Main Logo

Wednesday, 4 November 2020

මා කැලණි ගිය හැටි

 මා කැලණි ගිය හැටි


අද එක්සත් රාජ්‍යවල මීළඟ වසර හතරේ ජනාධිපති කවුද කියා දැන ගන්නට හැකි වේවි. මුළු ලෝකය ම අර්බුදයකට ගිහිල්ල ඉන්න වෙලාවක, බටහිර ක්‍රූිස්තියානි නූතනත්වය කඩන් වැටිල ඕන එකක් වෙන්න පුළුවන් කියන එක ඊනියා යථාර්ථය බවට පත්වෙලා තියෙන වෙලාවක ඕන කෙනෙක් ජනාධිපති වෙන්න පුළුවන්. ජනාධිපති කෙනකු පත් නොවීමත් අර ඕන එකක් වෙන්න පුළුවන්. කිසිවකුටවත් ඡන්ද මණ්ඩල 270ක් නොලැබුණොත් මොකද වෙන්නෙ. කොංග්‍රසය තීරණය කරනවා ද? ඒක හරි ද? මොකක් වුණා ම මොක ද?  මොකක් හරි වෙයි. 


බටහිරයන් අවුරුදු පන්සීයක් පමණ දැඟලුවෙ වෙන්න යන එක හරියට ම කියන්න. ඒ ගැන එක් එක් අයගෙ කයිවාරුත් තියෙනවා. ඒත්  ඒක එහෙම බැහැ කියල ක්වොන්ටම් භෞතිකයෙන් තේරුම් ගියා. බටහිර දර්ශනය අද කඩන් වැටිල. භාෂා විශ්ලේෂණයට කඩා වැටුණු බටහිර දර්ශනය අද භාෂාවත් නැතුව ඕන එකක් වෙන්න පුළුවන් කියන එක තමයි ඊනියා යථාර්ථය කියන තැනට කඩා වැටිල.   ක්වොන්ටම් කතන්දර මැතිවරණ දේශපාලනයට අදාළ නැහැ. ඒත් අපි මෙහෙම අහමු ද ට්‍රම්ප් නැවත ජනාධිපති වීමේ සම්භාවිතාව මොකක් ද? දැන් මේකත් මිනුමක් වගේ දෙයක්. හවස් වෙන කොට බලමු. 


එතෙක් මට අතපසු වෙච්ච කතාවක් තියෙනව කියන්න. ඒ කැලණියේ මට රැකියාව ලබා ගැනීමේ දී විවිධ පුද්ගලයන්ගෙ දායකත්වය. කවුරුත් දන්නා පරිදි මට කොළඹ රැකියාව නැති කිරීමට මුල් වුණෙ ජී එල් පීරිස්.  ඔහුට අද මහා බැංකුවේ අධිපති ඩබ් ඩී ලක්‍ෂමන්, විමලසේන ඈපාසිංහ, වී කේ සමරනායක, අරුල්ප්‍රගාසම් ආදීන් ද එකතු වුණා. ඔවුන් කිසිවකුටවත් ජාතික චින්තන මතවාදය රිස්සුවේ නැහැ. 


