Main Logo

Sunday 29 November 2020

දොවාල් ඉන්දියාව එංගලන්තය හා දෙමළ ජාතිවාදය

 දොවාල් ඉන්දියාව එංගලන්තය හා දෙමළ ජාතිවාදය


අජිත් කුමාර් දොවාල් ලංකාවට පැමිණියේ  ඇයි? ඔහු මෙහි දී හමු වුණේ කවුරුන් ද? ඒ පිළිබඳ එතරම් දෙයක් නිල වශයෙන් දැන ගැනීමට නැහැ. සමාජ මාධ්‍යයෙන් ද එතරම් දෙයක් දැන ගන්න නැහැ. ඔහු අගමැති මහින්ද රාජපක්‍ෂ හමු වූ බවත් කොවිඩ් 19 හමුවේ කඩා වැටෙන ආර්ථිකය ගොඩ ගැනීමට කලාපයේ අනෙක් රටවලට නායකත්වය දෙන ලෙසත් ඉල්ලා සිටි බවත් කියැවෙනවා. 


අජිත් දොවාල් කියන්නෙ ලංකාවට අමුත්තෙක් නො වෙයි. ලංකාවෙ බොහෝ දෙනකු කොළඹට පැමිණ ඇති වාර ගණනට වඩා ඔහු කොළඹ ඇවිත් ඇති. ඔහු ඉන්දියාවෙ අගමැතිගෙ ජාතික ආරක්‍ෂාව පිළිබඳ විශේෂ උපදේශක. කලාපයේ ආර්ථිකය ගොඩ ගැනීම ඉන්දියාවෙ ජාතික ආරක්‍ෂාවත් එක්ක බැඳිල ඇති. අපි නොදන්න ආරක්‍ෂාව. අජිත් දොවාල් අගමැති හමු වූ බවක් සඳහන් වුණත් ජනාධිපති හමු වූ බවක් කියැවෙන්නෙ නැහැ. කොහොමත් එතරම් දෙයක්  නිල වශයෙන් කියැවෙන්නෙ නැහැ. ඒ ලංකාවෙ ආරක්‍ෂාව වෙනුවෙන් ද නැත්නම් ඉන්දියාවෙ ආරක්‍ෂාව වෙනුවෙන් ද? 


ආණ්ඩුව නිල වශයෙන් කියන දේත් සමහර විට පිළිගැනීමට අපහසු වෙන අවස්ථා තියෙනවා. පිටරටින් ලංකාවට එන අයට මේ දිනවල හෝටල්වල නිරෝයාධනය  වෙන්න පුළුවන්. මියන්මාරයෙනුත් කිහිප දෙනකු ලංකාවට ගිහින් තියෙනවා. ආණ්ඩුව නිල වශයෙන් කියා ඇත්තේ හෝටලයක තනි කාමරයක් සඳහාඅය කළ හැකි උපරිම මුදල රුපියල් 7500ක් බවයි. එහෙත් හෝටල්වල රුපියල් 12500ක් අය කෙරෙනවා. එක්කෝ නිලධාරීන් ආණ්ඩුවට නිවැරදි වාර්තා දෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් නිලධාරීන්ට ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කරවන්න බැහැ. කොහොමටත් එය හැමදා හැම ආණ්ඩුවකට ම තිබූ  ප්‍රශ්නයක්.  ආණ්ඩුව නියම කරන මිලට වෙළෙඳපොළේ බඩු ගන්න බැහැ. 


අනෙක් ආණ්ඩුවලට කොහොම වෙතත් මේ ආණ්ඩුවට තමන් කියන දේ කරන්න පුළුවන් කියන එක ජනතාවට ඒත්තු ගන්නන්න අවශ්‍යයි. මේ ආණ්ඩුව ගැන ජනතාවගේ විශේෂයෙන් ම සිංහල ජනතාවගේ බලාපොරොත්තු රාශියක් තියෙනවා. ඒ සියල්ල ඉටු කිරීමට බැරි වුණත් යම් ප්‍රමාණයක් හරි ඉටු කරන්න ඕන. අජිත් දොවාල්ගෙ ගමන අපට වැදගත් වන්නෙ මේ වටාපිටාවෙයි. 


