කොවිඩ් මැතිවරණය ඩීල් දුම් හට්ටිය හා පිරිත්
කොවිඩ් ගැන හුඟක් දේ කියන්න තියෙනවා. කොවිඩ් ගැන ම නො වෙයි. අදාළ දේ ගැනත්. විශේෂයෙන් ම මෙරට උගතුන් ගැනත්. ලංකාවේ තරම් උගතුන් ලෝකෙ කොහෙවත් නැහැ. වරක් ප්‍රසිද්ධ හාමුදුරුනමක් ප්‍රකාශ කෙළේ ලංකාවෙ කතා කිරීමට යම්තමින්වත් පුළුවන් හැම අයකු ම ගායකයකු කියල. උන්වහන්සෙ යොදා ගත් වචන මා මෙහි සඳහන් කරන්නෙ නැහැ. ඒ වගේ ම තමයි උගත්තු. වචන දෙකක් ගැට ගහගන්න පුළුවන් හැම දෙනා ම මෙරට උගත්තු. මා උගතකු නොවීම ගැන මට ඇත්තේ අපමණ සතුටක්.
මේ උගතුන් ලියන දේ කියෙව්ව ම පළමුවෙන් ම හිතට එන්නෙ මේ පද දෙක. කොවිඩ් තියෙන්නේ කොයි කොයි දේසේ, කොවිඩ් තියෙන්නේ සිංහල දේසේ. පඬි නැට්ටන් බලාපොරොත්තු වෙච්ච විධියට ප්‍රභාකරන්ගේ දේසය වෙන්න තිබුණු කිලිනොච්චියෙ කොවිඩ් නැහැ. ප්‍රභාකරන් මැරිලත් වැඩ පෙන්නනවා. සජිත්ල යටත්විජිතල පඬියන් පඬි නැට්ටන් හිතන්නෙ ලෝකෙ වෙන කොහේවත් කොවිඩ් නැහැ කියල. රජයේ වෛද්‍ය නිලධාරින්ගෙ සංගමයෙ නිලධාරීන් හා තවත් වෛද්‍ය ක්‍ෂෙත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන්ගෙ ප්‍රකාශ දිහා බැලුවම ඔවුන් මුල්ලේරියාවට යවන්නෙ නැත්තෙ මොක ද කියල හිතෙනවා. මා කිව්වෙ එහි රෝගීන්ට ඇප උපස්ථාන කරන්න.
අද යුරෝපයේ නායකයන්ට කොවිඩ් ගැන කරන්නෙ මොකක් ද කියල හිතා ගන්න බැහැ. දැන් ඒ රටවල කැරළිකාර තත්වයක් ඇති වේගෙන එනවා. ඒත් ඒ කිසිවකුටවත් කරන්න ඕන මොකක් ද කියන එක ගැන හාංකවිසියක දැනුමක් නැහැ. මෙරට සජිත්ලට යටත්විජිතලට පඬියන්ට තියෙනවා ද? බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට කර කියා ගන්න දෙයක් නැතිව ඉන්නෙ. චින්තන විප්ලව අවශ්‍ය වන්නෙ මේ වගේ වෙලාවල. ඒත් බටහිරයන් අනෙක් චින්තන හෑල්ලුවට ලක් කරල සම්පූර්ණයෙන් ම වගේ නැති කරල. අර නිතර කියන විවිධත්වය තුළ ඒකත්වය කෝ? ඇත්තේ ඒකත්වය පමණයි. විවිධත්වයට කටින් බතල කොළ හිටවල.
බස්නාහිර පළාතෙ ඇඳිරි නීතිය ඉවත් කිරීම තව සතියකින් කල් දාපු එක හොඳයි. ඒත් ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් ම අර කොළඹින් පැනල ගිහින් ඇල්ලෙ හරි වෙනත් තැනක හරි හෝටල්වල කොටුවෙලා ඉන්න අයගෙ හෝටල් බිල ගෙවීමේ ප්‍රශ්නය. ඒ බොහෝ වෙලාවට පහළ මධ්‍යම පංතියෙන් ඇවිත් නිදහස් අධ්‍යාපනය නිසා ඉහළට නැගගත් අසරණයන්. ඔවුන්ට දෑවැද්දක් ලැබිල නැත්නම් එච්චර ආදායමක් නැහැ. තියෙන්නෙ මධ්‍යම පාංතික අපේක්‍ෂා පමණයි. ආණ්ඩුව ඔවුන් ගැන හොයල බලන්න ඕන. හෝටල් බිල් ගෙවන්න ක්‍රමයක් හදන්න ඕන.
