු එසේ කළා යැයි සිතන්න බැහැ. චම්පක අඩව්වක් අල්ලන්නයි යන්නෙ. ඔහු හැමදාමත් කතා කෙළෙ නගරාශ්‍රිත මධ්‍යම පංතික සිංහල බෞද්ධයනට. අදත් ඔහු සූදානම් වන්නේ මළ මිනී උස්සන් ඔවුන් අමතන්නයි. 


මෙරට සිංහල මුස්ලිම් භේදය ඇති කරනු ලැබුවේ ඉංගිරිසින් විසින්. අදත් ඔවුන් එය කරනවා. කොවිඩ් වැළඳී මිය යන සියල්ලන්ගේ සිරුරු ආදාහනය කරන්න කියන්නේ භූමදානය කිරීම ජීවත්වන්නවුන්ගේ ජීවිතවලට ප්‍රශ්න ඇති කළ හැකි බැවින්. එය මුස්ලිම් විරෝධයක් නො වෙයි. එහෙත් ඇතැම් පිරිස් මළ සිරුරු උස්සන් ඒ භේදය ඇති කරන්න උත්සාහ කරනවා. පසුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ ඇති වු සිංහල මුස්ලිම් ගැටුම් පිටුපස එක් රටවාක් දකින්න පුළුවන්. ඒ රටාව අපට නැවතත් දිස් වෙනවා. අප පරෙස්සම් වන්න ඕන. තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ඇති කරන්න ඕන නැහැ. 


චම්පක කාලයකට පෙර කිවුවේ ජාතිය කියන්නෙ මළ කඳක්. නලින් සිල්ව කිවුවට ඒක කර තියන් යන්න බැහැ කියල. ඒ ඔහු රටවැසි පෙරමුණ හදා ගෙන මංගලත් එක්ක වැඩ කරන කාලෙ. කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි ව කළ හමුදා මෙහෙයුම්වලට විරුද්ධව පෝස්ටර ඇල වූ කාලෙ. එහෙත් ඔහු අද මළ කඳන් කර තියන් යන්න හදනවා. ඔහු කනත්තට ගියේ නැත්තෙ ඔහුට මළ කඳන් වටින නිසා. 


කළ යුත්තේ පශ්චාත් මරණ පරීක්‍ෂණ ඉක්මණින් ඉවර කර කොවිඩ් වැළඳී මිය ගිය අයගෙ, වඩා පැහැදිලිව කිවුවෙත් මිය යන විට කොවිඩ් වැළඳී සිටි අයගෙ සිරුරු කොන්දේසි සහිතව ආදාහනය කිරීමට ඥාතීන්ට භාර දීමයි. ඥාතීින් භාර නොගන්නේ නම් ආණ්ඩුවේ වියදමින් සිරුරු ඉක්මණින් ම ආදාහනය කිරීමයි. ශීතාගාරවල සිරුරු තබා ගැනීම එලොවටවත්  මෙලොවටවත් නැති වැඩක්.