Main Logo

Thursday 12 November 2020

කොවිඩ්, පට්ටපල් බොරු හා මුස්ලිම් බැතිමතුන්

 කොවිඩ්, පට්ටපල් බොරු හා මුස්ලිම් බැතිමතුන්


කොවිඩ් 19 නිසා ලංකාවේත් පොදුවේ ලෝකයේත් බොහෝ දේ වෙලා තියෙනවා. වෙමින් තියෙනවා. ඒ අතර ට්‍රම්ප්ට යන්න වෙලා. එයටත් කොවිඩ් සුළුවෙන් බලපෑවා. එහෙත් මූලික වශයෙන් ඔහු පැරදුණේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මිය යමින් සිටියත් බටහිර වෙනත් චින්තනයක් නැති කමේ ප්‍රශ්නයෙන්. ඔහු අතරමං වූවෙක්. ඔහු 2016 ජනාධිපති තරගය දිනූ  දින තමයි මගේ ලෝකය නිකුත් වීමේ තිස්වසර සමරා තියෙන්නෙ. එදා මා ට්‍රම්ප් ජනාධිපති වීම ගැන සතුටු වන බව කී බව කිහිප දෙනකු මතක් කර තිබුණා. සුපුරුදු පරිදි මට එය අමතක වෙලා තිබුණේ. මෙවර ට්‍රම්ප් පැරදීම ගැන මා කණාගාටු වෙන්නේ නැහැ. ඩෙමොක්‍රටික් පක්‍ෂවලට එතරම් ආයුෂ නැහැ. ඔවුන් යන්නේ සමාජවාදී පක්‍ෂ කොමියුනිස්ට් පක්‍ෂ ගිය පාරේ හයිගේට් කරා. මට අර හතරවැනි ජාත්‍යන්තරයේ ලිපිය දිනපතා ලැබෙනවා. ලෝකයේ ඇති වැඩවර්ජන ගැන එයින් දැන ගන්න පුළුවන්. ඒකත් හොඳයි. දේශපාලන වශයෙන් ශක්තිමත්  වෙනත් චින්තනයක් නොමැති වීම  බටහිරට පමණක් නොව ලෝකයට ම ප්‍රශ්නයක්. 


ලංකාවේ කොවිඩ් 19 නිසා ගෝඨාභය රාජපක්‍ෂ ඒකාධිපතියකු ආඥාදායකයකු නොවන බව ඔප්පු වෙලා. වෙන වෙන අය වෙන වෙන කතා කියාවි. ඔහු අනෙක් අයගේ අදහස්වලට සවන් දෙන බව පැහැදිලියි. ඒ කොහොම වෙතත් ලංකාවේත් කොවිඩ් ප්‍රශ්නයක් වෙලා. කොවිඩ් තරම් භයානක දෙයක් ලෝකයට ඇවිත් නැති විධියටයි කටයුතු කෙරෙන්නේ. කොවිඩ් 19 ට මෙතරම් බය කෙරුණේ බටහිරයන් විසින්. බටහිර ඉන්න බටහිර වෙදමහතුන් විසින්. තමන් නොදන්නා දෙයක් භයානක දෙයක් ලෙස සැලකීම බටහිර චින්තනයට ආවේණික වූවක්. මතක නේ කොමියුනිස්ට්වාදය මාක්ස්වාදය ගැන ඇතිකර තිබූ බය. අදත් ඔවුන් චීනය සලකන්නේ කොමියුනිස්ට් රටක් ලෙස. එමගින් ජනතාව චීනයට විරුද්ධ අය බවට පත් කරනවා.


බටහිර උගතුන්ට ලෙනින් තේරුම් ගන්න බැරි වුණා. මාක්ස්වාදී සමාජවාදය තේරුම් ගන්න බැරි වුණා. එය ඉතා භයානක දෙයක් ලෙස දැක්කා. බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසු ඔවුන්ට තිබූ බය නැති වෙලා, දැන් ඉතින් ඒක ඉවරයි වගේ අදහසක් ඇති වුණා. ෆුකුයාමාලා පොත් ලිවුවේ ඒ අසහනයෙන් මිදුණු අය ලෙසයි. කොවිඩ් 19 ගැනත් ඔවුන්ට ඇත්තේ මහා බයක්. ඔවුනට ඒ ගැන කතන්දරයක් නැහැ. කතන්දර නැති වුණාමත් බටහිරයන් බයයි. 


