Main Logo

Sunday 22 November 2020

ඒ කත හා මේ කත හෙවත් අසමත් වූ අධ්‍යාපනය

 ඒ කත හා මේ කත හෙවත් අසමත් වූ අධ්‍යාපනය 


පසුගිය දා බෝවෙන රෝග සඳහා වූ රෝහලෙන් (අයිඩීඑච්) පැන ගිය කොවිඩ් 19 රෝගී යැයි කියන කත ඇහැලියගොඩ ප්‍රදේශයේ දී අල්ලා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ සඳහා ප්‍රදේශයේ ජනතාවගෙන් විශාල සහායක් ලැබී තිබෙනවා. ඒ කාන්තාව පැන ගියේ අවුරුදු දෙකක පමණ දරුවකු සමග බව පැවසෙනවා. මෙය පළමු පැන යෑම හෝ අවසාන පැන යෑම හෝ නොවෙයි. 


මේ ප්‍රශ්නය අපේ සැලකිල්ලට යොමු වෙලා නැහැ. අප අර ඇහැලියගොඩ ප්‍රදේශයේ ජනයා කෙරෙහි වූ පැහැදීම ප්‍රකාශ කරන අතර ඒ කාන්තාව අවුරුදු දෙකක පමණ දරුවකු සමග පැන ගියේ ඇයි ද යන්න ගැන විමසිලිමත් වෙන්න ඕන. ඇය මොන පාසලක ඉගෙන ගත්ත ද යන්න නම් සඳහන් වුණේ නැහැ. නමවත් සඳහන් වුණා ද යන්න සැක සහිතයි. ඇය වරදක් කළ කතක් නිසා සදාචාර සම්පන්න මෙරට ජනමාධ්‍යවේදීන් ඒ තොරතුරු ප්‍රසිද්ධ නොකළා වෙන්න පුළුවන්.


එහෙත් ඒ කොවිඩ් 19 ට එන්නතක් සොයන ඔක්ස්ෆඩ් කණ්ඩායමේ සේවය කරන මහේෂි රාමසාමි ගැන අප බොහෝ තොරතුරු දන්නවා. ඇගේ දෙමව්පියන් ගැන පමණක් නොව ඇගේ මවගේ සොහොයුරියක (ඉංගිරිසියෙන් නම් ආන්ටි) ගැන ද ඇගේ සීයලා ගැන ද අප දන්නවා. මව සිංහල පියා දෙමළ. ඔවුන් ඉගෙන ගත් පාසල් ඔවුන්ගේ උපාධි ආදිය ගැන ද අප දන්නවා. කොවිඩ් 19ට ගොදුරු වූවකු හා ඒ රෝගය සඳහා එන්නතක් සොයා ගැනීමට ක්‍රියා කරන කණ්ඩායම සාමාජිකාවක අතර වෙනසක් තියෙනවා. 


මට අවශ්‍ය ඒ කත හා මේ කත සංසන්දනය කරන්න නො වෙයි. එක් අයකුට හොඳ පවුල් සම්බන්ධතා තියෙනවා. අනෙක් අයගේ සම්බන්ධතා ගැන අප දන්නේ නැහැ. එක් අයකු ගැන අප ආඩම්බර වෙනවා. අනෙක් අය ගැන අප දකින්නේ වරදක් කළ සමාජයට අයහපතක් කළ කතක් හැටියටයි. එහෙත් මා හිතන්නේ නැහැ ඇය හිතා මතා සමාජයට රෝගය පැතිරවීමට කටයුතු කළා ය කියා. 


අවුරුදු දෙකක පමණ දරුවකු සමග රෝහළේ කවුළුවකින් පැන ගිය පුවත විශ්වාස කරන්න අමාරුයි. එහෙත් එසේ වන්නටත් හැකියි. කෙසේ නමුත් ඇය පැන ගිය බව විශ්වාස කරන්න වෙනවා. අවශ්‍ය නම් එය තහවුරු වූ දැනුමක්. එහෙත් ඒ තහවුරු කිරීම් පදනම් වන්නේ විශ්වාස මත. ප්‍රශ්නය ඇය පැන ගියේ ඇයි ද යන්නයි. කොවිඩ් ආසාදිතයන්, පීසිආර් ධන නිරෝධායන කඳවුරුවල ඉන්න අය පැන යන්න හදනවා. ඒ අතර සමහරු සාද දානවා. 


ඒ ඒ අය පැන යෑමට විවිධ හේතු ඇති. ගෙවල්වල ප්‍රශ්න, දරුවන් එහෙම නැත්නම් වියපත් දෙමව්පියන් බලා ගැනීම පිළිබඳ ප්‍රශ්න ඒ අතර වෙනවා. අර නිරෝධායන මධ්‍යස්ථාන සංකල්පය නැතිව ගෙවල්වල ම නිරෝධායනය වීමට එහෙමත් නැත්නම් වෙන් කිරීමට කටයුතු කරපු එක හොඳයි. මේ අය ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන. ඔවුන්ට උපකාර කරන්නත් ඕන. මේ කතට දරුවන් බලා ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා ද ආදිය ගැන අප කිසිවක් දන්නේ නැහැ. 