1992 දී, රැකියාව අහිමි කිරීමට පෙර ඊනියා ගෘහස්ථ පරික්‍ෂණයක් පැවැත්වූවා. එහි දී මා වෙනුවෙන් එකල විවෘත විශ්වවිද්‍යාලයේ සේවය කළ අර්ජුන සොයිසා සහභාගි වුණා. ජී එල් ලා සැලසුම් කර තිබූ පරිදි ම මට රැකියාව අහිමි වුණා. එයට විරුද්ධව මා කම්කරු උසාවියේත් මහාධිකරණයේත් අවසානයේ ශ්‍රෙෂ්ඨාධිකරණයේත් නඩු කිවුවා. එහි දී මා වෙනුවෙන් එස් එල් ගුණසේකර, තිස්ස යාපා හා කනිෂ්ක විතාරන යන නීතිඥවරු නොමිළයේ පෙනී සිටියා. කොළඹ ආචාර්ය සංගමයවත්, කොළඹ විද්‍යා ආචාර්ය සංගමයවත්, ආචාර්ය සමිති සම්මේලනයවත් ඒ සම්බන්ධයෙන් කිසිම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ගත්තේ නැහැ. පියසීලි විජේගුණසිංහ, අර්ජුන පරාක්‍රම වැනි අතැඟිලිවලින් ගිණිය හැකි පිරිසක් පෞද්ගලික ව විරෝධය පළ කළා. මහා විප්ලවවාදී   ජයදේව උයන්ගොඩ මට විරුද්ධ ව ජී එල්ලා සමග එකතු වුණා. නිවුටන් ගුණසිංහ, ජෝර්ජ් කුරේ, අමල් ජයවර්ධන, එදිරිසිංහ වැනි වාමාංශිකයන් හිටියෙත් ජී එල්ගෙ පැත්තෙ. ඒ වමත් දකුණත් පොදුවේ ගත්ත ම එකතු වූ අවස්ථාවක්, ඒ විතරක් නොවෙයි. ජාතික චින්තක කණ්ඩායමට බලය තිබූ කොළඹ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් ක්‍රියා මාර්ගයක් ගත්තෙත් නැහැ. ඒ ගැන මට වඩා දන්න අය ඉන්නවා.  


ඒ අතර මා විශ්වවිද්‍යාල කිහිපයක ම ගණිත මහාචාර්ය තනතුර සඳහා ඉල්ලුම් කළා. ඒ එකකින්වත් මට පත්වීමක් ලැබුණෙ නැහැ. පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයෙ ගණිතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයක්වත් මට ලැබුනෙ නැහැ. එහි සම්මුඛ පරීක්‍ෂණය පැවැත් වූ මණ්ඩලයේ මගේ පේරාදෙණි ශිෂ්‍යයකු ද සිටියා. ඔහු දැන ගෙන ඉන්න ඇති මා දක්‍ෂ ගුරුවරයකු නොවන බව. 


එසේ විශ්වවිද්‍යාලවලින් මා ප්‍රතික්‍ෂෙප කිරීම පිළිබඳ ව මා ඒ ඒ විශ්වවිද්‍යාලවලට වීරුද්ධ ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අභියාචනා මණ්ඩලයට ගියා. සමහර විශ්වවිද්‍යාල මගේ ඉල්ලුම්පතවත් සලකා බැලුවේ නැහැ. අභියාචනා මණ්ඩලය හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත වුණා. මා නීතිඥයකු නැති ව ම අභියාචනා මණ්ඩලය ඉදිරියේ පැමිණිලි ඉදිරිපත් කළා. අභියාචනා මණ්ඩලය අදාළ විශ්වවිද්‍යාලවලට මගේ ඉල්ලුම්පත් සලකා නීති රීති අනුව කටයුතු කරන ලෙස නියෝග කළා. 


උසාවි නඩුවලින් කම්කරු උසාවිය තීරණය කළා චෝදනා දෙකකට හැරෙන්න අනෙක් චෝදනාවලට මා නිවැරදිකරු කියා. ඒ චෝදනා දෙක වුණේ මා දිවයින පුවත්පතට හා අයිලන්ඩ් පුවත්පතට අනු දෙකේ අනූ තුනේ කාලෙ උසස් අධ්‍යාපන ඇමති හමිඩ් බොරු කියා ඇති බව කීම. විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම පිළිබඳ ඔහු වැරදි ප්‍රකාශයක් කර තිබුණා. මා එය අසත්‍ය බව පුවත්පත්වලට කියා තිබුණා. ඒ ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ලෙසත්. උසාවිය ඒ චෝදනා සම්බන්ධයෙන් මා වැරදි යැයි වැරදියට තීරණය කරා (අසත්‍ය ප්‍රකාශයක් සත්‍ය කියා කියන්න බැහැ. අනෙක් අතට මා මගේ ප්‍රකාශය කෙළෙ වෘත්තීය සමිති නිලධාරියකු ලෙස). එහෙත් මට ලක්‍ෂ හතක් ගෙවන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයට නියෝග කළා. 


