දැනුම විශ්වාසය මත පදනම් වෙනවා. විශ්වාසයෙන් තොර දැනුමක් නැහැ. ඒ ගැන මට හොඳට ම විශ්වාසයි. මහ ලොකුවට කතා කරන තර්කය පදනම් වෙන්නෙ ඇරිස්ටෝටලීය න්‍යාය හා අනුමාන නැත්නම් අනුමිති රීති (Inference Rules) මත. ඒවා ගැන ඇත්තේ විශ්වාසයක් පමණයි. ඒවා තර්කයකින් පෙන්නන්න බැහැ. පුළුවන් නම් තර්ක කරල ඇරිස්ටෝටලීය න්‍යාය හා අනුමාන රීති ලබා ගන්න (අපෝහනය කරන්න). එහෙම කරන්න යම් තැනකින් පටන් ගන්න ඕන. ඒ කියන්නෙ ස්වසිද්ධි (Axioms) කිහිපයකින් පටන් ගන්න වෙනවා. ඒ ස්වසිද්ධි විශ්වාස කරන්න ඕන. ස්වසිද්ධි තවත් දෙයකින් ලබා ගන්න බැහැ. ඒ කියන්නෙ තර්කයකින් ලබා ගන්න බැහැ. අපි මේවා ගැන පසුව විස්තරාත්මක ව කතා කරමු.
ඊයේ වැදගත් ප්‍රකාශ දෙකක් නිකුත් කර තිබුණා. එකක් අතුරලියේ රතන හාමුදුරුවන්ගෙ. අනෙක රාජ්‍ය ඇමති චන්න ජයසුමනගෙ. රතන හාමුදුරුවන් කියල තිබුණෙ ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල දෙවියන්ගෙන් දැනුම ලබාගත් අවස්ථා ගැන කියවෙනව කියල. ඒ ගැන විශ්වාසයක් තියෙන්න පුළුවන් නම් ධම්මික වෙද මහතා කාලි අම්මාගෙන් දැනුම ලබා ගැනීම ගැන විශ්වාසයක් ඇති කර ගන්න බැරි මොකද කියල.
පරණ තෙස්තමේන්තුවෙ මෝසෙස් ගැනත් අලුත් තෙස්තමේන්තුවෙ ජෝන් බැප්ටිස්ට්තුමා ගැනත් කියැවෙනවා. එතුමන්ලාට යෙහෝවා දෙවියන් වහන්සේගෙන් ලැබුණු දැනුම් ගැන කියැවෙනවා. රතන හාමුදුරුවන් ප්‍රකාශ කරන පරිදි ම අද ලෝකයේ වැඩියෙන් ම අදහන්නෙ ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්. විවිධ ක්‍රිස්තියානි නිකාය තිබුණත් සියල්ලන් ම දෙවියන් වහන්සේගෙන් ලැබුණු දැනුම් ගැන විශ්වාස කරනවා. ඒ වගේ ම ඉස්ලාම් ආගමේත් විවිධ නිකාය තිබුණත් මහමත්තුමාට ලැබුණු දැනුම් ගැන කියැවෙනවා. ඒ එකම දෙවියන් වහන්සේ. යෙහෝවා හරි අල්ලා හරි ලෙස නම් කෙරුණත් එක ම දෙවියන් වහන්සේ ගැනයි කියන්නෙ.
හින්දු සංස්කෘතියේ හා බෞද්ධ සංස්කෘතියේ දෙවිවරු රාශියක් ඉන්නවා. අප ඒ ගැන සැලෙන්නෙ නැහැ. අපට සැලෙන්න හේතුවක් නැහැ. බෞද්ධයන්ට නම් බ්‍රහ්මනුත් නැහැ. බ්‍රහ්මන් යෙහෝවා නැත්නම් අල්ලා දෙවියන්ගෙන් වෙනස්. බ්‍රහ්මන් ම තමයි ලෝකය, එහෙම නැත්නම් විශ්වය. බ්‍රහ්මන් බ්‍රහ්මගෙන් වෙනස්. ඒ කොහොම වුණත් බෞද්ධයන් බොහෝ හින්දු දෙවිවරුන් තම සංස්කෘතියට අවශෝෂණය කරගෙන. සිංහල බුද්ධාගමේ දෙවිවරුන් එක්ක අප සංනිවේදනය කරනවා.
සිංහල කතෝලිකයන්ට දෙවිවරු රාශියක් ය යන්න විශාල ප්‍රශ්නයක් නොවේය කියන එකයි මගේ විශ්වාසය. ඔවුන් දෙවියන් වහන්සේ ගැන විශ්වාසය ඒ ආකාරයට ම පවත්වාගෙන යන අතර දෙවිවරුන්ට විරුද්ධත්වයක් නැහැ. ඒ සිංහල බුද්ධාගමේ ආභාසයෙන්. එහෙත් මුස්ලිම් ජනයා වෙනත් දෙවිවරුන් ගැන කියන විට සලෙ න්න ඉඩ තියෙනවා.
