Main Logo

Sunday 8 November 2020

ජාතික චින්තනය, වරකා ඉරුව, මියන්මාරය හා බයිඩන්

 ජාතික චින්තනය, වරකා ඉරුව, මියන්මාරය හා බයිඩන් 


ජාතික චින්තනය වරක ඉරුවකට ඌනනය කරන්න පුළුවන් කලාකාරයන් ඉන්න රටක අප ජීවත් වෙන්නෙ. ඒකට මාත් එක අතකට වෑරදිකාරයෙක්. ගුණදාස අමරසේකරගෙ ජාතික චින්තනය වරකා ඉරුවකට ඌනනය කරන්න පුළුවන් බව කියන්න තිබුණෙ බොහෝ කාලෙකට පෙර. ඒත් මෙහි සඳහන් කරන කලාකාරයා ගුණදාස අමරසේකර නොවෙයි. ඔහු නාට්‍ය ලෝකයේ නමක් හදාගන්න නැහෙන කෙනෙක්. ඔහුට ඊනියා ජාතික චින්තනය ඇතිවත් බැහැ නැතිවත් බැහැ. 


මගේ ලිපි කියවන්න අලුතෙන් පිරිසක් ඇබ්බැහි වෙලා. ඔවුන් පරණ ලිපි කියවල නැහැ. ඊයේ නිවන ගැන තිබූ ලිපියෙ එක් අයකු නිවන සාපේක්‍ෂ ලෙස අරගෙන. ඔහු අඩුම තරමෙන් මගේ ලෝකය කියවා නැති බවයි පේන්නෙ. ඔහු නිවන් අවබෝධකරගන්න හදන අයෙක්. සම්මාබෝධය පැත්තකින් තියන්නලු. අවබෝධ කරගන්නව නම් ඉතින් මනසෙන් තමයි. එහෙම අවබෝධ කර ගත්තා කියමු. ඉන් පස්සෙ මනසට මොකක් ද වෙන්නෙ. මනස නැති වෙනවා ද දිගට ම පවතිනවා ද? මේ ප්‍රශ්න ඇති වන්නෙ බුදුදහම වෛදිකකරණයට ලක් කිරීමේ ප්‍රතිඵල ලෙස. නූගතුන් කියන අයගෙ වැඳුම් පිදුම් මට ප්‍රශ්නයක් නො වෙයි. මාත් හැමදා ම උදේට තානාපති කාර්යාල භූමියෙ බුදු පිළිම වහන්සේට මල් පූජා කරන නූගතෙක්. උගතුන්ගෙ මුග්ධ දාර්ශනික තාර්කික කතා තමයි බුදුදහමට තියෙන ප්‍රශ්නය. මා කියන එක, මා යනුවෙන් කෙනකු ඉන්න බව කියන එක බොරු බව මෙනෙහි කරන්න. කාලෝගෙ කාළාම සූත්‍රය නොව බුදුහාමුදුරුවන්ගෙ කාළාම සූත්‍රය කියවන්න. ඒත් මා කී නිසා පමණින් කියවන්න එපා.


අද මියන්මාරයෙ මැතිවරණය. මියන්මාරයෙ බටහිර ඇඟිලි ගැහීම් වගේ ම චීන ඇඟිලි ගැහීමුත් තියෙනවා. වියට්නාමය දක්වා ම එහෙමයි. බටහිරට අනුගත වෙලා බටහිර පරාද කරන්න බැහැ. අද තායිලන්තයෙ මොකද වෙන්නෙ. චම්පක එ ජා පක්‍ෂයට අනුගත වෙලා එ ජා ප පරාද කරන්න ද හැදුවෙ. අනුරල යටත්විජිතල ඒක ම වෙනින් විධියකට කරන්න හැදුව ද? බටහිරට අනුගත වෙන එක එකක්. බටහිර දැනුම අපේ කරගන්න එක වෙන ම වැඩක්. වමාරන එක තවත්  වැඩක්.


මියන්මාරයෙ ජාතිකත්වයක් තියෙනවා. මියන්මාර වැසියන් තවමත් බටහිර අධ්‍යාපනය නිසා මනස් නරක් කරගෙන නැහැ. ඒත් ඒ කොපමණ කාලයකට ද කියන එක ප්‍රශ්නයක්. මියන්මාරයේ ඊනියා ජනවර්ග සියගණනක් තියෙනවා. ඉන් දහයක් පමණ ප්‍රධානයි. විවිධ ජනවර්ග එකතු කරල කිසි දා සංස්කෘතික ව  සෑම ජනවර්ගයකට ම සමාන අයිතිවාසිකම් ලැබෙන පරිදි රාජ්‍යයක් හදන්න බැහැ. ලෝකෙ කොහේවත් එහෙම රාජ්‍යයක් හදල නැහැ. පුළුවන් නම් උදාහරණයක් කියන්න. 