කොළඹ විශ්වවිද්‍යාලය කම්කරු උසාවියේ තීරණයට විරුද්ධ ව මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. මහාධිකරණය මා මුළුමනින් ම වැරදි බව තීරණය කළා. අර ලක්‍ෂ හත ගෙවීමත් අවලංගු කළා. පිස්සු පුසකුවත් එවැනි තීරණයකට එළඹෙන එකක් නැහැ. මා ඒ තීන්දුවට විරුද්ධ ව ශ්‍රෙෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. සරත් සිල්වා ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයේ සභාපති වුණා. විනිශ්චය මණ්ඩලය රුපියල් ලක්‍ෂ පහක් ගෙවන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයට නියෝග කළා. ඒ අගය තීරණය කරන්නේ කෙසේදැයි මා අද වන තුරුත් දන්නේ නැහැ.  එය ලක්‍ෂ හතේ හා බිංදුවේ මධ්‍ය අගයත් නොවෙයි. 


1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවක් පත් වුණා. එහි උසස් අධ්‍යාපනය මගේ පාසල් මිතුරකු වූ ඉන්දික ගුණවර්ධනට භාර වුණා. ඔහු කළ යුතු පරිදි ම මගේ නෙරපීම ගැන මැදිහත් වුණේ නැහැ. පාර්ලිමේන්තුවේවත් කිසි ම ප්‍රශ්නයක්වත් නැගුණේ නැහැ. දිනේෂ් ගුණවර්ධනත් මැතිවරණයෙන් පරාජය වී සිටියේ. අනූහතරෙ මැතිවරණයේ දී මාත් චන්ද්‍රිකාලට විරුද්ධව කළුතර තරග කළා. මට මුළු දිස්ත්‍රික්කයෙන් ම මනාප පන්දාහක් පමණයි ලැබුණේ. ඒක මා මුහුදට තල්ලු කිරීමක් වගේ වැඩක්. ඒ ඡන්දදායකයන්ගේ මුණුබුරන් පහුගියදා පාණදුරා වෙරළෙන් තල්මසුන් මුහුදට දමනු මා දුුටුවා. ගෝනගල මේ සියල්ල ඇත මුහුදේ ඉඳන් බලා ඉන්නවා. 


චන්ද්‍රිකා ජී එල් මංගල ඇතුළු පිරිස් අර සිංහල විරෝධී පැකේජය ගෙන ඒමට කටයුතු කළා. ඔවුන් සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගියා.  1996 දී පමණ දේශප්‍රේමි භික්‍ෂු සංගමය, රුහුණු රට භික්‍ෂු සංගමය හා චින්තන පර්ෂදය එක් වී කළුතර බෝධින් වහන්සේ අසළ සිට කතරගම දක්වා පාද යාත්‍රාවක් සංවිධානය කළා. බෙංගමුවේ නාළක හිමියන් හා ඕමාරේ කස්සප හිමියන් එයට නායකත්වය දුන්නා. වෛද්‍ය කමලදාස සියළු කටයුතු සංවිධානය කළා. එකල ගෙවිඳුලා චින්තන පර්ෂඳයෙන් ඇත් වෙලා හිටියේ. ගුණදාස අමරසේකර කළුතරට ඇවිත් පන්සිල් සමාදන් වෙලා ආපහු ගියා. පා ගමනේ දී කස්සප හිමියන්ගේ පාදවල දියපට්ටා මතු වුණා. උන්වහන්සේ පාද බැඳ ගෙන වැඩම කළ හැටි මට තවමත් මතක් වෙනවා.


මේ පාද ගමන් හා පසුව සංවිධාන කළ රිය පෙරහැර මුහුදු චාරිකාව වගේ ම නාළක හාමුදුරවන්ගේ යෝජනාවකට අනුව පිහිටුවනු ලැබූ  ජාතික ඒකාබද්ධ කමිටුවට එ ජා පාක්‍ෂිකයන් හා හිතවතුන් ද සහාය දුන්නා. ඔවුන් ජාතිකත්වයක් තිබූ එ ජා පාක්‍ෂිකයන් හා හිතවතුන්. දකුණු පළාත් සභාවේ නිළමේ ද ඉන් එක් අයෙක්. මේ ගමන්වල දී මට හමුවුණු එ ජා ප හිතවතුන් අතර ඇඹිලිපිටියේ ව්‍යාපාරිකයකු වූ සරත් අබේසිංහ ද හිටියා. ඔහු මගේ රැකියාව ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්යයක් කළා.


