වහාබ්වාදය සමග ඩීල් ඕන නැහැ
රිෂාඩ් බද්‍යුද්දීන්ට තමන්ගෙ මුදලින් කැලෑ වවන්න වෙලා. විල්පත්තුවෙ කැලෑ කැපුවෙ නැහැ කියලයි බද්‍යුද්දීන් කිය කිය හිටියෙ. නඩුවෙනුත් ඒක ඔප්පු වෙලා. කැලෑ කපල තියෙන්න ටිකක් එහායින්. බද්‍යුද්දීන් කියන්නෙ ඩීල් දේශපාලනයේ පරමාදර්ශය. ඒ වචනය හරි නැහැ කියල කෙනකුට හිතෙන්න පුළුවන්. මාත් පරම කතාවලට කැමති නැහැ. ඒත් ඩීල් දේශපාලනය සඳහා කාට හරි අනුගමනය කරන්න පුළුවන් හොඳ ම පුද්ගලයා තමයි රිෂාඩ් බද්‍යුද්දීන්. අර කියනව වගේ ඔහු ඩීල් දේශපාලනය පරිපූර්ණත්වයට ගෙනාවා.
බද්‍යුද්දීන්ට වන සංරක්‍ෂණය ගැන පාඩම් කියල දෙන්නවත් මේ පොළොව මනුෂ්‍යයාට පමණක් නොව සතා සිවුපාවටත් ගහ කොළවලටත් තිබිය යුතු බව, සහජීවනයක් විය යුතු බව කියල දෙන්න අවශ්‍ය නැහැ. බටහිර දැනුම පස්සෙ යන අයකු තිරසාර සංවර්ධනය ගැන කතා කරන්න පුළුවන්. ඒ එකක්වත් බද්‍යුද්දීන්ට වැඩක් නැහැ. ඔහු ඩීල් දේශපාලනඥයෙක්. මුස්ලිම් වහාබ්වාදී ජාතිවාදය පදනම් කරගත් ඩීල් දේශපාලනඥයෙක්.
ඔහු මෙරටට කර ඇති විනාශය ගැන හොයන්න වෙන ම කොමිසමක් පත් කරන්න වෙයි. අර හිස්බුල්ලා කාගෙ බුල්ලා වුණත් ඔහු ගැනත් හොයන්න ඕන. මේ අයට ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා ද, ඔවුන් ධනවතුන් වුණේ කෙසේ ද ආදී කරුණු හොයන්න පුළුවන්. ඒත් මෙරට කොමිසම් ප්‍රශ්නයක් ගැන හොයන්න කල්ගන්නවා වැඩියි. ටික කලකින් කොමිසම පත්කෙළෙ මොනවට ද කියන එකත් ප්‍රශ්නයක් වෙනවා. කොමිසම පත්කෙළෙ මොකට ද කියල හොයන්න තව කොමිසමක් පත් කරන්න වෙයි ද?
වර්තමානයේ සියළු ඊනියා ජනවාර්ගික ප්‍රශ්න බාහිර රාජ්‍ය විසින් ඇති කෙරෙන ඒවා. බාහිර රාජ්‍ය බටහිර ම වෙන්න ඕන නැහැ. අප මුහුණ දුන් දෙමළ වෙල්ලාල ප්‍රශ්නය ඉංගිරිසින් හා ලන්දේසීන් විසින් ඇති කෙරී ඉන්දියාව විසින් ද පෝෂණය කෙරුණක්. මුස්ලිම් ප්‍රශ්නය බටහිර රාජ්‍ය හා ඒ රාජ්‍ය සමග වැඩ කරන මුස්ලිම් රාජ්‍ය විිසින් ඇති කෙරුණක්. බටහිරයන් තමන් විසින් ඇති කෙරෙන ඊනියා ජනවාර්ගික ප්‍රශ්න කළමනාකරණය සඳහා එක්සත් ජාතින්ගේ විවිධ ආයතන පිහිටුවල තියෙනවා. මානව අයිතිවාසිකම්, සාම මණ්ඩල, සම්බන්ධීකාරක කාර්යාල බොහෝ ආසියා අප්‍රිකා රටවල දකින්න පුළුවන්.