ඊනියා ජනවර්ගවලට බාහිරින් ආධාර ලැබෙන්නෙ නැත්නම් ඔවුන් ජාතියක් ප්‍රධාන වූ රාජ්‍යයක ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. නැත්නම් පුළුවන්කමක් තියෙනවා නම් වෙන්වෙලා යනවා. ඔය බලවත් ජාතීන් විවිධ ජනවර්ග සහිත රාජ්‍ය නොව අධිරාජ්‍ය ගොඩනගා ඇත්තෙ ප්‍රජාතන්ත්‍රවාදයකින් නොවෙයි. බොහෝ කලකට පෙර මොංගෝලියාව අධිරාජ්‍යයක් ගොඩ නැගුවෙ ප්‍රජාතන්ත්‍රවාදයකින් නොවෙයි. චීන මහා ප්‍රාකාරය නොවන්නට මොංගෝලියන්වරු කොපමණ දකුණට එන්න තිබුණ ද? 


අද ලෝකයේ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව බාහිර උසිගැන්වීම්, උපකාර. ලංකාවට පුළුවන් වුණා රාජ්‍ය තාන්ත්‍රික උපායවලින් හරි කොහොම හරි (බොරු කීමත් රාජ්‍ය තාන්ත්‍රික උපායක්, හැබැයි ලස්සන වචනවලින් කියන්න ඕන. ගිවිසුම්වලින් වැඩිය කෙරෙන්නෙ මොකක් ද) රණවිරුවන්ට පින්සිදුවන්න බාහිරින් ආධාර ලබපු දෙමළ වෙල්ලාල ජාතිවාදය පරාජය කරන්න. ඒ ජයග්‍රහණය මොන තරම් දෙයක් ද කියන එක තවමත් ඇතැම් ජාතිකවදීනට ද තේරෙන්නෙ නැහැ. 





මේ වන විට බයිඩන් ජනාධිපතිවරණය දිනලා. මෙරට පඬියන් කියන විධියට නම් ඔහු මැන්ටලයක්. ට්‍රම්ප් වුණත් මැන්ටලයක්. ඒ රටේ තරුණයන් නැද්ද කියල මෙරට පඬි නැට්ටන් අහන්නෙ නැහැ. ඒ වෙනුවට ඇතැමුන් බලා ඉන්නවා බයිඩන් සිංහල බෞද්ධයනට පාඩමක් උගන්නල දෙමළ ජනයාගේ නැති ප්‍රශ්නය විසඳන තෙක්. බයිඩන් කියන්නෙ නැවත ඊනියා ලෝක ගම්මානයෙ ගම්මුලාදැනියා වෙන්න බලා ඉන්න අයෙක්. එහෙත් ඔහු දන්නෙ නැහැ ඔය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපිතයෙ ඊනියා ජාත්‍යන්තරය කඩා වැටිල බව. 


අද බටහිර ලෝකයේ ඩෙමොක්‍රටික් වර්ගයේ පක්‍ෂ තමයි ඔය සිහින ජාත්‍යන්තරය  පවත්වගෙන යන්න වැඩියෙන්ම උත්සාහ කරන්නෙ. ඔවුන් ඒ සඳහා අර බොරු වචන, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, ස්වයං නීර්ණ අයිතිය ආදිය පාවිච්චි කරනවා. ජාතින්ගේ ස්වයංනීර්ණ අයිතිය ජනවර්ගවලටත් තියෙනව ද කියල පඬි නැට්ටන් අහන්නෙ නැහැ. ඒ මොකක් වුණත් අද ජාතීන්ගේ ස්වයං නීර්ණ අයිතිය කියන්නෙ ඔය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ස්වයං නීර්ණ අයිතියට.


නූතනත්වය යනුවෙන් මා අදහස් කරන දේ ලිපි රාශියක ම ලියා ඇති. ඒක බටහිරයන් කියන නූතනත්වය ම වෙන්න ඕන නැහැ. බටහිරයන් නූතනත්වය නිර්වචනය කරන්නෙ ඔවුන්ගෙ සංස්කෘතියට සාපේක්‍ෂ ව. මා නූතනත්වය නිර්වචනය කරන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂ ව. පඬි නැට්ටන් කිසි දෙයක් නිර්වචනය කරන්නෙ නැහැ. ඔවන් බටහිරයන්ගෙ නිර්වචන වමාරනවා. 


