ඉතිහාසය අවසන් නොවීම හෙවත් සමාජයට නිවනක් නැති වීම
ෆුකුයාමා කතා කෙළේ ඉතිහාසයේ අවසානය ගැන. ඒ බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසුව. එහෙත් ඉතිහාසය අවසන් වී නැති බව හන්ටින්ග්ටන් පැහැදිලි කළා. සෝවියට් දේශය බිඳ වැටීම නිසා බටහිර රටවලට ඒකාධිකාරයක් ලැබුණේ නැහැ. සෝවියට් දේශය බටහිර රටවලට වඩා වෙනස් වුණා. ඒත් මූලික වෙනස්කම් තිබුණේ නැහැ. ලෙනින්ගේ නායකත්වයෙන් තමයි ඊනියා තුන්වැනි ජාත්‍යන්තරය ක්‍රියාත්මක වුණෙ. බටහිරත් සෝවියට් ක්‍රමයත් අවසාන වශයෙන් ජාත්‍යන්තරවාදී. එය එකම චින්තනයක බිහි වුණෙ. ෆැසිස්ට්වාදයත් ඒ චින්තනයෙමයි. බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ බිහි වුණු දේශපාලන ධාරා තුනක් ලෙසයි අපට ඒ හඳුනාගන්න වෙන්නෙ.
මා දන්නවා සමාජවාදීන් ලිබරල්වාදීන් ආදී සියළු දෙනා ම ඒ කතාවට විරුද්ධ වෙනවා. ෆැසිස්ට්වාදීනුත් විරුද්ධ වේවි. චින්තනය කියන එක මහා දාර්ශනික සංකල්පයක් නො වෙයි. එය මගේ හිතළුවක්. මා හීනෙකින්වත් දාර්ශනිකයෙක් නො වෙයි. ඒත් මා ලෝකය දිහා බලන්නෙ ඒ සංකල්පයත් ආධාර කර ගෙන. ඒක වැඩ කරනවා. ඒ වැඩ කරන තෙක් මා එය යොදා ගන්නවා. එපමණයි.
හන්ටින්ග්ටන් කතා කෙළෙ සභ්‍යත්ව ගැටුම් ගැන. ඒකත් වැඩ කරනවා. ඔහුගේ සංකල්පය අනුව අද බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය, මුස්ලිම් සභ්‍යත්වය හා චීන සභ්‍යත්වය ප්‍රධානයි. ඉතිහාසය නැවතිලා නැත්තෙ මේ සභ්‍යත්ව අතර ගැටුම් නැති වෙලා නැති නිසා. ඒත් මුස්ලිම් සභ්‍යත්වය අද ක්‍රිස්තියානි සභ්‍යත්වය විසින් මෙහෙයවනු ලබනවා. අද ප්‍රධාන ගැටුම තියෙන්නෙ බටහිර හා චීන සභ්‍යත්ව අතර. ඊයෙ චීනය හඳට රොකට්ටුවක් යැවුව. ඉස්සෙල්ල ම චන්ද්‍රිකාවක් ගුවන්ගත කෙළෙ සෝවියට් දේශයයි. ඒ මා හත්වැනි පන්තියෙ ඉගෙනුම ලබද්දි පනස්හතේ වසරෙ. ඒකට ස්පුට්නික් කියලයි කිවුවෙ. අද රුසියාව හදන්න යන කොවිඩ් 19 එන්නතටත් ස්පුට්නික් කියනවා.
ස්පුට්නික් ගුවන්ගත කිරීම මා විද්‍යාඥයකු වීමට සිතීමටත් බලපැවා. එසේ නොවන්නට මා ඉතිහාසය හා පුරාවිද්‍යාව ඉගෙන ගන්න තිබුණා. ඒත් ඒවයෙ මතක තියා ගන්න වෙන ප්‍රමාණය අධික නිසා මා ගණිතය හා ප්‍රවාදාත්මක භෞතික වි්‍යාවට ම නැවතත් යොමු වෙන්න තිබුණ. ඒක පෞද්ගලික කරුණක්. වඩා වැදගත් වෙන්නෙ ස්පුට්නික් අභ්‍යවකාශයේ දී නොව පොළොවේ ඇති කළ කලබලය. මට අවසානයේ දී විද්‍යාඥයකු වීමටත් බැරි වුණා. ඒ කිවුව කලබලය හින්ද නම් නො වෙයි.
පොළෙවේ දී එක්සත් රාජ්‍ය නැත්නම් ඇමරිකාව මහා කඩා වැටීමකට ලක් වුණා. ඔවුන් කලබල වෙලා අධ්‍යාපන විෂය නිර්දේශ පවා වෙනස් කළා. ඊනියා නව ගණිතය පාසල්වල උගන්නන්න පටන් ගත්තෙ ඊට පස්සෙ. ඔය කුලකවාදය පාසල්වල කරළියට ආවෙ ඊට පස්සෙ. කවුරු හරි දැන ගන්න ඇති සෝවියට් දේශයෙ පාසල්වල කුලක උගන්නවා කියල. කොහොම හරි පාසල්වල කුලකවාදය උගන්නන්න පටන් ගත්තෙ කුහකවාදය නිසා.