ඉතා කෙටියෙන් කිවුවොත් වත්මන් මුස්ලිම් ප්‍රශ්න බටහිරයන් විසින් කළමනාකරණය කෙරෙන දේ. එහි දී යොදා ගන්නා ප්‍රධාන අවිය වහාබ් වාදය. වහාබ් වාදය මුලධර්මවාදයක්. ඔවුන්ට අවශ්‍ය වුණේ මුල් මුස්ලිම් සංස්කෘතියට ඉස්ලාම් ආගමට යෑමට. බොහෝ දෙනා නොකිව්වාට කතෝලික ආගමට හා සංස්කෘතියට එරෙහි ව ප්‍රහාර එල්ල කළ මාටින් ලූතර් පූජකතුමාත් මූලධර්මවාදියෙක්. බුදුදහමෙහි දැන් මූලධර්මවාදීන් නැහැ. ථෙරවාදය මූලධර්මවාදයක් නො වෙයි. මහායානය නොමග ගිය මූලධර්මවාදයක්.
ඉංගිරිසින් තමයි ඔටෝමාන් අධිරාජ්‍යයට විරුද්ධ ව මුස්ලිම් වහාබ්වාදය යොදා ගත්තෙ. අද වන විට වහාබ්වාදය ඉංගිරිසින්ගෙ හා පළල් වශයෙන් බටහිරයන්ගෙ මෙවළමක්. ඇතැම් අරාබි රටවල් මෙහි දී බටහිරයන් සමග එක්ව ක්‍රියා කරනවා. හිස්බුල්ලා හිස් මාස්ටර්ස් බුල්ලා බවත් මාස්ටර් හෙවත් ස්වාමියා ගැන මෙරට ජනයාට යම් අවබෝධයක් තිබෙන බවත් පැහැදිලියි.
ලෝනා දේවරාජා කියන ආකාරයට ලංකාවට මුස්ලිමුන් පළමුවෙන් පැමිණ ඇත්තේ අටවැනි සියවසේ පමණ. ඒ පැමිණි අය සිංහල කතුන් විවාහ කරගෙන සිංහල කතා කරන මුස්ලිම් ජනකොටසක් මෙරට ඇති කළා. එහෙත් දහහතරවැනි සියවසේ පමණ මලබාර් පෙදෙස් දෙමළ කතා කරන මුස්ලිමුන් මෙරටට පැමිණ අර තිබූ සිංහල කතා කරන මුස්ලිම් සංස්කෘතිය පරාජය කර දෙමළ කතා කරන මුස්ලිම් සංස්කෘතියක් ඇති කර තිබෙන බව පැහැදිලියි. සිංහල කතා කළ මුස්ලිමුන් ද දෙමළ කතා කරන මුස්ලිම් සංස්කෘතියට උරාගෙන, නැත්නම් අවශෝෂණය කෙරිලා. එබැවින් සංස්කෘතික වශයෙන් ගත් කල මෙරට ඇත්තේ දෙමළ කතාකරන මලබාර් මුස්ලිම් සංස්කෘතියක විකාශයක්. ඔවුන් අද ක්‍රමයෙන් සිංහල කතාකරන මුස්ලිමුන් බවට පත්වෙමින් සිටිනවා.
දහනවවැනි සියවසේ දී ඉංගිරිසින් ඇතැම් මුස්ලිමුන් සිංහල බෞද්ධ රාජ්‍යයට විරුද්ධ ව යොදා ගත්තා. එයත් ඩීල් දේශපාලනයක්. ඩීල් දේශපාලනයෙහි ආරම්භකයන් බටහිරයන්. ඉංගිරිසින් අතින් එය වර්ධනය වුණා. 1915 කලබල හොඳ ම උදාහරණය. එහෙත් ඇතැම් මුස්ලිම් නායකයන් සිංහලයන් සමග සහයෝගයෙන් වැඩ කළා. විශේෂයෙන් ම මැලේ මුස්ලිමුන් සිංහලයන් සමග හිටියා. මෑත දි දෙමළ ජාතිවාදයේ ආභාසය මුස්ලිමුන්ට ලැබුණා. අෂ්රොෆ් ඒ ප්‍රවණතාවයෙහි පුරෝගාමියෙක්. හකීම්ලා බද්‍යුද්දීන්ලා හිස්බුල්ලාලා අෂ්රොෆ්ගේ ගෝලයන්.