ඒ කොහොම වුණත් එදිනෙදා වැඩ කරල කීයක් හරි හම්බ කරන් කන මිනිසුන්ගෙ ප්‍රශ්න තියෙනවා. ඇතැම් අයට ස්ථිර රැකියා තිබුණත් අතේ මුදල් නැහැ. ගෙදර කෑම බීමත් නැහැ. ළමා ලපටි කෑම ඉල්ලනවා. මා හිතන්නෙ ආණ්ඩුව අද හෙට මේ ප්‍රශ්නවලට විසඳුම් දේවි කියා. ඒත් පොදුකරණයට හසු නොවිච්ච අයගෙ ප්‍රශ්න තියේවි. ඔවුන්ට වග කිවයුත්තන් සමග සම්බන්ධ වෙන්න ක්‍රම තියෙන්න ඕන. භෞතික විද්‍යාවෙ වගේ අනෙක් ක්‍ෂෙත්‍රවල ප්‍රශ්න (සංසිද්ධි කියමු) පොදුකරණයට (සාධාරණීකරණය) ලක් කරන්න බැහැ. භෞතික විද්‍යාවෙත් බැරි තැන් ඕන තරම් තියෙනවා. මාක්ස්ට ඔය කතාව තේරුණා නම් අති විශාල පිරිසක් මැරෙන්නෙ නැතිව ඉන්න තිබුණා. පඬි නැට්ටන්ට නම් මා කියන දේ තේරෙන්නෙ නැහැ. ඔවුන් මාක්ස්ගෙ අබිං කාල.
ප්‍රශ්න ගොඩයි. රෝගියා කවුද රෝගියකු වීමට ඉඩක් (සම්භාවිතාවක්) ඇත්තෙ කාට ද ගෙදර තියා ගන්න ඕන කවු ද යමකු රෝහලකට හරි වෙන්කරන විශ්‍රාම ශාලාවකට (නිරෝධායන මධ්‍යස්ථානයකට) හරි යැවුවම ඒ අයගෙන් යැපෙන්නන්ගෙ ප්‍රශ්න. ඒ යැපෙන්නන් අතර විශේෂ අවශ්‍යතා ඇති අය ඉන්නව නම් ඔවුන්ට කරන්නෙ කුමක් ද යන්න. මේ සියල්ල සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන්න අර කියන්න වගේ සක්කරයගෙ පුතා වයිමටවත් බැහැ. අදාළ නිලධාරීන්ගෙ තැනට සුදුසු නුවණ මත ඒ ප්‍රශ්න විසඳ ගන්න වෙනවා. මෙහි දී වඩාත් ම වැදගත් වන්නෙ කරුණාව මෛත්‍රිය වැනි ගුණ මිසක් ඊනියා දැනුම නො වෙයි.
බටහිර වෙදකමට මේ ගැන කියන්න දැනුමක් නැහැ. දැනුමක් තියෙනව නම් යුරෝපයේ ප්‍රශ්නය දරුණු වෙලා තියෙන්නෙ මොක ද? හෙට ට්‍රම්ප් දිනය ද? පඬියකු අහන්න බැරි නැහැ ට්‍රම්ප් යුරෝපයේ ද කියල. ට්‍රම්ප් දිනුවොත් මොනව වෙයි ද? පඬියන් ඒ රටට අපනයනය කරමු විප්ලවය කරන්න කියල. බටහිර ක්‍රිස්තියානි චින්තනයට විසඳුම් නැහැ. බටහිරයන් පණ අදින තත්වයකට පත් කර ඇති අනෙක් චින්තනවලින් විසඳූමක් ඉදිරිපත් කළත් එයට හිනහවෙන්න පඬි නැට්ටන් බිහි කරල තියෙනවා. අද ලෝකයෙන් ආධ්‍යාත්මික විසඳුම් ඉවත් කිරීමේ විපාකය අප ඉදිරියේ තියෙනවා. ඒ වගේ ම ආධ්‍යාත්මික හේතු දීමට ද හිනහවෙන්න බටහිරයන් විසින් පුහුණු කෙරුණු පඬි නැට්ටන් බලා ඉන්නවා.