ප්‍රතිපාදන කොමිසමේ අභියාචනා මණ්ඩලය මගේ ඉල්ලුම් පත සලකා බැලීමට නියෝග කිරීමෙන් පසුව කැලණිය හා තවත් විශ්වවිද්‍යාල මා සම්මුඛ පරික්‍ෂණවලට කැඳවා තිබුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ පරීක්‍ෂක මණ්ඩලයේ පේරාදෙණියේ රසායන විද්‍යාව හදාරා පසුව නීතිඥයකු වූ ද එ ජා ප මන්ත්‍රීවරයකු වූ ද කුරුණැගල බණ්ඩාර මා වෙනුවෙන් කතා කළා. ඔහු ගණිතය කරල තිබුණෙත් නැහැ වමේ හිටියෙත් නැහැ. ඒක හොඳට හිටින්න ඇති. ඔහු කැලණිය පාලක මණ්ඩලයේ ද සාමාජිකයකු වුණා. 2002 දී කැලණිය පාලක මණ්ඩලය තීරණය කර තිබුණා මා විශ්වවිද්‍යාලයට සහාය මහාචාර්යවරයකු ලෙස බඳවා ගැනීමට. ඔවුන් පසුව මා මහාචාර්යවරයකු කළා.


සහාය මහාචාර්යවරයකු කිරීම වැරදි තීරණයක්. මහාචාර්ය තනතුරට ඉල්ලුම්පත් කැඳවා සහාය මහාචාර්යවරුන් පත් කරන්න බැහැ. ඔවුන්ට තිබුණේ මා මහාචාර්ය තනතුරට සුදුසු නැහැ කියා මගේ ඉල්ලුම් පත ප්‍රතික්‍ෂෙප කිරීම. එහෙම වුණා නම් මා ආයෙත් නඩු කියනවා. එහෙත් තවත් ප්‍රශ්නයක් තිබුණා. මා විශ්වවිද්‍යාලයකින් නෙරපනු ලැබූ අයකු නිසා වෙනත් විශ්වවි්‍යාලයකට බඳවා ගැනීමේ ද ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලබා ගන්න ඕන. කැලණිය විශ්වවිද්‍යාලය ඒ සඳහා ප්‍රතිපාදන කොමිසමට ලියූ මුත් කොමිසම තීරණයක් නොගෙන කල් මැරුවා.  එකල සභාපති වූයේ දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්ය මෙන්ඩිස්. 


මෙහි දී මැදිහත් වූ පුද්ගලයන් දෙදෙනකු හිටියා. එක් අයකු දිනේෂ් ගුණවර්ධන. අනෙක් තැනැත්තා සරත් අබේසිංහ. දිනේෂ් 2001 දී නැවත මන්ත්‍රීවරයකු වෙලා. අගමැති රනිල්. උසස් අධ්‍යාපන ඇමති කබීර් හෂිම්. ප්‍රතිපාදන කොමිසම කල් මැරීම පිළිබඳ ව ම එ පෙරමුණෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරුණා. උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව රැස්වූ අවස්ථාවේ දී දිනේෂ් ගුණවර්ධන ප්‍රශ්නය මතු කළා. කබීර් හෂීම් ප්‍රතිපාදන කොමිසමට දැන්වුවා වහාම තීරණයක් ගන්න ලෙස. 


සරත් අබේසිංහ මැදිහත් වුණේ එ ජා ප හිතවතකු ලෙස ප්‍රශ්නය කබීර් හෂිම් වෙත ගෙන යෑමේ දී. සරත්ගේ පුතා පසුගිය දවසක කියා තිබුණු අන්දමට සරත්ට කබීර් හෂීම්ගෙන්වත් කබීර් හෂීම්ට රනිල්ගෙන්වත් විරුද්ධත්වයක් පළ වී නැහැ. මේ සියල්ල ලියා තැබීම වැදගත් කියා හිතුනා.