ඊනියා කරුණු හා ලෝකය
ඊයේ ලිපියෙහි මාතෘකාව අනුරුද්ධලාට ඉන්න හදන රම්‍ය සූරම්‍ය සුබ නොව අනිරුද්ධලාට ඉන්න හදන රම්‍ය සූරම්‍ය සුබ යනුවෙන් වෙනස් වෙන්න ඕන. මට අවශ්‍ය නිරෝධ නොවූ අයගේ ගෙවල් ගැන කීමටයි. අනුරුද්ධ යන්නට තේරුම් තිබෙන බව මට කිහිප දෙනකු ම දන්වා තිබුණා. සාමකාමී, අනුදකින, අනුදක්නා, යෙදී ඉන්න, භක්තිමත් ආදිය ඔවුන් සඳහන් කර තිබුණා. ඒ සියල්ලන්ට පින්!
මා අනිරුද්ධ යන්න අනුරුද්ධ ලෙස මුලින් ඊනියා නිවැරදි කිරීමකට ලක් කෙළේ මා දැන සිටි සංකල්ප, ප්‍රවාද, කතන්දර ආදිය මත ඉඳිමින්. එය වැරදි යැයි මා ඉන්පසු සිතන්නෙත් මා දන්නා කතන්දර මත පිහිටමින්. නිරුද්ධ කියන එක මගේ ශබ්දකෝෂයේ තියෙන්නක්. ඒ අනුවයි මා අනිරුද්ධ යන්න පසුව තේරුම් ගන්නෙ. අප ලෝකය බලන්නේ අපට පෙනෙන ආකාරයට. අපට ලෝකය පෙනෙන්නේ අප බලන ආකාරයට.
ලෝකය කියන්නේ අපේ සංස්කරණයක් නිර්මාණයක්. අප එකිනෙකාට ඇත්තේ එකිනෙකාගේ ලෝක. මේ ලෝකය කියන්නෙ දැනුම. දැනුම් අපේ සංස්කරණ. අපට වැඩිහිටියන්ගෙන් ගුරුවරුන්ගෙන් පොතපතින් දැනුම ලැබෙනවා කියා හිතනවා. එහෙත් අවසාන වශයෙන් අප දැනුම සංස්කරණය කර ගන්නවා. එය පදනම් වන්නේ විශ්වාසය මත.
විශ්වාසයෙන් තොර දැනුමක් නැහැ. මා කතා කරන්නේ දැනුම ගැන බව අවධාරණය කරන්න ඕන. අපි සමහර වෙලාවට පරිසිද්ධි (Facts) ගැන කියනවා. මා හිතන්නේ කරුණු කියන්නෙත් ඒවට කියල. අපි කරුණු කියල ම කියමු. මේ කරුණු කියන ඒවා වාස්තවික ද? ඒවා එහෙම ද? කරුණු කියන්නෙ ෆැක්ටස් කියන තේරුමෙන් නම් සමහරු කලක දි කිවුවා කරුණු පූජනීය (Facts are sacred) කියල. ඒත් පසු කලක බටහිර ම සමහරු කියන්න පටන් ගත්තා කරුණු ප්‍රවාද පරායත්ත (Theory dependent) කියල. ඒ කියන්නෙ ප්‍රවාද හරහා තමයි අපට කරුණු ලැබෙන්නෙ. කරුණු ප්‍රවාද මත රැඳෙනවා කියල.
ඒ කියන විධියට කරුණු, ප්‍රවාදයකින් එහෙම නැත්නම් කතන්දරයකින්, අර්ථකථනවලින් තොරව පවතින්නෙ නැහැ. කතන්දරේ අනුව තමයි කරුණු පේන්නෙ. කතන්දරත් අපේ සංස්කරණ බව අවධාරණය කරන්න ඕන. කරුණුත් සංස්කරණය කෙරෙනවා. කාට හරි හිතෙන්න පුළුවන් කිරි සුදුය කියන එක කරුණක් කියල. අප දන්න විධියට කිරි සුදු පාටයි. ඒකෙ මොකක් ද තියෙන සංස්කරණය, නිර්මාණය කියල අහන්න පුළුවන්.
ඒත් එතන කිරි කියල සංකල්පයක් තියෙනවා. අපි ඒ කිරි බව දන්නෙ කොහොම ද? ඒ කිරි කියල කියන්නෙ මොක ද? කිරිවලට අර්ථකථනයක් තියෙනවා. ඒක සමාජ සම්මුතයක්. සමාජ සම්මුතිය කියන්නෙ සමාජයෙ අදාළ කොටසෙ සම්මුතිය. සමාජ සම්මුතියක් නිසා අප එය විශ්වාස කරනවා. මා කියන්නේ කිරි කියන නම ගැන නොවෙයි. අපි හිතමු සමාජ සම්මුතිය එයට පැණි කියන්න කියල. අප එවිට කරන්නේ පැණි කියන වචනය නැත්නම් සංකල්පය සමහ එකඟ වෙන එක විතරයි. ඒකත් කෙරෙන්නේ සමාජ සම්මුතිය විශ්වාස කරන නිසා. සුදු කියන්නෙත් ඒ වගේ දෙයක්. ඒකත් අපට සමාජය පුරුදු කරල තියෙනවා ඒ සුුදු පාට කියල. දැන් තවත් ප්‍රශ්නයක්. පාට කියන්නෙ මොකක් ද? පාට, පාට වුණෙ කොහොම ද? පාට කියන්නෙ මොකක්ද කියල අපි දන්නවා. අපට ඒ ගැන අර්ථකථනයක් තියෙනවා. මේ සංකල්ප අපට දෙමව්පියන්ගෙන් වැඩි හිටියන්ගෙන් ලැබෙන ඒවා. අපි ඒ අය ගැන හා අවසාන වශයෙන් අදාළ සමාජ සම්මුතිය ගැන විශ්වාසයක් ඇති හෙයින් ඒ සංකල්ප අපේ කරගෙන යොදා ගන්නව.