එහෙත් මේ අතර තම වැරදි හෙළිවේය කියන බයෙන් පැන යන අයත් ඇති. අපේ වැරදි (සමාජ සමුමතිය අනුව ආගමික සම්මත අනුව ආදී වශයෙන්) දන්නේ ඇතැම් විට අප පමණයි. සමහර වැරදි අප ද නොදන්නවා වෙන්න පුළුවන්. මා සම්බන්ධයෙන් නම් මගේ වැරදි සමාජය දන්නවා. ඒ නිසා මට කිසි දිනෙක ප්‍රශ්නයක් වන්නේ නැහැ. මා හංගා ගෙන සිටි දෙයක් හෙළි වන්නේ නැහැ. මා කිසි දෙයක් හංගලා නැහැ. මගේ චරිතය මගේ ක්‍රියාවෙන් පේන්න තියෙනවා. මා රඟ පාන්නේ නැහැ.  මහජන මුදලින් පනුවන් කන සාම පරෙවියන් නැරඹීම සිට සියල්ල මා කියනවා. මගෙන් ප්‍රදර්ශනය වෙනවා. උගතුන්ට අනුව මා මීටරයක් නොව කිලෝමීටරයක් දුරින් තියා ගත යුත්තෙක්.


එහෙත් මිනිසුන්ට පිරිමින්ට මෙන් ම ගැහැණුන්ට හංගන්න අවශ්‍ය වැරදි තියෙන්න පුළුවන්. ඔවුන් ගැන කටයුතු කරන්න සොයා බලන්න සුබ සාධන නිලධාරීන් පත් කරන්න පුළුවන් නම් හොඳයි. ආණ්ඩුවට තියෙන වැඩ මදිවට මා තවත් වැඩක් පටවන්න හදන්නෙ නැහැ. ඒත් පීසිආර් පරීක්‍ෂණ නිසා පැන නගින ප්‍රශ්න තියෙනවා. මිනිසුන් හා මහජන සෞඛ්‍ය නිලධාරීන් අතර ඇතැම් විට ගැටුම් ඇති වෙනවා. පීසීආර් පරීක්‍ෂණ කරන්න කියන්න ඕන අයකුට පුළුවන්. ඒ සඳහා බටහිර වෙදමහතකු ම වෙන්න ඕන නැහැ. එහෙත් පරීක්‍ෂණවලින් පසු මිනිසුන් හා නිලධාරීන් අතර ප්‍රශ්න ඇති වන්නේ ඇයි ද කියන එක හොයා බලන්න ඕන. 


මේ ප්‍රශ්නවලට පිළතුරු සොයන්න උගතුන්ට බැහැ. අද මුළු අධ්‍යාපන ක්‍රමය ම අසමත් වෙලා. මේ අධ්‍යාපනයෙන් බිහි වූ අයට විසඳුම් දෙන්න බැහැ. අධ්‍යාපනය අසමත් වූ විට අරයා අසමත් මෙයා අසමත් කියන එකේ තේරුමක් නැහැ. හිතන්න බැරි මිනිසුන් බිහි කරන පාසල් හෙට නැවත ආරම්භ කරන්න යනවා. ඒ කරන්නේ කෙසේ ද යන්නට වෘත්තීය සමිතිවලින් නම් උපදෙසක් ලැබෙන්නේ නැහැ. ඔවුන් දන්නේ විරුද්ධ වෙන්න පමණයි. ඇමතිටත් ඒ ගැන කිසිම දෙයක් හිතාගන්න බැහැ. විසඳුමක් ලබා ගැනීමට උපකාර වන කරුණක් මා කියන්නම්. අවුරුදු දහතුනක් පාසලේ වැඩකට ඇති දේ කොපමණ උගන්වනවා ද කියා හිතා බලා තීරණයක් ගන්න. 


කොවිඩ් ගැන මිනිසුන්ට බය ලජ්ජාව තියෙනවා. ලැජ්ජ බය නැති කරල තියෙන සමාජයක තියෙන්නෙ කොවිඩ් බය ලජ්ජාව පමණ ද කියල අහන්න වෙනවා. මේ ප්‍රශ්නවලට පිටින් පිළිතුරු ලැබෙන්නෙත් නැහැ. හැම රටකට ම වගේ ප්‍රශ්න මිසක් පිළිතුරු නැහැ. අපට හිතන්නත් බැහැ. එන්නත හරි යයි ද? ඒ කත මේ කතට සහනයක් ගෙන දේවි ද? වසංගතය ඉබේට (ස්වභාවයෙන් ම) නැති වන තුරු අපට බලා ඉන්න සිද්ධ වෙයි ද? ඒමොකක් වුණත් අර විෂය නිර්දේෂය නම් සෑහෙන ප්‍රමාණයකින් කපල දාන්න පුළුවන්.