අතරමං වූ අතරමැදියා හෙවත් ට්‍රම්ප්
එක්සත් රාජ්‍යවල ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ වීම තව කල් යනවා. මේ ලෝකයේ බලවත් ම ප්‍රජාතන්ත්‍රවාදී රට කියල කියනවා. එංගලන්තයේ අගමැති ජොන්සන් ට්‍රම්ප්ගෙ අනුගාමිකයෙක් කියල කියන්න පුළුවන්. මේ රටවල් දෙකේත් යුරෝපයේ රටවලත් මහා ප්‍රශ්න. එහි කැරලි තත්වයන් තියෙනවා. ඒත් ඊනියා විප්ලව කරනව තියා හඬක් නගන්නවත් මාක්ස්වාදියකු නැහැ. ඔවුන් කටවල් වැහෙන්න මාස්ක්දාගෙන මාස්ක්වාදීන් වෙලා. නිකම් වැඩකට නැති සඟරාවල කුණු කුණු ගානවා විතරයි. මේ රටවල පෙන්නුම් කෙරෙන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ කඩා වැටීම. බයිඩන් දිනනව කිවුවෙ 12%ක වැඩි ප්‍රමාණයකින්. බයිඩන්ට ඡන්ද මණ්ඩල 270 ළඟ කැරකෙන්න වෙලා. ඡන්ද විද්‍යාල කියන අය නැවත විද්‍යාලෙට, පාසලට ගියත් වැඩක් වෙන්නෙ නැහැ. ඔය විද්‍යාලවල හිතන්න උගන්වන්නෙ නැහැ. අර බැක් ටු ස්කූල් වැඩ සටහන්වලට මොක ද වුණේ.
ට්‍රම්ප් ඔය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, බටහිර විද්‍යාවේ කතන්දර, ආදිය විශ්වාස කරන බවක් පේන්නෙ නැහැ. මා හිතන්නෙ බටහිර ආර්ථික විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය වගේ ක්‍ෂෙත්‍රවල කතන්දරත් ට්‍රම්ප් විශ්වාස කරන්නෙ නැති බවයි. ඔහු ව්‍යාපාරිකයකු ලෙස දන්නව ඇති ඔය කතන්දරවල වැදගත්කමක් නැති බව. බටහිර දක්‍ෂ ව්‍යාපාරිකයන් කී දෙනකු ආර්ථික විද්‍යාව හරි ව්‍යාපාර කළමනාකරණය හරි හදාරල තියෙනව ද? බටහිර තාක්‍ෂණවේදීන් කී දෙනකු බටහිර භෞතික විද්‍යාව හරි වෙන විද්‍යාවක් හරි හදාරල තියෙනවා ද? හදාරල තිබුණත් ඉහළ මට්ටමේ උපාධි ලබා ගෙන තියෙනවා ද?
බටහිර ශාස්ත්‍රාලීය දැනුම කියන්නෙ ලොකු ලොකු කතන්දර කීමක් පමණයි. නූතනත්වය කඩන් වැටෙන්න පටන් අරගෙන ටිකක් කල්. එතන දි ඔය බටහිර ශාස්ත්‍රාලීය උගත්තු වෙන කතන්දරයක් හදන්න උත්සාහ කළා. ඒකට කියනව පශ්චාත්නූතනවාදය කියල. මෙරටත් පශ්චාත්නූතනවාදීන් කියල පඬි නැට්ටන් ටිකක් හිටිය. ඔවුන් දැන් මොනව කරනවා ද කියල දන්නෙ නැහැ. ඒ කාලෙ බටහිරත් පශ්චාත් අර වාදය පශ්චාත් මේ වාදය කියල කතන්දර තිබුණා. ඔවුන් කිවුව එක කතන්දරයක් තමයි පාරආඛ්‍යාන ( metanarratives), එහෙමත් නැත්නම් යටින් දුවන ප්‍රධාන කතන්දර නැහැ කියන එක.