අද මා දැක්කා කොවිඩ් රෝගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් බයක් දක්වන බව. කොවිඩ් රෝගීන් කවුදැයි හරිහැටි නොදන්නා බැවින් මෙය මහත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙය පැතිරී ගියොත් සමාජය ම ඇනහිටින්න පුළුවන්. ගණුදෙනු නවතින්න පුළුවන්. අද කොවිඩ් සෘණ වුණත් හෙට කොවිඩ් ධන වෙන අය ඉන්න පුළුවන්. අප දිනපතා පීසිආර් හරි අර මටත් මහාධනස්කන්ධයක් ලැබුණු බවට මුහුණුපොතේ ඇඟවුණු ඇන්ටිජන් පරීක්‍ෂණ හරි දිනපතා කරන්න ඕන ද? දිලිත් වෙන කාට ද ඒ සල්ලි දුන්නෙ? මගේ කොටස තාම බැංකුවට ගිහින් නැහැ. මා ඊයේත් බැලුවා. 


කොවිඩ් 19 පැතිරෙන රෝගයක් නොවෙයි. එය පතුරවන රෝගයක්. ලබා ගන්නා රෝගයක්. එය මාරාන්තික රෝගයක් නොවෙයි. මාරාන්තික උපවාස කරුවන්ටවත් ඉන් එතරම් වැඩක් නැහැ. අප පරෙස්සම් වෙන්න ඕන. අපේ ගමන් බිමන් හැකි තාක් අඩු කරන්න ඕන. අර සාද මේ සාද වැඩක් නැහැ. කඨින පින්කම් වුණත් බොහොම චාම් අන්දමින් කෙරෙන්න ඕන.  යම් ක්‍රියාවකින් රෝගය පැතිරෙනවා කියා යම් අවිශ්වාසයක් තියෙනවා නම් අප ඒ නොකළ යුතුයි.  මා මෙහි දී යොදාගන්නේ අවිශ්වාසය යන වචනය. අවසානයේ දී සියල්ල විශ්වාසය හරි අවිශ්වාසය හරි මත පදනම් වෙනවා.


මුස්ලිම් බැතිමතුන්ගේ අවමගුල් සිරිත් විරිත් පිළිබඳ ප්‍රශ්නය ඇති වෙලා. බෞද්ධයන්ටත් යම් යම් ප්‍රශ්න තියෙනවා. හැමෝටමත් ප්‍රශ්න ඇති. දැන් මේ ප්‍රශ්න විසඳගන්නෙ කොහොම ද? කවුද විසඳන්නෙ? මොන දැනුමක් මත පදනම් වෙලා ද විසඳන්නෙ. මළ සිරුරු භූමාදන කිරීමෙන් කොවිඩ් 19 පැතිරෙනවා ද? එසේ පැතිරෙනවා නම් ඒ සඳහා අවසර නොදිය යුතුයි. එහෙත් එසේ පැතිරෙන බව නිශ්චිත ව දන්නවා ද? අප නිශ්චිත ව දන්නා එක් දෙයක් තියෙනවා. ඒ මැරෙණ බව. ඒ දැනුම ප්‍රවාදයකින් ලබා ගන්නා එකක් නොවෙයි. එය නියතිවාදයක් නොවෙයි. ප්‍රවාදවලින් ලැබෙන දැනුම් සමහරවිට  හරි යනවා. හරි යන්නෙ නැති වෙලාවලුත් තියෙනවා. 


ගුරුත්වාකර්ෂණ බලය කියන කතන්දරේ ග්‍රහවස්තුවලට හරි යන්නෙ නැහැ. එය ආරම්භක අවස්ථා ආදියේ ප්‍රශ්නයක් නොව කතන්දරයේ ම වරදක්. එක ග්‍රහවස්තුවක්වත් ඉර වටා නිවුටන් කිවු විධියට අචල ඉලිප්සයක යන්නෙ නැහැ. ඒ යන ඉලිප්සත් කැරකෙනවා. නිවුටන් කියල තියෙන්නෙ පට්ටපල් බොරුවක් කියා මා කියන්නෙ ඒ නිසා නොවෙයි. ගුරුත්වාකර්ෂණයත් සරල රේඛාවක් වගේ ම මනසින් මවා ගන්නවත් බැරි නිසා. සරල රේඛාවත් පට්ටපල් බොරුවක්. පුළුවන් කෙනෙක් ඉන්නව නම් සරල රේඛාවක් ඇඳල පෙන්නන්න. ඔය නිකම් ඉන්න වෙලාවට පළලක් නැති ඝනකමක් නැති දිගක් පමණක් ඇති අනන්තයක් දිග සරල රේඛාවක් මනසින් මවා ගන්න. අනන්තය මවා ගන්න මනසෙ ඉඩ තියෙනවා ද  වගේ පඬි ප්‍රශ්න මා අහන්නෙ නැහැ. 