ජාත්‍යන්තර දේශපාලනයෙ කටයුතු සිද්ධ වෙන ආකාරය ගැන බොහෝ දෙනකුට දැනුමක් නැහැ. මෙය ලොකු ප්‍රශ්නයක්. ලෝකයේ කිසිම ආණ්ඩුවක් තමන් ජාත්‍යන්තරයෙ කරන සෑම දෙයක් ම ජනතාවට කියන්නෙ නැහැ. අපට කියවන්න ලැබෙන ඒකාබද්ධ ප්‍රකාශ ආදියෙන් බොහෝ වෙලාවට වැදගත් දෙයක් නිවේදනය වන්නෙ නැහැ. අජිත් දොවාල් ගැන එහෙමවත් දෙයක් නැහැ. 


බුදුහාමුදුරුවන්ට කිඹුල්වත් නුවරින් හැමූ සුළඟෙ සනීපයක් දැණුනා. උන්වහන්සේ පංචශිඛගෙ වාදනය අගය කළා. ඉතින් මොක ද? උන්වහන්සෙ ඒ කිසිවක ඇලුණේ නැහැ. පෘථග්ජනයන් අගය කිරීමෙන් නතර වෙන්නෙ නැහැ. ලෝභ ද්වේෂ මෝහ සිත් ඇති කර ගන්නවා. ඇලෙනවා. මේවා බෞද්ධ පවුල්වල ඉපදිලා කසිකබල් ද්‍රව්‍යවාදී මාක්ස්වාදී අදහස්වලින් මුල් සිඳගත් අය නොදන්නවා වෙන්න පුළුවන්. ඒත් අනෙක් අය ඒව දන්නවා.  අපටත් ඉන්දියාවෙන් එන සුළං ගැන විවිධ සිත්  ඇතිවෙනවා. දොවාල්ගෙ ගමන ගැනත් විවිධ සිත් පහළ වෙනවා. අපට නිවන් සම්මාබෝධයට තව කල් යාවි. 


නිල වශයෙන් යමක් කියැවිලා නැති නිසා දොවාල්ගෙ ලංකා ගමන ගැන අපට කරන්න පුළුවන් හිතළු කියන්න පමණයි. මේ ඉල් පොහොය සමයයි. මියන්මාරයෙත් කඨින චීවර පූජාව පැවැත්වෙනවා. මේ පොහායෙ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සෙ නියත විවරණ ලැබුවෙ. මෛත්‍රි බෝසතාණන් වහන්සේ නාථ දෙවියන් ලෙසත් හඳුනාගෙන තිබීම පඬි නැට්ටන්ට ප්‍රශ්නයක් ද? ඒ මොකක් වුණත් ඉල් පොහොයට දින කිහිපයකට ඉස්සෙල්ල චීනය ආසියාන් රටවල් දහයත් දකුණු කොරියාව, ජපානය, ඕස්ත්‍රේලියාව හා නවසීලන්තයත් එක්ක වෙළෙඳ ගිවිසුමක් අත්සන් කළා. ඒ රටවල් පහළොව ලෝකයේ විශාලතම වෙළෙඳ හවුල වෙනවා. එය හඳුන්වන්නෙ කලාපීය  පරිපූර්ණ ආර්ථික හවුල (Regional Comprehensive Economic Partnership  - RCEP)    ලෙස. 


චීනය මේ කලාපයේ වෙළෙඳ බලවතා. ඔවුන්ට ආර්ථික හයියක් තියෙනවා. දේශපාලන වශයෙන් නම් මතභේද තියෙනවා. එහෙත් ඉන්දියාව මේ හවුල ගැන බියක් දක්වනවා නම් ඔවුන්ගෙ පැත්තෙන් සාධාරණයි. ඉන්දියාවට අද අවශ්‍ය වෙනවා වෙනත් ආර්ථික හවුලක් ගොඩ නගන්න. මට හිතෙන්නෙ දොවාල් මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලන්නෙ මේ හවුල ගොඩ නගන්න නායකත්වය දෙන්න කියල. 


