Main Logo

Wednesday 11 November 2020

ඇරිස්ටෝටල්ට කොවිඩ් උණ හැදිල

 ඇරිස්ටෝටල්ට කොවිඩ් උණ හැදිල 


රාජිනී ජයසිංහ නමැත්තියකගේ නමින් බොරුව හෙළා දකින කථිකාචාර්යවරුන් පිරිසක් විසින් යැවෙන විද්‍යුත් ලිපියක් මටත් ලැබුණා. මට විද්‍යුත් ලිපිය ලැබී තිබුණේ මා කැලණිය විශ්වවිද්‍යාලයේ දී  ලබා ගත් ලිපින දෙකකට. මෙය කැලෑ පත්තරයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. බොරුව හෙළා දකින කථිකාචාර්යවරුන් නොව උගතුන් ලංකාවේ ඉන්නේ ඉතා සීමිත පිරිසක්. ඔවුන් තම නමින් ප්‍රකාශයක් කිරීමට තරම් ශක්තියක් තියෙන අය. ඒ කැලෑ පත්තරයේ ඇති බොරුව හෙළා දකින්නන්ගේ බොරු අතර චන්නට ගෞරව උපාධියක් (පන්ති සාමාර්ථයක්) නැති බවත් චන්නගේ නිබන්ධනය ලිව්වේ චන්න නොව වෙනත් අයකු බව මා පවසා ඇති බවත් සඳහන් වෙනවා. ඒ දෙක ම බොරු.

 


මේ කොන්දක් නැති අය චන්නට විරුද්ධ වන්නේ චන්න බටහිර වෙදමහතකුව සිටියදීත් යම් පමණකින් හරි දේශීය දැනුම අගය කරන නිසා. බටහිර වෙදකම ඇතුළු බටහිර විද්‍යාවත් වෙනත් බටහිර දැනුමුත් ලබාගත්තවුන්ගෙන් අති මහත් බහුතරය දීනයන්. මා අවුරුදු හැටක පමණ කාලයක් තිස්සේ ඔවුන් ගැන  දන්නවා. බටහිර දැනුමට එල්ල කරන පහර ඔවුන්ට වදිනවා. ඔවුන් කෝප වෙනවා. කැලෑ පත්තර ලියනවා. කැලෑ පත්තර කාරයන් මා දින කිහිපයකට පෙර චන්න ගැන ලියූ ලිපිය කියවනවා නම් හොඳයි. මට මතක් වන්නේ මහෞෂධ පඬිතුමන් කේවට්ටයාට කළ දේ. ඒ පිටුපස විරුද්ධ දේශපාලනඥයන් ඉන්නත් පුළුවන්. 


බටහිර උගතුන්ට කරන්න පුළුවන් එක ම දේ වැමෑරීම සඳහා බටහිරින් පොතක් සඟරාවක් පත්‍රිකාවක් එනතුරු බලා සිටීම පමණයි. තමන්ගේ ම වූ දැනුමක් සංස්කරණය කරන්න ඔවුන්ට බැහැ. ඒ ඔවුන් හැදී වැඩී ඇත්තේ එක් චින්තනයක් පදනම් කර ගත් සංස්කෘතියක වීමත් බටහිර දැනුම හැදී වැඩී ඇත්තේ වෙනත් චින්තනයක් පදනම් කරගත් සංස්කෘතියක වීමත් නිසා. ඔවුන් හිතා ඉන්නේ නම් තමන් දෙවැනි සංස්කෘතියේ කියා. එහෙත් ඔවුන් එහි ආගන්තුකයන්. ඉංගිරිසි ටිකක් කට ගාගත් පමණින් ඒ චින්තනයට ඇතුල් වෙන්න බැහැ. ප්‍රංශ කටගාගත්තත් බැහැ. ඔය චන්ද්‍රිකා දිහා බලන්න. ඔවුන්ට පුළුවන් වැමෑරීම පමණයි. 