කොවිඩ් 19 කියන්නෙ මොකක් ද කියල දන්නෙ නැති බටහිර වෙදකම කොවිඩ් පැතිරීම ගැන කියන දේ අහන්න ඕන සැක සංකා සහිත ව. කතන්දරයක් ඇතත් නැතත් කොවිඩ් 19 පැතිරෙනවා. ඒක නිරීක්‍ෂණයක්. ඒක පේන්න තියෙනවා. ඒක බොරුවක් වුණත් පට්ටපල් බොරුවක්වත් මුසාවක්වත් නො වෙයි. දැන් මේ අපි කරන්නෙ කොවිඩ් 19 පැතිරෙන්නෙ මොකද කියන එකට හේතු හොයන එක. පැතුුරුණත් බොහෝ දෙනාට එච්චර ප්‍රශ්නයක් නැහැ. දැනටමත් අමාරු කියන ලෙඩ තියෙන අයට සමහරවිට ප්‍රශ්නයක් වෙයි. මටත් ඔය අමාරු කියන ලෙඩක් තියෙනවා. මාත් අමාරුකාරයෙක්. මොන අර්ථයෙන් ද කියල අහන්න එපා. 


අර වෙන් කෙරෙන්නෙ අත් හෝදන්නෙ පැතිරීම වළක්වන්න. අපේ විධියට වෙන් කරන එක අපේ සංස්කෘතියෙ තියෙන එකක්. මා හිතන්නෙ අවුරුදු දහස් ගණනක් ඒකෙ ප්‍රතිඵල තියෙන බව අත්දැකලා ඇති. අවශ්‍ය ම නම් නිරීක්‍ෂණය කරල ඇති. අවමගුල් උත්සව කඨින පින්කම් ආදිය සුළු පිරිසකට සීමා කරන්න කියන්නෙ මේ වෙන් කිරීම කියන එක ම ටිකක් දුරට ගෙනියලා. වෙන් කිරීම දික් කරලා, එහෙම නැත්නම් විස්තීර්ණය කරලා. විවාහ මංගලවලට පනහකුත් වැඩියි කියල මට හිතෙන්නෙ. 


අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න කියන්නෙත් ඒ තේරුමෙන්මයි. පෑලියගොඩ පොකුරට හේතුව මුදල් නෝට්ටු අතපත ගැම ද කියන්න මා දන්නෙ නැහැ. මට මතක හැටයට මුදල් නෝට්ටුවල වෛරසය හරි මොකක් හරි ටික කාලයක් තියෙනවා කියල මුලින් ම කිවුවෙ ඕස්ත්‍රේලියාවෙ විද්‍යාඥයන් දෙදෙනෙක්. වතුරෙන් ඔය වෛරසය පැතිරෙනවා ද කියල මා දන්නෙ නැහැ. ඔය නිකම් ඉන්න වෙලාවක වතුරෙ වෛරසය කොපමණ වෙලා තියෙනවා ද කියල හොයල බලනවා ද? 


ඕවා ආධ්‍යාත්මිකවත් මනසෙන් බලන්නත් (සංස්කරණය කරන්නත්)  පුළුවන්. මනසෙන් බලනව කියන්නෙ අර මනේන්ද්‍රියෙන් බලන එක. මනස දියුණු කළ අයට ඒ පුළුවන්. ඒත් අප දන්නෙ නැහැ මනස දියුණු කල අය කවුද කියල. මනේන්ද්‍රියෙන් බලන දේ අර මනසටත් මවා ගන්න බැරි සරල රේඛා වගේ පට්ටපල් බොරු එක්ක සසඳන්න එපා. අපි කතාවටත් කියනව නේ හිතාගන්නවත් බැහැ කියල. එක් අරුතකින් හිතාගන්නවත් බැරි ඒව තමයි පට්ටපල් බොරු. සරල රේඛාවක් හිතාගන්නවත් බැහැ.


මුස්ලිම් බැතිමතුන්ගෙ ප්‍රශ්නය අපට නොතේරෙනවා නොවෙයි. වතුර මේ වෛරසය හරි මොකක් හරි එක්ක හරි සම්බන්ධ කරලා. යුනානි වෛද්‍යවරු මේ ගැන මොකද කියන්නෙ? පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් මොකද කියන්නෙ? ඔවුන් මුස්ලිම් බැතිමතුන්ගෙ අයිතිය වෙනුවෙන් සටන් කරනවා ද? බටහිර වෙදකමේ මතය පිළිගන්නවා ද? ආගමික විශ්වාස හුදු විශ්වාස පමණක් කියා බැහැර කරල ඇඟ බේරා ගන්නවා ද? වතුරෙන් වයිරසය පැතිරෙන බව සක්සුදක් සේ දන්නවා ද?


මේ කොවිඩ් යුගයෙ මා මුස්ලිම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ආගමික විශ්වාස එලෙස ම තබා ගනිමින් අවිශ්වාසයටත් ඉඩක් දෙන්න කියන එක පමණයි.