Main Logo

Monday 30 November 2020

කොවිඩ් රෝගීන්ට සිංහල බෙහෙතක්

 කොවිඩ් රෝගීන්ට සිංහල බෙහෙතක් 



සිංහල වෙදමහතකු කොවිඩ් 19 වැළඳුණු රෝගීන්ට ප්‍රතිකාරයක් ලබා දෙන බව කියැවෙනවා. එය සාර්ථක බව ද පැවසෙනවා. එය කරුණු කිහිපයක් නිසා සතුටුදායක ආරංචියක්. අවශ්‍ය නොවූවත් බටහිර වෙදකම අනුවත් එය පරීක්‍ෂණයට ලක් කෙරිලා සාර්ථක ප්‍රතිඵල අත් කර දී ඇති බව කියැවෙනවා. 


එහෙත් දැන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. රජයේ රෝහල් දෙකක එකී පර්යේෂණය කෙරී ඇත්තේ අවසර ඇතිව ද කියන එක පළමු ප්‍රශ්නය වේවි. සමහර දෙමව්පියන් තම දරුවන් තම අවසරය නැතිව විවාහ වූ විට කියන කාරණයක් වන්නේ අපෙන් ඇහුව නම් ඕක කරල දෙනව නේ කියන එක. එහෙත් ඇහුව නම් වෙන්න තිබුණෙ මොකක් ද කියන එක වෙන ම කරුණක්. මා වැරදි උපදෙසක් දෙනව නොවෙයි. ඔය අවසර කතාවත් එහෙම එකක් තමයි. අවසර අර ගන්න කියා හිටිය නම් බොහෝ විට අවසර ලැබෙන්නෙ නැහැ.  


අද රටේ ඇත්තේ බරපතළ ප්‍රශ්නයක්. එය ලෝකයේ ම ප්‍රශ්නයක්. කොවිඩ් 19 ඉක්මණින් පැතිරෙනවා. බටහිර වෙදකමේත් තවමත් එන්නතක් නිෂ්පාදනය කෙරී නැහැ. එන්නත් සම්බන්ධ  සිය ගණනක් පරීක්‍ෂණ කෙරෙනවා. රජයේ රෝහල් දෙකක සිංහල බෙහෙත පරීක්‍ෂණය කිරීමට ඉදිරිපත් වූ බටහිර වෙදමහතුන්ට අපේ ගෞරවය හිමි විය යුතුයි. සිංහල වෙදකමක් ගැන බටහිර රෝහලක පරීක්‍ෂණ කිරීමට අවසර දීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකඟ වේවි ද? 


ඒ සඳහා වෛද්‍ය සභාව කෝඳුරු තෙල් කොපමණ සොයාවි ද? එය පරීක්‍ෂණ සම්බන්ධ නොකෙරෙන වෙදකමක් බවට පත්වීමට ඉඩ තිබුණා. වෛද්‍ය සභාව ආචාරධාර්මික නිිදොස් කිරීම ආදිය සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාකරාවි ද? තම වෙදකමෙන් පිට වෙදකමක් ගැන වෛද්‍ය සභාව වඩාත් සැලකිල්ලක් දක්වාවි. කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තවත් හත්පට්ටයකුත් ඉල්ලාවි. පරීක්‍ෂණ නො කෙරේවි. 


අද ඇත්තේ සියල්ල පරදුවට තැබූ තත්වයක්. එහි දී අහවල් අහවල් දේ කෙරුණා ද කියා සොයා බැලීම අනවශ්‍යයයි. වෛද්‍ය සභාවට තම පතිවත රැක ගැනීම ප්‍රධාන ප්‍රශ්නය වෙන්න පුළුවන්. එහෙත් ඇතැමුනට තම ජීවිත රැක ගැනීම ප්‍රශ්නයක් වෙලා. ජීවිතය වගේ ද පතිවත කියල අහන්න පුළුවන්. සිංහලයන් අතර තියෙන කියමනක් යොදා ගත්තොත් වෛද්‍ය සභාවට කියන්න පුළුවන් ලෙඩා මළත් බඩ සුද්ද වුණා කියල. ඒත් වෛද්‍ය සභාව එවැනි ගොඩේ කියමන් යොදා ගන්න එකක් නැහැ. 


කොවිඩ් 19 පිළිබඳ පීසීආර් පරීක්‍ෂණ ධන වූ අයයි පරීක්‍ෂණයට යොදා ගෙන තියෙන්නෙ. අර සිංහල වෙදකමේ හරි හෙළ වෙදකමේ හරි පැණිය දුන් පසු පීසීආර් සෘණ වෙලා. සිදු වී ඇත්තේ වා පිත් සෙම් කිපීම නැති කර නැවතත් තුලනය කිරීමක් බවයි මට වැටහෙන්නෙ. දැන් මෙතන සිද්ධ වෙලා තියෙන්නෙ ලෙඩා මළත් බඩ සුද්ද වීමක් නොවෙයි. ලෙඩා නොමැරී සිටිය දී ම බඩ සුද්ද වීමක්. 


