Main Logo

Friday, 11 December 2020

පැණිය අසික්කිත අමනයන් අතට පත් වේවි ද?

 පැණිය අසික්කිත අමනයන් අතට පත් වේවි ද? 


එක්තරා ආයුර්වේද වෙදමහතකු කොවිඩ් 19 සඳහා පැරණි පොතක හරි වට්ටෝරුවක හරි තිබුණා ය කියන ඒ මහතාට අනුව නම් හිංගල බෙහෙතක් ඉදිරිපත් කරලා. එයට ප්‍රසිද්ධියක් ද ලබා දීලා. මෙය ධම්මික බණ්ඩාර වෙදමහතාගේ පැණිය ම ද කියන එක ගැන තොරතුරක් නැහැ. එහි මෙන් ම මෙහිත් මී පැණි හා සාදික්කා තියෙනවා. ආයුර්වේද වෙදමහතා බටහිර ඊනියා විද්‍යා නම් සමග සාදික්කා හා මී පැණි ගැන විස්තරයක් ද කර තිබෙනවා. 


ආයුර්වේද වෙද මහතාට වට්ටෝරුව හොයා ගන්න තරමක් කල් ගත වී තියෙනවා. ධම්මික වෙද මහතා නම් මාර්තුවේ පමණ සිට ඒ පැණිය ලබා දෙන බවයි කියන්නෙ. ධම්මික වෙද මහතා බෙහෙත හරියට ම කියා නැහැ. ඔහු මී පැණි හා සාදික්කා නම් වශයෙන් පමණක් සඳහන් කර තියෙනවා. එයට හේතු ගණනාවක් ඇතැයි මා හිතනවා. එය ආධ්‍යාත්මික ව ලබා ගන්නා දැනුම සමග ද සම්බන්ධයි. මා ඒ බව හිතන්නේ මගේ දැනුමෙන්. මා ධම්මික බණ්ඩාර වෙද මහතා පෞද්ගලික ව දන්නේ නැහැ. ඔහුගෙන් මට කිසිම තොරතුරක් ලැබී නැහැ. 


ආයුර්වේද වෙද මහතා එසේ නො වෙයි. ඔහු සියල්ල කියනවා. ඔහු විවෘතයි. එහෙත් ඔහු එක දෙයක් පමණක් කියන්නේ නැහැ. වට්ටෝරුව තියෙන පොත මොකක් ද කියන එක කියලා නැහැ. අර පරණ කතාවක තියෙනව වගේ වට්ටෝරුව ලියල පොත මදිනව ද කියල දන්නෙ නැහැ. අපේ සංස්කෘතියේ ඉතිහාසයේ එවැනි කතා තියෙනවා. සිංහලයන්ට නොයෙකුත් දක්‍ෂතා තියෙනවා.  ආයුර්වේද වෙද මහතා ලෝ වැසි සියල්ලන්ගේ යහපත වෙනුවෙන් තමන් දන්නා දේ කියන තැනැත්තකු ලෙසයි පෙනී යන්නේ. ඒත් අර පොතත් කිවුව නම් තවත් හොඳය කියල හිතෙනවා. ඒ පොත සමහර විට ඉන්දියාවෙ පොතක් වෙන්නත් ඉඩ තියෙනවා. පොත පොතක් ද කියල මා අහන්නෙ නැහැ. ඇතැම් සිංහලයන් පොත් කියවීමට මෙන් ම පෙරළීමට ද දක්‍ෂයි.


මා නම් ධම්මික වෙද මහතාගේ පැණිය බටහිර වෙද මහතුන් ලවා හරි ආයුර්වේද වෙද මහතුන් ලවා හරි පරීක්‍ෂා කරවනවාට විරුද්ධයි. දැන් ඔය ආයුර්වේද වෙද මහතාගේ පැණිය ඕනෑම කෙනකුට අමු ද්‍රව්‍ය තියෙනවා නම් හදා ගෙන බොන්න පුළුවන්. පත කියන්නෙ මොකක් ද කියන එක ලීටරවලින් ම කියන්න තරම් ආයුර්වේද වෙද මහතා කාරුණික වෙලා තියෙනවා. දැන් ඒ පැණියත් බටහිර වෙද මහතුන්ගෙ පරීක්‍ෂාවට ලක් කරනවා ද? 