අපි අපේ උස අඩි පහයි අඟල් හතරයි හරි හයයි හරි කියනවා. ඒක කරුණක් ද? දැන් උස කියන්නෙ මොකක් ද? කේසාන්තයේ සිට පාදාන්තයට ඇති දුර. උස ඒ අයුරින් අර්ථ දක්වල තියෙන්නෙ කවු ද? අපි ඒ අර්ථ දැක්වීම පිළිගන්නෙ, විශ්වාස කරන්නෙ ඇයි? දැන් අපි කියනවා අප වටා රැස් දහරක් ඇති බව. දන්නවා කියන්නෙ එහෙම සම්මුතියක් තියෙනවා. අපි ඒ සම්මුතිය විශ්වාස කරනවා. බටහිර විද්‍යාව කිරිලියන් ධාරා ගැන කතා කරනවා. කිරිලියන් කැමරාත් තියෙනවා. අපි උස කියන එක ඒ රැස් දහරාත් හසුවෙන විධියට අර්ථ දැක්වුවහොත් අපේ උස වෙනස් වෙනවා. එවිට එය තමයි සමාජ සම්මුතිය. එය තමය අපේ විශ්වාසය.
මගේ ලෝකය පොතේ සඳහන් වෙනවා අර උඩැක්කි වගේ ආසන ගැන. එවැනි ආසන ගැන සමාජ සම්මුතියක් තියෙනවා. උඩැක්කි වැනි ආසන දැකල නැති ආගන්තුකයකු දන්නෙ නැහැ ඒවා ආසන කියල. ඔහුට එහි වාඩි වෙන්න කිව්වත් විශ්වාසයක් නැති නිසා වාඩි වෙන්නෙ නැහැ. දැන් එය ආසනයක් කියන එක කරුණක් ද? ඒ ගෙදර ඉන්න අයට එය ආසනයක් බවට විශ්වාසයක් තිබුණත් අර ආගන්තුකයට ඒ ගැන විශ්වාසයක් නැහැ. ගෙදර අය ඊළඟට කරන්නෙ ආගන්තුකයාට ඒ විශ්වාසය ඇති කරන එක. ගෙදර අය වාඩි වෙලා පෙන්නන්න පුළුවන්. ආගන්තුකයට ටික වෙලාවකින් එය ආසනයක් බවට විශ්වාසය ඇති වේවි. ඔහු එහි වාඩි වේවි. දැන් ඔහුටත් ඒ උඩැක්කි වැන්න ආසනයක්. ඔහුටත් එය කරුණක්.
ග්‍රහ වස්තුවක් කියන්නෙ මොකක් ද? ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය ඒ ගැන අර්ථදැක්වීම් කරල තියෙනවා. ඒ අර්ථදැක්වීමුත් වෙනස් වෙනවා. දැනට තියෙන්නෙ 2006 අර්ථදැක්වීම. ප්ලූටෝ ග්‍රහ වස්තුවක් ද? අසූවෙ පමණ ඒ ගැන මතභේදයක් ඇති වුණා. පසුව කිවුවා ප්ලූටෝ ග්‍රහවස්තුවක් නොවෙයි කියල. ඒත් මේ ගැන තවමත් නිශ්චිත පිළිතුරක් නැහැ.
කිරි පැණි, සුදු, උස, ආසනය, ග්‍රහවස්තුව ආදිය ස්වායත්ත වාස්තවික කරුණු නොවෙයි. ඒවා කරුණු හැටියට පේන්නෙ අපට එලෙස ඒත්තු ගන්වා ඇති විට. සංකල්ප අර්ථදක්වා ඇති ආකාරයට, ප්‍රවාද අර්ථකථනය කෙරෙන ආකාරයට. ඒත් ඒ සියල්ල අප විසින් අර්ථදක්වා ඇති දේ. අප සංස්කරණය කර ඇති දේ. අප ඒවට හුරු වෙලා. අප හිතනවා ඒවා ඊනියා කරුණු කියා.
තර්කයත් එහෙමයි. තර්කය කියල අද යොදා ගැනෙන්නෙ ඈරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය මත පදනම් වෙච්ච අනුමාන නීතිවලට. අපට හුරු කරලා තියෙන්නෙ ඒ අනුමාන නීති හා න්‍යාය. මා තර්කය ගැන ගැන ලිපි කිහිපයක ම ලියල තියනවා. තර්කය තර්කානුකූල කියල පෙන්නන්න පුළුවන් ද? ඇරිස්ටෝටලීය තර්කය අපට කෙතරම් හුරු කරල තියෙනවා ද කියනවා නම් අප හිතනවා එය සාමාන්‍ය දෙයක් කියා.