පඬිපෝතිකාවන්ගේ දුප්පත්කම
පසුගිය දා පේරාදෙණියෙ පඬි පෝතිකාවක් තම නොහැකියාව ප්‍රකාශ කරල තිබුණ. මට හරියට ම මතක නැහැ ඇය කියා තිබූ වචන. ඒත් ඇය කියා තිබුණෙ මෙන්න මෙවැන්නක්. ලංකාවෙ අද බර වචන පාවිච්චි කරන ඕනෑම අයකුට උගතකු ලෙස පෙනී ඉන්න පුළුවන්. අනිත් මිනිස්සු නොමග යවන්නත් පුළුවන්. ඒත් නලින් ද සිල්වා බර වචන පාවිච්චියකුත් නැතිව ජනමතයක් ගොඩනගනවා. එය පරාද කිරීමට නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ බුද්ධිමය දරද්‍රතාව. ඇය මතක් කරල තිබුණ හඳගමගෙ තනි තට්ට ගැන මා චිත්‍රපටය නරඹන්නෙ නැතිව විචාරයක් ලියල තිබුණ කියල. සිංහල බෞද්ධ විරෝධී හඳගමලගෙ චිත්‍රපට ගැන ලියන්න චිත්‍රපට බලන්න අවශ්‍ය නැහැ කියන එක මා කියා ඇති.
කැලණිය විශ්වවිද්‍යාලයෙ හිටිය ශිෂ්‍යයෙක් කියල තිබුණ තව කතාවක්. ඔහුට අනුව මා කියන දෙයක් මිනිසුනට වැටහෙන්නෙ නැහැ. ඔහු උදාහරණයකට අරන් තිබුණෙ ආධිපත්‍යය කියන එක. මා වැඩිය බර වචන පාවිච්චි කරන්නෙ නැති බවට පඬි පෝතිකාව කියන එකේ නම් ඇත්තක් තියෙනවා. මා වැඩිය බර වචන දන්නෙත් නැහැ. ආධිපත්‍යය කියන එක බර වැඩි ද දන්නෙ නැහැ. බුද්ධිමය දරිද්‍රතාව කියන එකත් බර වැඩිවෙයි. අපි ඒකට උගතුන්ගෙ දුප්පත්කම කියමු. දුප්පත්කම කියන්නෙ මුදලින් නොවෙයි. විශ්වවිද්‍යාලවල දැන් හොඳ පඩි ගෙවනවා.
ඉහත සඳහන් කතා දෙකේ කියන්නෙ දෙකක් නොවෙයි. එකක්. අපේ රටේ මිනිසුන්ට තියෙන්නෙ මහා දුප්පත්කමක්. විශ්වවිද්‍යාලවල තමයි මේ දුප්පත්කම වැඩිය ම තියෙන්නෙ. ඒවට බඳවා ගන්නෙ දුප්පත් ම අය. ඒකෙන් කියන්නෙ නැහැ පොහොසත් අය පිට ඉන්නව කියල. පිට ඉන්න සමහරු අන්ත දුගී අය. ඔවුන් පෙන්නන්න හදනව තමන් හරි පොහොසත් කියල. ඒ ගොල්ලන්ට මහා හීනමානයක් තියෙනවා. ඔවුන් හිතන්නෙ තර්කය කියන්නෙ මහා දෙයක් කියල. ඒකට විශ්වාසය අවශ්‍ය නැහැ කියල. ඒත් තර්කයත් පදනම් වන්නෙ විශ්වාසය මත.