අද බටහිර දැනුම කඩා වැටිලා. ඒ බටහිර වෙදකමේ පමණක් නොවෙයි ඔවුන්ගේ ඉහළ ම ක්‍ෂෙත්‍රය වන බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාවේත් (Theoretical Physics). එහි කිසිම වර්ධනයක් නැහැ. අර තන්තුවාදය (String Theory) කියන එකට සිදුවෙලා තියෙන්නේ මහත තන්තුවකින් බෙල්ල හිර කර ගැනීම පමණයි. ඔවුන් අඳුරු ද්‍රව්‍ය (Dark Matter) හා අඳුරු ශක්තිය (Dark Energy) ගැන අඳුරේ අතපාත ගාන්න වෙලා දැන් අවුරුදු සීයකට ආසන්නයි. ඔවුන් ඉඳහිට කළුකුහර යැයි කියමින් පිරිද්දූ ඡායාරූප ටිකක් පෙන්නනවා. මෙරට උගතුන් ආ මෙන්න කළුකුහරයක් කියමින් උඩ පනින්නේ කුඩා දරුවන් මෙන්. මට බටහිර භෞතික විද්‍යාඥයකු වීමට නොහැකි වීම ගැන කිසිම කණගාටුවක් නැහැ.  


අද ලෝකයේ කොවිඩ් උණක් තියෙනවා.   ඒ කොවිඩ් නිසා හැදෙන උණක් නොව, කොවිඩ් වටා හැදෙන උණක්. ඔන්න බේතක් එනවා ඔන්න එන්නතක් එනවා කිය කියා ලෝකයන් කෑ ගහනවා. ඔවුන් හොඳයි චතුර අල්විස්ගේ ලෝකය හා ලෝකයෝ වැඩ සටහනට. ඔය එන්නත් ඔවුන්ගෙ බටහිර වෙදකම අනුව පරීක්‍ෂා කරල ද?  


කොවිඩ් පාලනයට බටහිර වෙදකම කිසිම දෙයක් නිර්දේෂ කරන්නේ නැහැ.  බටහිර වෙදමහත්තුරු අත් හෝදනවාට  අමතර ව කියන්නේ මොනවා ද? කොවිඩ් අලුත්ගේගේ මිනිසුන් බිය වද්දන පරණ කතා ද? මෙරට මේ තරමට හරි කොවිඩ් පාලනය කෙරෙන්නේ දේශපාලන හා පරිපාලන තීන්දු මගින් මිස සෞඛ්‍ය තීන්දු මගින් නො වෙයි. කවුද කියල තිබුණා බටහිර වෙදමහත්තුරුන්ගෙ වැඩ හමුදාව නොකළ යුතුයි කියල. අද බටහිර වෙදමහත්තුරු කරන්නෙ හමුදාවෙ හා පරිපාලනයෙ වැඩ විතරයි. අත් ඔසවන්, නැහැ අත් හෝදන්, මීටරේ තියා ගනින්, මේවා කියන්න හා අනුගමනය කරවන්න බටහිර වෙදමහත්තුරුන්ට වඩා ත්‍රිවිධ හමුදාවට පොලීසියට සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ට පුළුවන්. 


මෙරට කොවිඩ් අවුල් වෙන්න පටන් ගත්තෙ අනිල් ජාසිංහ ගිය දවසෙ ඉඳන් නොවෙයි. බටහිර වෙදමහත්තුරු කොවිඩ් ගැන දැනුම හරහා මැදිහත් වෙන්න පටන් ගත්ත දවසෙ ඉඳන් ද කියල අහන්න වෙනවා. කොවිඩ් පරිපාලන ප්‍රශ්නයකින් සෞඛ්‍ය ප්‍රශ්නයකට මාරු වුණු දවසෙ ඉඳන් ද කියල අහන්න වෙනවා.  අද මිනිසුන් කොවිඩ් 19ට බයයි. ඒක මාරාන්තිකයි කියල හිතන අය ඉන්නවා. ඒ හැදෙන එක ලැජ්ජාවක් කියල හිතනවා. කොවිඩ් නිසා කී දෙනකු සිය දිවි නසාගෙන තියෙනවා ද?  මේ තත්වයට ජනමාධ්‍යවේදීනුත් වග කියන්න ඕන. ඔවුනුත් අන්තිමට ගත්ත ම බටහිර උගතුන්. 