වෛද්‍ය සභාවට මෙය තවත් අවසර දීමේ ප්‍රශ්නයක් පමණක් වෙන්න පුළුවන්. ඒත් ආණ්ඩුවට එය රෝගීන් සුව කිරීම රෝගය පැතිරීම වැළැක්වීම ආදී ප්‍රශ්න. ඒ මදිවට මිනිසුන් පීසීආර් පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් වීමටත් මැළි වෙනවා. එයට නම් ප්‍රධාන හේතුව ඇතැම් බටහිර වෙදමහතුන් හා ජනමාධ්‍ය විසින් මිනිසුන් බිය කෙරීම. ඇතැම් බටහිර වෙදමහතුන් රෝගය සම්බන්ධ දෙයක් කීමට නැති නිසා දෝ රෝගීන් සම්බන්ධ ප්‍රතිශත කියවනවා. සිතියම් අඳිනවා. ඒවා හයේ හතේ පන්තිවල වැඩ. 


ආණ්ඩුව ඉන්නෙ වෛද්‍ය සභාවට උඩින්. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් කියන්න පුළුවන් ආණ්ඩුව නීතිය නැවිය යුතු නැහැ කියල. එ කියන්නෙ වෛද්‍ය සභාවට තීරණ ගන්න ඉඩ දීල පැත්තකට වෙන්න කියල. ඒත් මා හිතනවා වෛද්‍ය සභාව දරදඬු වුණොත් ආණ්ඩුවට පුළුවන් රෝගීන් වෙනුවෙන් මැදිහත් වෙන්න. ප්‍රශ්නය රෝගීන් බේරා ගැනීම ද පතිවත රැක ගැනීම ද? ආණ්ඩුවට තියෙන්නෙ එක ප්‍රශ්නයක්, වෛද්‍ය සභාවට  තියෙන්නෙ වෙනත් ප්‍රශ්නයක්. මා දන්නවා වෛද්‍ය සභාව තියාවි ඔවුන්ටත් තියෙන්නෙ රෝගීන් බේරා ගැනීමේ ප්‍රශ්නය කියල. ඒත් බටහිර වෙදකම ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේ නැහැ. මා බලාපොරොත්තු වෙනවා වෛද්‍ය සභාව දරදඬු තීරණයක් නොගනීවි කියා.


කෙසේ නමුත් වෛද්‍ය සභාවට කරන්න පුළුවන් සිංහල බෙහෙත ගැන බටහිර රෝහල්වල පරීක්‍ෂණ කිරීම නතර කිරීමත් ඒ බෙහෙත වෛද්‍ය සභාවෙ ලියා පදිංචි වෙදමහත්වරුන් නිර්දේශ කිරීම නැවැත්වීමත් පමණයි. ඒ බෙහෙත වෙනත් තැන්වල වෙනත් අය දීම නතර කරන්න වෛද්‍ය සභාවට බැහැ.    


ඒ අතර අදාළ වෙදමහතාටත් දේශීය වෙදමහතුන්ටත් කියන්න දෙයක් තියෙනවා. මුළු ලංකාවට ම බෙහෙත් කරන්න ඒ වෙදමහතාට පමණක් බැහැ. දේශීය වෙදමහතුනුත් තම වට්ටෝරු මුලින් ම ලැබුණෙ කොහොම ද කියල හිතනව නම් හොඳයි. අපි සෘෂිවරුන් ගැන කතා කරනවා. සෘෂින් කියන්නෙ දකින්න පුළුවන් අය. ඔවුන් දැක්කෙ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා. ඉහින් බහින ලෙඩක් නැහැ කියල අපි කියන්නෙ ඉසින් නැත්නම් සෘෂින් බහින්නෙ නැති කියන එක ද? 


අපේ වෙදකම ඊනියා අනන්‍ය වෙදකමක් නො වෙයි. ඔය රෝගය සම්බන්ධයෙන් වා පිත් සෙම් සමනය කරන්න පුළුවන් තවත් ක්‍රම ඇති. බටහිර තමයි අනන්‍ය පිළිතුරු සොයන්නෙ. බටහිර ගණිතයෙ දි සමහර  වෙලාවට විසඳුම අනන්‍ය කියලත් පෙන්වනවා.  අනන්‍යතා ප්‍රමේය කියල ප්‍රමේය තියෙනවා. මොනව වුණත් දෙවියන් වහන්සේ අනන්‍යයයි. අපට බහු දෙවා. බහු ප්‍රතිකාර. 


ඔය මොන පරීක්‍ෂණයෙනුත් අවසාන වශයෙන් කෙරෙන්නෙ හරි යනවද අගුණයක් නැද්ද කියන එක හොයා බැලීමයි. බටහිර විද්‍යාවෙදි කෙරෙන්නෙ හිතළුවක් හරි යනවා ද වැඩ කරනවා ද කියල හොයල බලන එක. මෙතන හරි කියල කතාවක් නැහැ. තියෙන්නෙ හරි යනවා ද කියන කතාව විතරයි. කිසිම පරීක්‍ෂණයක් වාස්තවික නැහැ. කොහොමත් බටහිර වෙදකමේ හරි යන එන්නතක් නිෂ්පාදනය කළොත් ඒකත් ලබා දෙමු. 


රෝගීන් එන්නෙ හරි යනව නම් පමණයි. හරි යන්නෙ නැත්නම් රෝගීන් නෑවිත් ඉඳීවි. ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් වැඩිවුණොත් බෙහත නිෂ්පාදනය කිරීමේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. බෙහෙතෙ තත්වය පහත වැටෙන්න පුළුවන්. ඒ සියල්ල ගැන බැරි වුණත් ඇතැම් දේ ගැන දේශීය වෙදමහතුන්  හිතන්න ඕන.