වහාබ්වාදය ඔවුන්ගේ අවිය. එහෙත් වහාබ්වාදයට විරුද්ධ මුස්ලිමුන් විශාල පිරිසක් රටේ ඉන්නවා. සිංහල දේශපාලනඥයන් ඔවුන් ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. සිංහල දේශපාලනඥයන් වහාබ්වාදීන් සමග ඩීල් දේශපාලනයේ යෙදෙනවා. පාර්ලිමේන්තුවේ ඡන්ද කිහිපයක් සඳහා සිංහල බෞද්ධ සංස්කෘතිය පාවා දෙනවා. මෙරට සිංහල දේශපාලනඥයන්ගේ පරම යුතුකම බුදුසසුනේ චිරස්ථිතිය බව ඇතැමුන් අමතක කරනවා. ඒ ගැමුණු රජ දවස සිට පැවතෙන පරම යුතුකමක්. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අවුරුද්දකට පෙර ගැමුණු පිළිරුව අබියස පොරොන්දු වූයේ මේ පරම යුතුකම ඉටු කිරීමට. එහෙත් එතුමා නැතත් ඒ යුතුකම අමතක කළවුන් ද ආණ්ඩුවේ සිටිනවා.
බද්‍යුද්දීින් වැන්නවුන් ඉදිරියට ගෙනෙනු ලැබුවේ අර පරම යුතුකම අමතක කර බලය පමණක් ගැන සිතූ සිංහල දේශපාලනඥයන් විසින්. බද්‍යුද්දීන් වැන්නවුන් මුස්ලිම් වහාබ්වාදය කේවල් කිරීමට යොදා ගන්නවා. ඇතැම් සිංහල දේශපාලනඥයන් වහාබ්වදීන්ගේ ඡන්ද බලයට පත්වීමට බලය රැක ගැනීමට සහ ඇතැම් අවස්ථාවල බලය නොගැනීමටත් යොදා ගන්නවා. 2018 ඔක්තෝම්බරයේ මහින්ද රඳවා නොගැනීමට වහාබ් ඡන්ද නිෂේධාත්මක අයුරින් යොදා ගැණුනා.
බද්‍යුද්දීන් කැලෑ කපා ඇත්තේ මුස්ලිම් ජනයා පදිංචි කරවීමට. මේ යාපනයෙන් එළවනූ ලැබූ අය යැයි කියනවා. එකල යාපනයේ මුස්ලිමුන් කොපමණ ප්‍රභාකරන් විසින් පන්නා දැමිණි ද? මේ කැලෑ කපන්නේ ඔවුන් සඳහා පමණක් ද? මුස්ලිමුන් යම් පිරිසක් ආපහු යාපනයට යැවීමට නොහැකි වුණේ ඇයි. මේ ඡන්ද කළමනාකරණයක් නො වේ ද? කැලෑ කැපීම ගැන බද්‍යුද්දීන්ට විරුද්ධ ව නඩු පවරන්න පුළුවන් ද? ඔහු අද රක්‍ෂිත බන්ධනාගාරයේ ඉන්නේ මෙවැනි වැරදි සමග සංසන්දනය කළ විට නොගිණිය හැකි වරදකට. බන්ධනාගාරයෙත් ඩීල් ද?
මුස්ලිම් වහාබ්වාදය ක්‍රියාත්මක වන්නේ දෙමළ වෙල්ලාල ජාතිවාදය ක්‍රියාත්මක වූ ආකාරයට නො වෙයි. වහාබ්වාදීන් අවිගත් සටනකට යොමු වන එකක් නැහැ. ඔවුන් අතන මෙතන බෝම්බ පුපුරවයි. එහෙත් ඔවුන් වඩාත්ම යොදා ගන්නේ ඩීල් දේශපාලනයයි. ඔවුන්ගේ බලකොටුව පාර්ලිමේන්තුවයි. අර පරම යුතුකම අමතක නොකළොත් පාර්ලිමේන්තුවේ දී ම වහාබ්වාදය පරාජය කරන්න පුළුවන්. ඒ සඳහා සිංහලයන් මේ ආණ්ඩුවට අවශ්‍ය ශක්තිය ලබා දී තියෙනවා. ඩීල් දේශපාලනයෙන් ඒ ශක්තිය දිය නොකිරීමට වග බලාගන්න ඕන.