ලෝකයේ කොහොම වෙතත් ලංකාවෙ මා දකින දෙයක් තියෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වෙලා හිටපු කාලෙ තමයි කොවිඩ් ඇති වුණෙ. ඒ එතුමාගෙ වරදකට නොවන බව පඬි නැට්ටන්ට ඇඟිල්ලෙන් ඇනල කියන්න ඕන. පඬි නැට්ටන් කියාවි මා රාජපක්‍ෂලාට කඩේ යනවා කියා. මේ කඩේ යෑමත් සුලභ කතාවක් වෙලා. මා චන්න ගැන ලිව්ව ම පඬි නැට්ටන් කිව්ව මා ඔහුට කඩේ යනව කියල. මිනිහෙක් කඩේ යන්නෙ සාමාන්‍යයෙන් තමන්ට ඉහළින් ඉන්න කෙනකුට යම් ප්‍රතිලාභයක් අපේක්‍ෂාවෙන්. මා චන්නගෙන් නොවෙයි ජනාධිපතිගෙන්වත් ප්‍රතිලාභයක් අපේක්‍ෂා කරන්නෙ නැහැ. ජනාධිපතිතුමාට ගරු කරන එක එකක්. ප්‍රතිලාභ අපේක්‍ෂා කිරීම තවත් එකක්. පඬි නැට්ටන් මට තානාපතිකම ලැබුණෙ කොහොම ද කියල අහාවි. මා එකට කිහිප වතාවක් ම පිළිතුරු දීල තියෙනවා.
චන්න කලක් චින්තන පර්ෂදයෙ හිටපු එක ඇත්ත. ඒත් ඔහු දැන් චින්තන පර්ෂදය සමග කිසිම සම්බන්ධකමක් පවත්වන්නෙ නැහැ. එපමණක් නොවෙයි. මා පසුගිය දා ඔහු ගැන ලියූ දේට ඔහුගේ කැමැත්තක් නැති බවත් දන්නවා. ඔහු අර මඩ වේබ් අඩවියට විරුද්ධ ලියා ඇති ලිපිය මා ලියූ ලිපිය සමග සසඳන්න. මා චන්න ගැන මෙන් ම සෞම්‍ය ලියනගේ ගැනත් ලියන්නේ මට ඕන නිසා මිස මට එයින් ලාභයක් හරි අලාභයක් හරි වෙයි කියල හිතල නෙවෙයි. සෞම්‍ය ලියනගේ ගැන ලියු දේ ආණ්ඩුවට විරුද්ධ ව ලියූ දෙයක් හැටියට පෙන්නනත් සමහර ජඩමාධ්‍යවේදීන් උත්සාහ ගත්තා.
දරුවන් පාසල් යෑමටත් ප්‍රථම අවුරුදු දෙකකුත් පාසල් යන සමයේ අවුරුදු දහයකුත් රැකියාවක් නැති ව සිටි මට ඒ දරුවන් උස් මහත්වී රැකියා කරන සමයේ කාට කුමක් සඳහා කඩේ යන්න ද? මා අර පේරාදෙණියේ මිතුරන් නමැති වෙබ් සංවිධානයක ඉන්නවා. දෙවැනි වර පේරාදෙණියෙන් භාර නොගත් මා, එසේ භාර නොගත් විට කිසිවක් නොකළ පේරාදෙණි විද්‍යාර්ථීන් හා පේරාදෙණිය සමග මිතුදම් පවත්වන්නේ කෙසේ ද යන්න මගේ හිතට එන වාර නැතිවා නො වේ. පේරාදෙණියේ පමණක් නොව අනෙක් සරසවිවලත් ඇදුරන්ගෙන් අති බහුතරය හා උගතුන් මා කියන දේට විරුද්ධයි. මා පහර දෙන්නේ ඔවුන් දණ්ඩ නමස්කාර කරන කසිකබල් චින්තනයටයි.
මා කියන්න ගියේ පසුගිය මාර්තු මස හා අගෝස්තු මැතිවරණය අතර කාලයෙහි අපට කොවිඩ් පාලනය කර ගැනීමට හැකි වූ බව හා මැතිවරණයෙන් පසු එසේ කිරීම තරමක් අපහසු වී ඇති බව. ඒ රටේ ධාර්මිකභාවය පිළිබඳ වෙනසක් ද නිරූපණය කරනවා. අගෝස්තු මැතිවරණයට පෙර රටේ යම් ධාර්මිකභාවයක් තිබුණා. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙමින් ධාර්මිකභාවය රට හැර ගොස් ඇති බවක් පේනවා. මැතිවරණ මනාප පොරය සමග ධාර්මිකත්වයක් රටේ තියෙන්න බැහැ. ඉන් පසු ඇමති පොර, වෙන්ඩ අගමැති ජනාධිපති සැලසුම් ඩීල් ආදිය සමග මොන ධාර්මිකභාවයක් ද?