අප කියන්න ඕන නැහැ දොවාල්ට කරදර නොකර යන දේවාලෙක යන්න කියල. ඉන්දියාවට දැන් තමයි අප මතක් වෙන්නෙ. සාක් රටවල් කියල තිබුණට ඉන්දියාව ඒ ගැන කිසිවක් කෙළේ නැහැ. සාක් අද පාක් කරල, සිංහලෙන් කියනව නම් සාක් කොටඋඩ. ඉන්දියාව මෙතෙක් හැසිරුණෙ ඉන්දියන් සාගරය පනික්කාර් කියපු විධියට ඉන්දියාවෙ සාගරය කියල හිතාගෙන. ලංකාව සම්බන්ධයෙන් දෙමළ ත්‍රස්තවාදීන් උපයෝගී කර ගෙන අප ඉන්දියාවෙ ප්‍රාන්තයක් කර ගන්න හැදුව. ත්‍රස්තවාදීන්ට ආධාර කළා. ඉන්දු ලංකා ගිවිසුමක් බලෙන් අප මත පැටෙවුවා. 


එහෙත් ඉන්දු ලංකා ගිවිසුම ඒ දිනවල ම අවලංගු වුණා. ගිවිසුම අනුව ඉන්දියාව කොටි නිරායුධ කරන්න ඕන. එහෙත් ඉන්දියාව එසේ කළේ නැහැ. ඒ කියන්නෙ ගිවිසුම අවලංගු කියන එකයි. ගිවිසුමෙන් කියවුණෙ නැති වුණත් ඉන්දියාව පළාත් සභා අපට බලෙන් දුන්නා. පසුව අපේ හමුදා කොටි පරාජය කරන විට අහක බලං හිටිය කියල ඒකෙ හිලවුවට 13+ දෙන්න කිවුව. අදත් දෙමළ ජාතිවාදය මෙරට දේශපාලන වශයෙන් පරාජය කෙරී තිබුණත් ජාත්‍යන්තරයෙ පවතින්නෙ ඉන්දියාව හා එංගලන්තය නිසයි. දෙමළ ජාතික සංධානයෙ වෙල්ලාල නායකයන් ඈණුමක් ගියත් ඉන්දීය මහා කොමසාරිස් හමුවෙන්න යනවා. 


අද ඉන්දියාව වගේ ම එංගලන්තයත් ආර්ථික වශයෙන් දුර්වලයි. ඒත් ඔවුන් ඒක පෙන්නන්නෙ නැහැ. ඔවුන් තවමත් සිංහල විරෝධීව දෙමළ ජාතිවාදයට අනුබල දෙනවා. පහුගිය දා එංගලන්තෙ ඉන්න දෙමළ ජාතිවාදීන් ඊනියා මහාවීර් හෙවත් මහාමෘග දිනයේදී වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවට ඔවුන්ගෙ මලත් පණිවුඩයකුත් රැගත් රූපයක් ප්‍රක්‍ෂෙපණය කළා. එය එංගලන්ත ආණ්ඩුවෙ අවසරයක් නැතිව කරන්න පුළුවන් දෙයක් නො වෙයි. 


දොවාල්ගෙ ආර්ථික කලාප යෝජනාවට එංගලන්තයත් සහාය දෙනව ඇති. ඔවුන්ට චීනයට විරුද්ධව ආර්ථික හා දේශපලනික හවුලක් ගොඩ නගන්න අවශ්‍යයි. අප ඉන්දියාවටත් එංගලන්තයටත් කියා හිටින්න ඕන ඔවුන්ගෙ යෝජනා සලකා බැලීමට නම් පළමුව දෙමළ ජාතිවාදය ඔසොවා තැබීම නතර කරන්න කියා. ඉන්දු ලංකා ගිවිසුම අවලංගු වූ ගිවිසුමක් බව පිළිගන්න කියා. පළාත් සභා හා 13+  ගැන කතා කිරීම නවත්තන්න කියා. 


අප ඉන්දියාවේ යටත්විජිතයක් නොවෙයි. මේ කලාපය ඉන්දියාවේ කලාපයක් නො වෙයි. අප ඉන්දියාවේ යෝජනා සලකා බැලීමට නම් පළමුව ඔවුන් අපේ යෝජනා ක්‍රියාත්මක කරන්න ඕන. යෝජනා කියන්නෙ දිල්ලියෙන් කොළඹට එන ඒවා විතරක් නොවෙයි. කොළඹිනුත් දිල්ලියට යෝජනා යවන්න පුළුවන්.