මෙල්බර්න් නුවර හා වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් පාලනය කරල කියනවා. එය දැඩි පරිපාලන නීති යටතෙ කෙරුණක් කියන එකයි මගේ වැටහීම. වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති ආඥාදායකයකු ලෙසත් හැඳින්වුණා. ඔහුගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ අයත් හිටියා. එහෙත් දැනට ඔහු දිනුම්. ලංකාවේ එවැනි ම ප්‍රතිපත්ති අනුගමනය කරන්න බැහැ. අපේ රටේ ජනතාවගෙන් ඉතා විශාල පිරිසක් එදිනෙදා හම්බකරන් කන අය. ඔවුන් මාසයක් ගාල් කරන් ඉන්න බැහැ. 


කොවිඩ් පාලනය කරන්න දැන්වත් දේශීය වෙදකමට දේශීය දැනුමට යොමු වෙන්න. වෙන් කිරීම කියන එක අපට මහ දෙයක් නොවෙයි. කොවිඩ් දෙයියන්නෙ ලෙඩක් පමණක් යැයි කලින් ම කියන්න තිබුණෙ. අපේ රටේ මිනිසුන් දෙයියන්නෙ ලෙඩට පුරුදුයි. කොහෙද බටහිර උගතුන් අහාවි දෙයියන්ට හරි අමනුෂ්‍යයන්ට හරි ලෙඩ හදවන්න පුළුවන් ද කියල. අර කළු කුහරයෙ පින්තූර අරගත්ත වගේ ඔය කොරෝනා වෛරසයෙ පින්තුරයක් අරන් දෙනවා ද? ඒ දෙක එකට බිත්තියෙ එල්ලන්න. එකක් පොඩියි අනෙක ලොකුයි. කවි ලියන්න හරිම අගෙයි. මල් පාසල ළමයින්ගේ...





මිනිසුන් ගෙවල්වල වෙන්කරන එක හොඳයි. මිනිසුන් ඉස්සර අර කඳවුරුවලින් පැනල එන්න විවිධ හේතු තිබුණා. අපේ සංස්කෘතියෙ වෙන්කරනවා කියන්නෙ හිර කරන එක නොවෙයි. එකට ඉඳිමින් වෙන් කිරීම. කොහෙද ඇරිස්ටෝටල්ට ඒව තේරෙනවා ද? ඔහුට එකට ඉන්නවා නම් එහෙමයි, වෙන් කරනවා නම් මෙහෙමයි. ඇරිස්ට, අපි ඇරිස්ටෝටල්ට ඇරිස් කියමු,  එකට ඉඳීම හා වෙන් කිරීම දෙකක්. මට ඇරිස් සමග අර තරුණයන් කියන ඇරියස් නැති බවත් කියන්න ඕන. පස්සෙ ටෝටල් කරමු. කාලෝ නම් කිව්වෙ ඇරිස්ටොට්ල් කියල.  


අපේ අයගෙත් වැරදි නැතිව නොවෙයි. ඔවුන් හොරා පොලිස් සෙල්ලම් කිරීම, කොලුකම අත් නොහැරීම, පිරිමින් වැඩිහිටියන් නොවීම වගේ දුර්වලකම් තියෙනවා. ඒත් මේවට උපදෙස් දෙන්න අවවාද කරන්න හාමුදුරුවරුන්ට ආරාධනා කරන්න. කොවිඩ් අලුත්ගේට ඒ වැඩේ කරන්න බැහැ. කෝ මේ පාදෙණිය.  නැවතත් රතන සූත්‍රය තහ තවත් සූත්‍ර සජ්ඣායනා කරන්න හාමුදුරුවන්ට ආරාධනා කරන්න. බය කරන්නෙ නැතිව පරෙස්සම් වීමේ වැදගත්කම කියල දෙන්න. දුම් හට්ටිය අලලන්න කියන්න. අප ඊයේත් මියන්මාරයෙන් නාරං පවුලට අයත් කොළ හොයා ගත්තා. මට බටහිර උගතකු නොවීම කොතරම් හොඳ ද කියල හිතෙනවා.