ඒ කතාවෙ නම් ඇත්තක් තිබුණ. එහෙත් ඒ කතන්දරේ හරය තිබුණෙ මහා කතන්දර නැහැ කියන එක නොවෙයි. ඒ මහා කතන්දර සාර්ථක වෙන්නෙ නැහැ කියන එක. මහා කතන්දර බටහිර භෞතික විද්‍යාවෙ ගැලීලියොගෙ කාලෙ ඉඳල ම තිබුණ. එය ඉහළ තලයකට ගෙනාපු අය තමයි නිවුටන් හා මැක්ස්වෙල්. නිවුටන් ලෝකෙට ම නැහැ විශ්වයට ම හරියන්න චලිත නියමයි ගුරුත්වාකර්ෂණ කතාවකුයි හැදුව. මැක්ස්වෙල් විද්‍යුතයයි චුම්බකත්වයි එකතු කරල විද්‍යුත්චුම්බකවාදය කියල පාරකතන්දරයක් හැදුව. අයින්ස්ටයින් ඒ පාරකතන්දර පාරෙ ගිහින් ජ්‍යාමිති කතා හැදුව. ඔහු නිවුටන් ව ජ්‍යාමතිකරණයට ලක් කළා. පස්සෙ මැක්ස්වෙල්ටත් ඒ වැඩේ කරන්න හැදුව. මැරෙනකම් කරගන්න බැරි වුණා. අද සමහර බටහිර භෞතික විද්‍යාඥයන් මාර පාරකතාවක් හදන්න වලිකනවා. අවුරුදු හැටකට වැඩි කාලයක් ඒක කරන්න හදනවා. ඔය සියල්ල ගැන ප්‍රවාදය (Theory of Everything) කියන්නෙ ඒකට. ඒක කෙරෙන වැඩක් නොවෙයි.
බටහිර දැනුම තවමත් පාරආඛ්‍යාන කියන ඒව පිටිපස්සෙ යනවා. පශ්චාත්නූතනවාදීන් ඒවා නැහැ කිවුව තමයි. ඔවුන් කිව යුතුව තිබුණෙ පාරආඛ්‍යාන නැහැ කියන එක නොවෙයි, පාරආඛ්‍යාන අසාර්ථකයි කියන එක. දැන් පශ්චාත්නූතනවාදයට මොක ද වෙලා තියෙන්නෙ. පශ්චාත්නූතනවාදය උපන්ගෙයි ම මැරිල කියන එක වැරදියි. ඒක ඉපදූණෙ ම මැරිල. ඒ කියන්නෙ ගබ්සා වෙලා. ලංකාවෙ පශ්චාත්නූතනවාදය බෙදා ගන්න පේරාදෙණියෙයි X
කණ්ඩායමෙයි අරගලයක් තිබුණ. අරගලයත් මැරිල. පශ්චාත්නූතනවාදීන් නැති පශ්චාත්නූතනත්වයක් හා පාරආඛ්‍යාන නැතිබවක් ගැන කතා කරන්න ප්‍රධාන ම හේතුව භෞතිකවිද්‍යාව නොව මාක්ස්වාදය අසාර්ථක වීම. මාක්ස්ගෙ පාරආඛ්‍යානය තරම් පුස්සක් ලෝකෙ කියවිල නැහැ.
බටහිර වෛද්‍ය විද්‍යාව අද හොඳට ම කඩා වැටිල. කොවිඩ් අලුත්ගේ හැමදාමත් පරණ කතාව කියනවා. අද බටහිර වෙදමහත්තුරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්නන් වෙලා. අතන අච්චරයි මෙතන මෙච්චරයි කියන්නයි අත හෝදගන්නයි කියන්න විතරයි ඔවුන්ට පුළුවන්. බටහිර ඔය පාරආඛ්‍යාන හැදුවෙ ඊනියා යථාර්ථයක් තේරුම් ගන්න. භෞතික යථාර්ථයක් නැහැ කිවුවම ගණිතමය මනෝ යථාර්ථයක් තියෙනව කිවුව. ගණිතය කියන්නෙත් මිනිසුන්ගෙ නිර්මාණයක්. මනසෙන් කරන දෙයක්. බටහිර දර්ශනය තමයි වැටිච්ච ම දැනුම. මොකක් හරි වෙනවා කියන එක යථාර්ථයක්ලු. ඔය වෙන්නෙ කාට ද? වෙන්න මිනිසුන්ට ද ඉන්න මිනිසුන්ට ද? මනසක් තියෙන (සම්මුති අරුතින්) මිනිසුන්ට ද මනසක් නැති මිනිසුන්ට ද? මනසක් නැතියවුන් ඉන්න ලෝකෙක හරි නැති ලෝකෙක හරි මොකක් හරි වෙන්න ඕනය කියල දන්නෙ කවුද?