ධම්මික වෙද මහතාගේ පැණිය තවම පරීක්‍ෂාවට ලක් කෙරෙන බැවින් එය රෝගීන්ට ලබා දීම තහනම් කෙරිලා. මෙය නරක පූර්වාදර්ශයක්. මින් මතු හෙළ වෙදකමේ කිසියම් බෙහෙතක් නියම කිරීමට පෙර මහාචාර්ය කමිටුවක පරීක්‍ෂාවට ලක් කරන්න ඕන ද? ආයුර්වේද වෙද මහතාගේ පැණිය ඉතින් ආයුර්වේද පොතක තියෙන එකක් නේ. ඒ ගැන ආයුර්වේද වෛද්‍ය සභාව බලා ගනීවි. පාරම්පරික හා හෙළ වෙදකමට තමයි ඔක්කොම ප්‍රශ්න. කොහොමත් අපට රට බල්ලා රට තණකොළ රට උපාධි රට පත්‍රිකා රට තෑගි වටිනවා. බටහිර බැරි නම් ඉන්දියාව මොකෝ. ඒව රට නෙ. කාට හරි ප්‍රශ්නයක් තියෙනව ද කාලි අම්මා අපේ ද කියල. ඇගේ මුල මා දන්නෙ නැහැ. ඒත් දැන් ඈ අපේ සංස්කෘතියෙ. කාලි අම්ම විතරක් නොවෙයි විෂ්ණු දෙවියොත් තවත් දෙවිවරුත් අපේ.  ඔවුන් ගඟට දාන්න මා යෝජනා කරන්නෙ නැහැ. යෝජනා කළත් අපේ අය ඔවුන් ගඟට දාන්නෙත් නැහැ. අපේ ද රට ද කියන තීරණය අවශෝෂණය මත රැඳිල තියෙන්නෙ. රට තණකොළ අවශෝෂණය කර ගත්ත උගතුන් ඉන්නව ද කියන එක මා දන්නේ නැහැ. 


එක දැනුම් පද්ධතියක දැනුමක් වෙනත් දැනුම් පද්ධතියක පරීක්‍ෂාවට ලක් කිරීම තරම් අසික්කිත වැඩක් තවත් නැහැ.  අ යන්නෙන් පටන් ගන්න වචන රාශියක් යොදා ගන්න පුළුවන්. අසික්කත අවලම් අමන අලුගුත්තේරු ඉන් කිහිපයක්. අසික්කිත කියන එක සාදික්කා සමග කිට්ටුවෙන් උච්චාරණය කරන්න පුළුවන්. පොඩි රිද්මයක් තියෙනවා. ඊනියා ජාතික පුවත්පතකට අවශ්‍ය වෙලා පරීක්‍ෂාවට ලක් කෙරෙන බෙහෙතක් ආහාර පරිපූරකයක් (ඔවුන් යොදා ගන්නා වචනය අතිරේකය) ලෙස යොදා ගන්නෙ කොහොම ද කියල. පරිපූරකයක් කියන්නෙ අතිරේකයක් නොවෙයි. ඒ බව කවුරු හරි සිසිර ජයකොඩිට කියනවා ද? මට ඔහු සම්බන්ධ කර ගන්න බැහැ. 


බටහිර ක්‍රමයට තමයි ඔය ආහාර පරිපූරක කතාවත් ගොතා ගෙන තියෙන්නෙ. ඒකත් බටහිර වෙදකමට ප්‍රශ්නයක් නොවන විධියට පැණිය දීමට.  මට ඉස්සර බොරුපන වෙද මහතා කී දෙයක් මතක් වෙනවා. අපේ වෙදකමේ (හා සංස්කෘතියේ) බෙහෙතක් කියන්නෙ ආහාරයක්, ආහාරයක් කියන්නෙ බෙහෙතක්. අපේ සංස්කෘතියේ හොට් ඩෝග් ආහාරයක් නොවෙයි. අපි ඉස්සර ලෙඩ හදාගන්න කෑවෙ නැහැ. පැණිය අපට කොහොමත් ආහාරයක්. අර ඊනියා ජාතික පුවත්පතට ඕන නම් ඒක ආහාර පරීපූරකයක්. බටහිර වෙදකමේ කන කෑමට එකතු කර ගන්න පුළුවන් කෑමක්. 