ස්පුට්නික් යැවීමට කුලකවාදයෙ සම්බන්ධයක් තිබුණ කියා මා හිතන්නෙ නැහැ. ඒක අවි තරගයෙ ම ප්‍රතිඵලයක්. සෝවියට් දේශය ආයුධ තරගයට තමයි මුල් තැන දුන්නෙ. එය දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයක්. රොකට් යැවීම ඈත සිට සතුරාට පහර දීම ආදිය වැදගත්. ඊයේ චීනය හඳට රොකට්ටුවක් යැවුවෙ හඳෙන් හාල් ගේන්න නො වෙයි. නූඩ්ල්ස් ගේන්නවත් නොවෙයි. හඳේ හරි අඟහරුගෙ හරි මිනිසුන් පදිංචි කරන්නවත් නොවෙයි. මොකට ද කියල කියන්න ම ඕන ද?
ස්පුට්නික් කතාවෙන් අවුරුදු විස්සකට විතර පස්සෙ ලංකාවෙත් පාසල්වල කුලක උගන්නන්න පටන් ගත්තා. අපේ පාසල්වල කුලක උගන්නන්න වෙලා දැන් අවුරුදු හතළිහක් විතර වෙනවා. ඒත් තාම රොකට්ටු යැවුවෙ නම් නැහැ. අප කුලකවාදය ඒ තරම් ගණන් ගන්නෙත් නැහැ. දේවානම්පිය තිස්ස රජ්ජුරුවො අපට ඒක උගන්නලා අවුරුදු දෙදහස් තුන්සීයකට වැඩියි. ඒ දවස්වල කවුරුත් විචාරශීලීයි.
ඊයේ එක පඬිනැට්ටකු කියා තිබුණා එයාට චතුස්කෝටිකය තේරෙන්නෙ නැහැ කියල. දේවානම්පිය තිස්ස රජ්ජුරුවො හිටිය නම් තේරුම් කරවල දෙන්න තිබුණා. පඬි නැට්ට කියන්නෙ චතුස්කෝටිකයෙ තුන්වැනි හතරවැනි අවස්ථා පරස්පර කියල, අසංගත කියල. කාට කියන්න ද? පඬි නැට්ට ඇරිස්ටෝටල් මත පදනම් වෙලා කියනව චතුස්කෝටිකයෙ පරස්පර විසංවාද තියෙනව කියල. මේ රටේ කසිකබල් අධ්‍යාපනයෙන් බිහිකරල තියෙන්නෙ ඒ වගේ පඬි නැට්ටන්. ඔවුන්ට උගන්නල තියෙන බටහිර දැනුමෙන් අනෙක් සියල්ල මනින්න හදනවා. මිනුම් දණ්ඩ බටහිර.
මේ සියල්ල මට මතක් වුණෙ මේ පාසල් වාරය ආරම්භ කිරීමට ගත් තීරණයත් සමග. අමාරුවෙන් පාසල් ඇරල දරුවන්ට උගන්වන්නෙ මොනවා ද? අවසානයේ දී බිහි වන්නෙ පඬි නැට්ටන් ද? පඬි නැට්ටන්ට ගමන් කරන්න පුළුවන් ද හෙලවෙන්න පුළුවන් ද චතුස්කෝටිකය නැතිව. අහවල් කාලයෙ දි අහවල් දුරක් ගිහින් කියල ඕනෑම පඬි නැට්ටකුට කියන්න පුළුවන්. ඒත් ක්‍ෂණයක දි කොච්චර දුර යනවද කියල දැන ගන්නෙ කොහොමද? ක්‍ෂණයක් කියන්නෙ මොකක් ද? නැනෝතත්පරයක් ද නැත්නම් ඊටත් අඩු කාල අන්තරයක්ද. අර ගණිතයෙ කියන අත්‍යුණකයක් කියන්නෙ මොකක් ද? ශූන්‍ය ද ශූන්‍ය නොවෙයි ද? දෙකම ද? කලනය පවතින්න පුළුවන් ද චතුස්කෝටිය නැතුව. නිවුටන් අවකලනය කෙළෙ කොහොම ද?
මා කල්පනා කෙළේ දැන් පාසල්වල උගන්වන්න ඕන මොනව ද කියල. කොවිඩ් 19 ගැන. මීටරේ දිග ගැන. මීටරය හා ප්‍රංශ විප්ලවය අතර තියෙන සම්බන්ධය ගැන. මීටරය මොකක් ද කියල තීරණය කළෙ කවුද කියන එක. මීටරය වෙනත් මිනුම් නැතිව අර්ථදක්වන්න පුළුවන් ද කියන එක. ඒ මිනුම් අර්ථදක්වන්න මීටරය ඕන ද? දේවානම්පිය තිස්ස රජු ගැන. මිිහිඳු හාමුදුරුවන් ඇසූ ප්‍රශ්න ගැන.
පාසල් ඇරඹීමට සැලැස්මක් අවශ්‍යයයි. මා නැහැ කියන්නෙ නැහැ. ඒත් ඒ සැලැස්ම හදන්නෙ කවුද? වෘත්තීය සමිති නිලධාරීන් ද? අමාත්‍යංශ නිලධාරීන් ද? මොන නිලධාරීනුත් මේ අසමත් අධ්‍යාපනයෙන් බිහි වූවන්. ඉතිහාසය අවසන් වෙන්නෙ නැහැ. සමාජයට නිවන් සම්මාබෝධයක් නැහැ. සත්වයන්ට නම් අවසන් වෙන්න පුළුවන්. ඒක දැනුමක් නොවෙයි. එබැවින් විශ්වාසයකුත් නො වෙයි. අපට වැදගත් දැනුම අවසන් කරන්නේ කොහොමද කියන එක. අනෙක් අය කතා කරන්නේ දැනුම ආරම්භ වන්නේ කොහොමද කියන එක.