බයිඩන් ජනාධිපතිවරණය දිනුවට ජයග්‍රහකයෙක් නොවෙයි. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය (හැබෑට ම පශ්චාත්නූතනත්වයට මොක ද වුණෙ, දැන් තියෙන්නෙ පශ්චාත් පශ්චාත් නූතනත්වයක් ද?) කඩා වැටිල හින්ද. එක අතකට ඒක ඇට්ලි ඊනියා දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙ එංගලන්තෙ අගමැති වුණා වගේ. හැබැයි ට්‍රම්ප් කියන්නෙ චර්චිල් කෙනෙක් නො වෙයි. ට්‍රම්ප් කඩා වැටෙන බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට නායකත්වය දෙන්න ගියේ නැහැ. ඔහු පුරසාරම් දෙඩුවත් තමා නියෝජනය කරන සංස්ථාපිතයෙ තරම දැන ගෙන හිටිය. 


බයිඩන් යටතෙ චීන විරෝධය ඔඩු දුවාවි. ඔහු අප යුද්ධයකට කැඳවන් යන්න ඉඩ තියෙනවා. එහෙත් අද බටහිර ශක්තිමත් නැහැ. යුද්ධෙකට ගියොත් බයිඩන් නැත්තට ම නැති වේවි. චීනය අර කවුදො කිවුව වගේ චීණයක් වෙන්නෙ නැතිව දකුණු චීන මුහුදු ආධිපත්‍යය අත්හැරල මේ කලාපයේ රටවල් දිනාගන්න උත්සාහ කෙළෙ නැත්නම් චීනයත් බටහිරත් දෙක ම ඇද වැටේවි. චීනය ලංකාවෙ පෝට්සිටිය චීනසිටියක් කරන්න බලා ඉන්නව නම් චීනයට වැඩ වරදීවි. ඒ කියන්නෙ බයිඩන්ට හරියනව කියන එක නොවෙයි. 


බයිඩන්ගෙ උප ජනාධිපතිනිය කමලා දේවි හැරිස්. ඇය මට වඩා හරියට ම අවුරුදු විස්සක් බාල බව පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහා කියන්න ඕන. ඇය අසූගණන්වල කොළඹ විශ්වවිද්‍යාලෙ හා වෙනත් විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත අයගෙ වයස්වල. ඔවුන් ද ලංකාවෙ දේශපාලනයෙ යමක් කරන්න පුළුවන් අය. අර වරක ඉරු නාට්‍යකාරයාත් ඒ දවස්වල කොළඹ හිටියෙ. ඔහුටත් නාට්‍යයක් දෙකක් නිර්මාණය කරගන්න පුළුවන්.  හැරිස්ගෙ මවගෙ පියා හා මව දකුණු ඉන්දියාවෙ, වත්මන් තමිල්නාඩුවෙ බ්‍රාහ්මණ වාංශිකයන්. ඇයගෙ උපදේශිකාවක් ලංකාවෙ දෙමළ ජනකොටසක සම්භවයක් සහිත අයෙක්. ඒහෙත් අර සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටා බලාපොරොත්තුවන ආකාරයට බයිඩන්-හැරිස් ආණ්ඩුවට නැති දෙමළ වෙල්ලාල ප්‍රශ්නයට අතගහන්න බැහැ. ඒ ආණ්ඩුව හා රාජ්‍යය හා සංස්ථාපිතය දුර්වල නිසා. ඒ වුණත් බයිඩන්ට ලෝක ගම්මුලාදෑනියා වීමේ තණ්හාව නැතිවන එකක් නැහැ. තණ්හාය ජායතී සෝකෝ.   


මියන්මාරයෙ ඡන්ද ප්‍රතිඵලය අවිනිශ්චිත නැහැ. සු චී නෝනා දිනාවි. ඒත් හමුදාවත් බලවත්. මා එතැනින් එහාට යමක් කියන්නෙ නැහැ. ඒ මොකක් වුණත් මාලදිවයිනේ සිට වියට්නාමය දක්වා කලාපයෙ තමයි ලෝකයේ ම අනාගතය තීරණය වෙන්නෙ. බයිඩන්-හැරිස් මොකද කියන්නෙ.