භාෂාව හා තර්කය එක්ක අපට සෙල්ලම් කරන්න පුළුවන්. මේ ළඟදි මට මගේ පුතාගෙ යහළුවෙක් (පුතාලගෙ යහළුවොත් එක්කත් මට ගණුදෙනුවක් තියෙනවා. මට අකමැති යහළුවොත් ඉන්නවා.) මතක් කළා අර මාක් ට්වේන් කියන හාදයගෙ කියමනක්. ඔහු කියා තියෙනවා මට කෙටි ලිපියක් ලියන්න වෙලාව නැහැ. ඒ නිසා මා දිග ලිපියක් ලියනව කියා. මෙය පරස්පරයක් කියල හිතේවි. නැත්නම් ඒකට හිනහයාවි. ඒත් මේ ප්‍රකාශයෙ පළමුවැනි වාක්‍යය අපි වෙන විධියකට ලියමු. මට දිග නැති ලිපියක් ලියන්න වෙලාව නැහැ. දැන් මේකෙ නැති කතාවල් අයින් කරමු. අර බර වචනයක් යොදා ගත්තොත් නිෂේධ කතා නිෂේධ කරමු. එංගල්සුත් ස්වභාවයේ අපෝහකය පොතේ කියල තියෙනවා නේ නිෂේධයෙ නිෂේධය ගැන. අර වාක්‍යයෙ නිෂේධයේ නිෂේධයෙන් ලැබෙන්නෙ මට දිග ලිපියක් ලියන්න වෙලාව තියෙනවා කියල. ඒ කියන්නෙ දෙවැනි වාක්‍යයෙ අදහස. ඔය තමයි භාෂාව හා තර්කය යොදා ගන්න පුළුවන් විධි. මේකට පඬි නැට්ටන් කලබල වෙලා උත්තර බඳින්න ඕනෙ නැහැ. ඕන ම නම් ඒ තර්කයේ වැරුද්දත් මා පස්සෙ දවසක කියල දෙන්නම්. දැනට රස විඳින්න.
ඒ කොහොම වෙතත් අපේ රටේ තියෙන්න අදහස් නැති කම. දුප්පත්කම ඇත්තෙ එතැනයි. අර කොවිඩ් අලුත්ගේ හැමදා ම පරණ කතාව කියන්නෙ. අර සිතියම හදන්න විශේෂ කාර්ය බලකායක් පත් කරමු ද? කොවිඩ්ගේ පරණ කතාව ගැන කිව්ව ම පඬි නැට්ටකු අහල තිබුණ තානාපතිතුමාගෙ (ඒ කියන්නෙ මගේ) අලුත් කතාව මොකක් ද කියල . එහෙම තමයි අපේ පිළිවෙළ. බර වචනයක් පාවිච්චි කළොත් අප දන්නෙ සාදෘශ්‍ය හා ප්‍රතිසාදෘශ්‍ය (මගේ වචනයක්). එහෙම නැත්නම් සමාන ව බැලීම (පෙනීම) හා අසමාන (විරුද්ධ) ව බැලීම.
මටත් අලුත් කතාවක් නැහැ. පේරාදෙණියෙ පඬි පෝතිකාවට සහ ඇගේ මිතුරු මිතුරියන්ට මා කියන දේ පරාද කරන්න බැරි මා කියන්නෙ පරණ කතාවක් නිසා ම තමයි. පඬි පෝතිකාවන් දන්න ඉංගිරිසි කතාවක් අනුව මා කරන්නෙ පරණ වයින් අලුත් බෝතල්වලට දැමීම. මා කරන්නෙ මට තේරෙන බුදුහාමුදුරුවන්ගෙ දේශනා දැන් තියෙන භාෂාව දැනුම ආදිය යොදා ගෙන කියන එක විතරයි. සුපිරි ජාතිකවාදියො අහන්න බැරි නැහැ බුදුදහාමුදුරුවො වයින් පෙරුව ද කියල. අපොයි නැහැ. වයින් හා පාන් තියෙන්නෙ ක්‍රිස්තියානි සංස්කෘතියෙ පඬි පෝතිකාවන් දන්න ඉංගිරිසියෙන් නෙ. මා මේ පඬි පෝතිකාවට තේරෙන්න යමක් කියන්න හදනවා පමණයි.
පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් හා ඔවුන්ගෙ ස්ත්‍රී ලිංගිකයන්ට බුදුහාමුදුරුවො කියල තියෙන ඒවයෙ වරදක් හොයා ගන්න බැරි වේවි. බුදුහාමුදුරුවො, මගේ බුදුහාමුදුරුවො දේශනා කළෙ නොදැනුම. ඉතින් දැනුම පස්සෙ යන අයට ඔය නෙදැනුම පරාද කරන්න පුළුවන් ද? පඬි පෝතිකාවන්ට ඔය බටහිර දැනුමෙවත් අලුත් දෙයක් කියන්න බැහැ. ඔවුන්ට වමාලාට ලිබරල්වදී ආදීනට කරන්න පුළුවන් එක ම දේ වැමෑරීම පමණයි. ඔවුන්ට බටහිරින් යමක් එනකම් ඉන්න ඕන වමාරන්න.
නිවන කියන්නෙ නොදැනුම කියල පඬි නැට්ටන් හිතනවා. නිවන මනසින් තියා මොහොකින්වත් අවබෝධ කරගන්න දෙයක් නො වෙයි. නිවන කියා දෙයක් නැහැ. නිවන ඇති තැනක් නැහැ. අප එක එක දේ අවබෝධ කරගන්නෙ, නැත්නම් සංස්කරණය කරන්නෙ නම් මනසින්. මනසින් දන්න දේ නැත්නම් මනසින් සංස්කරණය කරන දේ සියල්ල බොරු. ඉන් සමහරක් පට්ටපල් බොරු. අබෞද්ධයන්ට ඕක අවබෝධ වෙන්නෙ නැහැ. මට තියෙන ප්‍රශ්නය බෞද්ධයන් කියන අයටත් ඒ කතාව අවබෝධ නොවීම.
මේ රටේ තියෙන්නෙ බෞද්ධයන් කියන අය වෛදික බමුණන්ට හා බටහිර බමුණන්ට යට වීමේ ප්‍රශ්නය. ඔවුන්ගේ අණසකට යට වීම. ඉස්සර වෛදික බමුණන්ට යට වුණා. අපේ ඉතිහාසයේ වෛදික බමුණන්ට විරුද්ධව කරපු අරගල තියෙනවා. මා කැමති ම පොත උම්මග්ග ජාතකය. ඒක දඹදෙණි යුගයෙ වෛදික බමුණන්ට එරෙහිව ලිවුව පොතක්. අර කේවට්ටයගෙ හොම්බ බිම අතුල්ලන එකෙන් කියැවෙන්නෙ මොකක් කියල ද හිතන්නෙ. වීරයකු තෝර ගන්න ඕන නම් මා තෝරා ගන්නෙ මහෞෂධ පඬිතුමා.
අද තියෙන්නෙ බටහිර බමුණන්ට විරුද්ධ ව කරන අරගලය. පඬි පෝතකයො කියන්නෙ බටහිර බමුණන්ගෙ නියෝජිත වමාරන්නො (ෆ්‍රැන්චයිස්ඩ් වොමිටර්ස් කියමු ද) . මේ බමුණන්ගෙ අණසක හැම තැන ම පතුරවල. එදා බුදුදහම වෛදික බමුණන්ට යට කළා වගේ අද බුදුදහම බටහිර බමුණන්ට යට කරල. අප බටහිර හරි වෛදික හරි දැනුම ප්‍රතික්‍ෂෙප කරනව කියල මේකෙන් කියන්නෙ නැහැ. අපි කේවට්ටයන්ගෙ අණසකට යටත්වෙන්නෙ නැහැ. කේවට්ටයන්ට අප යට කරන්න බැහැ. පඬි පෝතිකාව තම උගත්කමේ දුප්පත්කම හැටියට දකින්නෙ එයයි.