අප එකිනෙකාගේ විශ්වාස වෙනස්. මා විශ්වාස කරන දෙය වෙනත් අයකු විශ්වාස කරන්න ඕන නැහැ. අපට අනෙකාගේ විශ්වාසය වෙනස් කරන්න ඕනෙත් නැහැ. ඒ සඳහා බෞද්ධ සාහිත්‍යයෙහි ඇති හොඳම උදාහරණය උපාලි ගහපතිගේ කතාව. අප සමහර වෙලාවට අනෙක් අයගෙ විශ්වාස අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගන්නවා.භද්‍රකාලි මැණියන් හෙවත් කාලි අම්මා හොඳ උදාහරණයක්.
අප සියළු දෙනාට එකඟ වෙන්න පුළුවන් දේ නැහැ. අද අධ්‍යාපනය, ජනමාධ්‍ය මගින් දැනුම් යටත්විජිතවාදය මගින් බල කෙරෙනවා ඇතැම් දේ ගැන එකඟ වීමට. මේ එකඟ වීම විශ්වාසයක් පදනම් කෙරී ගෙනයි. ඒ විශ්වාසය සමරුනට ඇති කෙරිල. එක දෙවියකුගෙන් පමණක් දැනුම් ලබාගත් සංස්කෘතීන් අද වෙනත් දෙවිවරුන්ගෙන් දැනුම් ලබා ගැනීම මිථ්‍යාවක් ය යන එකඟත්වයක් ඇති කරල. ඒ එකඟත්වය ඇති කර ගෙන ඉන්න අය පොඩ්ඩක් හරි හිතල බලනවා ද එකඟත්වය ඇති කෙරුණෙ කොහොමද කියල. එයට පදනම් වූණු ස්වසිද්ධි නැත්නම් උපකල්පන මොනවද කියා.
මේ පසුබිම යටතෙ තමයි චන්න ජයසුමන ඊයේ ඉතා වැදගත් ප්‍රකාශයක් කෙළෙ. ඔහු ධම්මික වෙද මහතාගේ පැණිය වස නොවන බව පත්කරන ලද කමිටු තුනෙන් එකක වාර්තාවෙන් කියා ඇති බව ප්‍රකාශ කරන ගමන් කියා සිටියේ තමා මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලබා ගන්නා දැනුම් ප්‍රතික්‍ෂෙප නොකරන බවයි. බටහිර වෛද්‍යවරයකු ලෙස පුහුණුව ලබා රාජ්‍ය ඇමතිවරයකු ලෙස කටයුතු කරමින් කරන ලද මේ ප්‍රකාශය පඬියන්ගේ පඬි පෝතකයන්ගේ හා පඬි නැට්ටන්ගේ අප්‍රසාදයට හේතු භූත වෙන්න ඇති.
උසස් පෙළට ඊනියා විද්‍යාත්මක ක්‍රමය හා තර්කය උගත් අය මෙන් නොව උසස් පෙළට රසායන විද්‍යාව ඉගෙන ගත් චන්න බෙන්සීන් අණුවෙ ව්‍යුහය කෙක්‍යුලේට ලැබුණෙ හීනෙන් බව දන්නවා. බටහිර විද්‍යාව ඉගෙන ගන්නෙ නැතිව ඒ ගැන කියවීම භයානක වැඩක්. ඒක ගොඩ ඉඳන් පීනන්න ඉගෙන ගන්නවා වගේ. වතුරට බැස්සදාට තමයි ප්‍රශ්නය. කාලෝ ෆොන්සේකා ගණිතය ගැන කියෙව්වෙත් ඒ ආකාරයට.
කාලෝ ගැන කිවුවම කාළාම සූත්‍රය මතක් වෙනවා. කාළාම සූත්‍රය බටහිර විද්‍යාත්මකවත් බටහිර විචාරශීලිවත් නැහැ. විචාරශීලි කියන එකත් වාස්තවික සංකල්පයක් නොවෙයි. එක එක විචාරශීලී භාවයන් තියෙනවා. බටහිර විචාරශීලීභාවය කාළාම සූත්‍රයේ නැහැ. කාළාම ස්‍රත්‍රයෙහි අවසානයේ දී කියන්නේ විඤ්ඤූන් අනුගමනය කරන්න කියල. ඒ විඤ්ඤූන් බටහිර විද්‍යාඥයන් නම් නො වෙයි.