ආධ්‍යාත්මික ව ලබා ගන්නා දැනුම ගැන යමක් කියන්න ඕන.  මෙරට පඬියන්ට රාමනුජන් එහෙම දැනුම ලබා ගත්තට ප්‍රශ්නයක් නැහැ. ප්‍රියන්තා සේනානායක හරි ධම්මික වෙද මහතා හරි ලබා ගත්තොත් තමයි ප්‍රශ්නෙ. අර මහා දාර්ශනිකයා අහල තිබුණ පැණිය පේටන්ට් කරන්නෙ නැත්තෙ මොකද කියල. අපේ දැනුම බෙදල දෙන හැටි අපි දන්නවා. ඔව් අපි ගුරුමුෂ්ටි තියා ගන්නවා. එහි එක් අරමුණක් වන්නෙ දුදනන් අතට නුසුදුස්සන් අතට අසික්කිත අවලම් අමන අලුගුත්තේරුවන් අතට දැනුම පත් වීම වැළැක්වීම. ආධ්‍යාත්මික ව ලබා ගන්නා දැනුමක් එවැන්නන් අතට පත් වුණොත් දැනුම අවලංගු වෙන්න පුළුවන්. 


බටහිර දැනුම ප්‍රචාරය කරන විධියට අපේ දැනුම ප්‍රචාරය කරන්න බැහැ. කළ යුතුත් නැහැ. අපේ අත්ගුණය කියල එකක් තියෙනවා. හැම වෙද මහතාට ම ඒක නැහැ. වෙද මහතුන් කිහිප දෙනකු එක ම බෙහෙතක් නියම කළත් ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. දෙවියන් බුදුන් සිහි කර ගෙන තමයි අපේ වෙදකම කෙරෙන්න ඕන. ද්‍රව්‍යමය නොවූ ගුණ ප්‍රතිකාර හා සම්බන්ධයි. ඒවා බටහිර උපකරණවලට අහුවෙන්නෙ නැහැ.  සිංහල වෙදකමේ  වෙද මහතාත් බෙහෙතක්. අත්ගුණයත් එක්ක අපට ඒ වෙද මහතා නම් බෙහෙත ලැබෙනවා. සිංහල බෙහෙත් ගුණ ද කියන එක දැන ගන්නෙ අත්දැකීමෙන්. රෝගින් සුව වෙනව නම් ඒක ප්‍රත්‍යක්‍ෂයි. ඔය ඊනියා සායනික පරීක්‍ෂණ කියන්නෙත් අවසාන වශයෙන් නැහැසුම් සෑහුම් නැත්නම් තැත් වරද (trial and error) ක්‍රමයක්. 


ආයුර්වේද වෙදමහතා ප්‍රචාරය කරල තියෙන්නෙ ධම්මික වෙද මහතාගේ පැණිය ම ද කියන්න මා දන්නේ නැහැ. එය එසේ නම් මෙහි භයානක පැත්තක් තියෙනවා. ආධ්‍යාත්මක ව ලබා ගන්නා දැනුමක් ඇතැම් පැරණි සංස්කෘතිවල තිබුණා.  ආධ්‍යාත්මික ව ලබා ගන්නා දැනුම් සමග සෙල්ලම් කරන්න බැහැ. ආයුර්වේද වෙද මහතා ධම්මික වෙද මහතාගේ පැණිය අසික්කිත අමනයන් අතට පත් කිරීමට කටයුතු කර ඇත්නම් පැණියේ ගුණ අවලංගු වීමට ඉඩ තියෙනවා. ආධ්‍යාත්මික දැනුම යහපත් එකක් වුණත් අසික්කත අමනයන් අයහපතට යොදා ගන්න පුළුවන්. වෙදකම වුණත් එහෙමයි. අසික්කත අමනයකු යහපත් වෙදකමක් තම ලාභය සඳහා යොදා ගනීවි. ඒ සමග එහි ගුණය නැති වෙනවා. නැති වෙනවා කියන්නෙ ඒ දැනුම දුන් අය එය අවලංගු කරනවා.    ආධ්‍යාත්මික දැනුම් ටික කලෙකින් අහෝසි වීමට අසික්කතයන්ගේ ක්‍රියා හේතු වෙනවා.


 ප. ලි. මෙහි ආධ්‍යාත්මික යන්නෙන් වැරදි වැටහීම් ඇති විය හැකියි. වඩා සුදුසු මානුෂික නොවන යන්නයි.  මේ පිළිබඳ වැඩි විස්තර පසු ලිපියක.