අද බලන්න බටහිර වෙදකමට කිසිම දෙයක් කර ගන්න බැරි වුණාට අප ඔවුන්ගෙ අණසකට යටයි. කවුද පඬි නැට්ටකු අහල තිබුණ දුම් හට්ටිය ගැන ඊනියා පර්යේෂණ පත්‍රිකා ලියල තියෙනවා ද කියල. ඒ කියන්නෙ අපේ දැනුම බටහිරයන් පිළගන්නෙ එය ඔවුන්ගෙ මිනුම් දඬුවලට අහු වෙනව නම් පමණයි. කවුද රාජ්‍ය නොවන පඬි පෝතකයකු කියල තිබුණ බටහිරයන් දැන් අන් දැනුම්වලටත් විවෘත කියල. බටහිරයන් එදා ඉඳල කරල තියෙන්නෙ වෙනත් අයගෙ දැනුම් ඔවුන්ගෙ බවට පත් කර ගැනීම. කොපර්නිකස් කාලෙ ඉඳල ම එහෙමයි. මේ පඬි පෝතකයන් දන්නෙ නැහැ එක දැනුම් පද්ධතියක දැනුම වෙනත් දැනුම් පද්ධතියක් තමන්ගෙ බවට පත් කර ගන්නෙ, නැත්නම් බර වචනයක් යොදා ගත්තොත් අවශෝෂණය කරගන්නෙ කොහොම ද කියන එක. අපත් විරුද්ධ නැහැ බටහිර හරි වෛදික හරි දැනුම් අපේ කරගන්නවට. අප විරුද්ධ ඔවුන්ගෙ අණසකට යටත්වෙලා ඒ දැනුම වමාරනවාට.
බුදුහාමුදුරුවන් අනුව යමින් මා අහන ප්‍රශ්නයක් තියෙනවා. මනසින් තොර යථාර්ථයක් ඇති බව මනසින් තොර ව පෙන්වන්න. ඔය ප්‍රශ්නයට බටහිර බමුණන්ටවත් වෛදික බමුණන්ටවත් පිළිතුරක් නැහැ. මෙහි යථාර්ථය කියන්නෙ ඊනියා ද්‍රව්‍යමය යථාර්ථයක් වෙන්න ඕන නැහැ. දේවල් නිච්චියට ම වෙනව ද අහම්බෙන් වෙනව ද අහම්බෙන් නොවන දේ තියෙනවා ද ආදී එක ප්‍රශ්නයක්වත් ඒවාට දෙන පිළිතුරක්වත් මනසෙන් තොර නැහැ. බර වචනවලින් කියනව නම් මනසින් ස්වායත්ත නැහැ. මා ඒ කිසිවක් සතපහකට ගණන් ගන්නෙ නැහැ. මනසෙන් තොර ද්‍රව්‍යමය යථාර්ථයක් තබා මනෝමය යථාර්ථයක්වත් නැහැ. මේව තියෙනව නම් තියෙනව කියල පෙන්නන එක බටහිර හා වෛදික බමුණන්ගෙ වැඩක්. එක බමුණකු කියා තිබුණ ගණිතය එවැනි මනෝමය යථාර්ථයක් කියල. ඒ බමුණ නොදන්න දේ තමයි ගණිත සත්‍ය කියල එකක් නැති බවත් ගණිත ප්‍රමේය සෑම විට ම යම් උපකල්පනයක් මත රඳා පවතින බවත්. ඒ උපකල්පන සත්‍ය ද කියල දන්නෙ කවු ද? බමුණගෙ බමුණු ගුරුවරයා ද? තර්කය විශ්වාසය මත පදනම් වෙනව වගේ ම ගණිතයත් විශ්වාසය මත පදනම් වෙන්නෙ.
පඬි පෝතිකාවන්ගෙ දුප්පත්කම අපට හොඳට තේරෙනවා. අර බමුණන් දුප්පත් වෙද්දි වමාරන්නන් හා වමාරන්නියන් දුප්පත් නොවී ඉන්නෙ කොහොම ද? මේ වමාරන්නන් හා වමාරන්නියන් අපට ප්‍රශ්නයක් වන්නෙ ඔවුන් ඊනියා විද්‍යාත්මක සත්‍ය කියමින් බෞද්ධයන් යට කරන්න එන තැන පමණයි. දුම් හට්ටියේ විද්‍යාත්මක බව හොයන්නෙ ඒ ඊනියා විද්‍යාත්මක මිනුම් දඬු එකම මිනුම් දඬු බවට පත් කරල. ඒ අර මනසින් තොර ඊනියා යථාර්ථය දැන ගන්න විධිය හරි ඒ දිශාවට යන විධිය හරි ඇත්තෙ බටහිර ක්‍රමයෙ පමණක් බව තම දේශපාලන අණසක යොදමින් අපට ඒත්තු ගන්න සලස්සල.