මේ කතා හා ට්‍රම්ප් අතර සම්බන්ධය මොකක් ද? සමහරුනට මේකත් නාභිගත
(focus) නොවූ කතාවක්. මා නාභිගත කරන්න ගුරුත්වජ කාච (gravitational lenses) යොදා ගන්නවා. බටහිර ජාත්‍යන්තරවාදී ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටිල බව ට්‍රම්ප්ට ඉවෙන් මෙන් තේරෙනවා. ඔහු එහි දැනුම සතපහකට මායිම් කරන්නෙ නැහැ. ඊනියා උගතුන්ට ඔහු මෝඩයකු පිස්සකු ලෙස පෙනෙනවා ඇති. එක්සත් රාජ්‍යවල බටහිර හා නැගෙනහිර වෙරළේ ඉන්න ඊනියා ජාත්‍යන්තරවාදීන් ඔහුට විරුද්ධයි. ජනමාධ්‍ය හා ශාස්ත්‍රාලීය ලෝකය හැසිරවෙන්නෙ ඔවුන් අතින්. ජනමතය සකස්කරන්නත් ඔවුන් කටයුතු කරනවා. ඔවුන් ට්‍රම්ප් ගැන හදන කතා තමයි අපට එවන්නෙ, මෙරට ජනමාධ්‍යවේදීන් කියවන්නෙ.
ට්‍රම්ප්ට නූතනත්වය කඩා වැටිල කියල ඉවෙන් මෙන් තේරුණාට ඔහුට අලුත් චින්තනයක් ගොඩනගන්න බැහැ. බටහිරයන් අනෙක් සියලු චින්තන විනාශ කරන්න බැරි නම් දුර්වල කරල. හැම දෙයක් ම බටහිර චින්තනයට අනුව මනින්න පුරුදු කරලා. අපේ හාමුදුරුවරුත් බුදුදහම විද්‍යාත්මක බව පෙන්නන්න හදන්නෙ ඒකයි. බුදුදහම අවිද්‍යාව, නොදැනුම ගැන කියන්නෙ. අවිජ්ජා පච්චයා සංඛාරා. ඊයෙ ලිපියට සමහරු අභිධර්මය ගාව ගන්න හදල. තවත් සමහරු ධ්‍යාන ගැන කතා කරල. යෝගවේදයෙත් ධ්‍යාන තියෙනවා. මා දන්න බුදුදහමෙහි පාරකතන්දර නැහැ. බුදුදහම එක කාලෙක දි යෝගාත්මක කරලා. දැන් විද්‍යාත්මක කරන්න හදනවා. අනේ සෝපාකලාට මොන කලක් ද? බටහිර උගතුන් හා වෛදික බමුණන් අතර සමානකම් තියෙනවා. ඉන්දියානුවන්ට අද බටහිර දැනුම් ලෝකයෙ තැනක් තියෙනවා.
ට්‍රම්ප්ට අලුත් යමක් කරන්න බැහැ. නූතනත්වයට ඔහු හරියන්නෙත් නැහැ. ඉතින් අර බටහිර හා නැගෙනහිර වෙරළෙ මිනිස්සු ඔහු පරාද කරන්න හදනවා. ඒත් කොහොම ද පරාද කරන්නෙ. ප්‍රශ්නය එතැනයි. ඩෙමොක්‍රටික් පක්‍ෂය කියන්නෙ නූතනත්වයෙ පක්‍ෂයක්. ඒක ඊනියා වාමවාදී ජාත්‍යන්තර කතා කියන පක්‍ෂයක්. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට නෑකම් කියනවා. අද මොන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ද? නූතනත්වය කඩා වැටෙන කොට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නෙ කොහොම ද? බයිඩන්ට ඩන් කියන්නවත් බයි කියන්නවත් බැහැ. කරන්නෙත් නැහැ යන්නෙත් නැහැ.
කොවිඩ් හින්ද බටහිර දැනුමේ තත්වය හෙළි වෙලා. ඒත් බටහිර දැනුමේ ආධිපත්‍යය නිසා අනෙක් දැනුමකට තැනක් දෙන්නෙ නැහැ විතරක් නොවෙයි හිනහවෙනවා. අනෙක් දැනුම් තමන්ගෙ මිනුම් දණ්ඩෙන් මනින්න ඕන කියනවා. බයිඩන් මේ දැනුම් ආධිපත්‍යයෙ නියෝජිතයා. බටහිර දැනුමට දිනන්න බැහැ. ඒත් තාම වෙන දැනුමකට එය පරාද කරන්නත් බැහැ. ට්‍රම්ප් අතරමං වූ අතරමැදියෙකු පමණයි. පඬි නැට්ටකු දැන් අහයි බයිඩන් පරාද වෙලා ද කියල.