ඔය ඊනියා දෙවැනි රැල්ලට අලුතෙන් වෛරස නිර්මාණය කරල ද? අර මාළු කඩේ වෛරස වර්ගය යුරෝපයෙන් ලංකාවට ආවෙ කොහොම ද?
පඬි නැට්ටන්ට පංචෙන්ද්‍රිය ගෝචර නොවන කතා අප කිවුව ම පිළිගන්න බැහැ. එහෙත් ඔවුන් පංචෙන්ද්‍රිය නොවන කතා ඕන තරම් පිළිගන්නවා. කාටවත් නෙපෙනෙන කවුරුන්වත් දැක නැති අවස්ථිති සමුද්දේශ රාමු පැත්තකින් තියන්න. ඒ ගැන මාක් නම් ඒ දවස්වල කතා කරල තියෙනවා. පඬි නැට්ටන් මාක්ස් පැත්තකින් තියල මාක් ගැන කතා කළා නම් ලෝකෙට දහස් වරක් හොඳක් වෙන්න තිබුණා. ඔය කියන ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර ද? මා දන්නා තරමින් එය ඉන්ද්‍රිය ගෝචර වන්නෙ කැලණිය විශ්වවිද්‍යලෙ රසායන විද්‍යා මහාචාර්යවරයකුට පමණයි. එහෙත් ඔහු ඒ ගෝචර වන ඉන්ද්‍රිය අපට පෙන්වන්නෙ නැහැ. පෙන්නන්න කිවුව ම දුවනවා.
මේ රටේ අධ්‍යාත්මික ගුණ වගාව වැඩි කර ගන්න කටයුතු කරමු. විහාරස්ථානවල පිරිත් කීම ආදිය වැදගත් වේවි. පිරිත් කීමෙන් කොවිඩ් පාලනය කරන්නෙ කොහොම ද කියල පඬි නැට්ටන් අහාවි. ඇහැට කණට නොපෙනෙන ඊනියා ගුරුත්වාකර්ෂණය නිසා පොල් වැටෙන්නෙ කොහොම ද කියල කියනවා ද? මා අයින්ස්ටයින්ගෙ අවකාශ-කාල වක්‍රතාව ගැන කියන්න යන්නෙ නැහැ. පඬි නැට්ටන් හා නැට්ටියන් ඒ ගැන මට වඩා හොඳින් දන්නවා. පඬි නැට්ටන් කියාවි ආගමික සංකල්ප පෞද්ගලික කියල. බටහිර විද්‍යාවත් පෞද්ගලික තමයි. මා ගුරුත්වාකර්ෂණය පිළිගන්නෙ නැහැ. මගේ ආචාර්ය උපාධි නිබන්ධයේ මාතෘකාව තාරකාභෞතිකයේ සාපේක්‍ෂතාවාදී ගුරුත්වජ ආචරණ (Relativistic Gravitational Effects in Astrophysics).
කොවිඩ් පාලනය කිරීමට බටහිර දේශපාලනඥයන්ට, විද්‍යාඥයන්ට හා අනෙක් අයට නොහැකි ව තිබිය දී වෙනත් චින්තන, බටහිර ම්ලේච්ඡ පහර දීම් හමුවේ පණ අදිමින් හරි ඉදිරිපත් කරන විසඳුම්වලට තම පඬි නැටිකම පිල් විදහා රඟන මොණරුන් මෙන් විදහා දක්වන්නෙ නැතිව ඇහුම්කන් දෙන්න. එක පඬි නැට්ටකු ඇහුව දුම් හට්ටිය කෙහෙල් ඉදවන්න ද කියලා. මොවුන් කෙහෙල් ඉදවන්න දන්නෙ රසායනික ද්‍රව්‍ය ඉහීමෙන් වෙන්න ඕන. බටහිර වහල් කමේ සීමාවක් නැහැ. වහලාට වහල් බව තේරෙන එකක් යැ.
මේ පින්තුරෙ ස්විකීගෙ. ඔහු තමයි අඳුරු ද්‍රව්‍ය (Dark Matter) ගැන ඉස්සෙල්ල ම කිව්වෙ. ඒ තිස් ගණන්වල. මා ඒක විශ්වාස කරන්නෙත් නැහැ.