Main Logo

Friday, 13 November 2020

විශ්වාස හා නිවුටන්ට පොල්ලක්

 


 විශ්වාස හා නිවුටන්ට පොල්ලක් 


මොන ඉලක්කම් හරඹයකින්වත් ලෝක ආර්ථිකය හා දේශපාලනය කඩා වැටිල කියන එක වහන්න බැහැ.  ඒක නැහැ කියන්න ඕන නැහැ. ලංකාවෙ  ආර්ථිකය වැටෙන්නෙ වත්මන් ආණ්ඩුවේ දුර්වලකමක් නිසා  නොවෙයි. මට හිතා ගන්න බැහැ (මා ඊයේ සඳහන් කළ වියුක්ත අරුතින් නො වෙයි) අනුරගේ සහාය ලබන සජිත්ගේ ආණ්ඩුවකින් මොකක් වෙන්න තිබුණ ද කියන එක. සජිත්ගෙ ආණ්ඩුවක් හිතෙන් මවා ගන්න පුළුවන්. සජිත් වියුක්ත නැහැ. බොහොම සංයුක්තයි.


වියුක්ත කියන්නෙ මනේන්ද්‍රියට ගෝචර කියන එක නොවෙයි. දෙමළ ජනයාට විරුද්ධ වීම පදනම් කරගත් ජාතිකත්වයක ඉන්න පඬි පෝතකයකු හිතන්නෙ මනේන්ද්‍රියට ගෝචර වෙන දේ වියුක්ත කියල. ඔහු හෑලි ලියනව ඒ මත පදනම් වෙලා. ඔහුට මා පඬි පෝතකයා කියන නිසා ඔහු හිතනවා මා නිහතමානී නැහැ කියල. අමරසේකර නම් නිහතමානිලු. අර සමහරුන් නිහතමානිව ආඩම්බර වෙනව නෙ. අමරසේකර කොහොමත් බටහිර විද්‍යාවේ ආධිපත්‍යය පිළිගන්නවා. ඊයේ ආණ්ඩුවේ එක්  රුපවාහිනී නාළිකාවක් හැපි බර්ත්ඩේ අමරසේකර කියල. චක් චක් කිව්වද කියල දැනගන්න බැරි වුණා. නෑ නෑ හරක් දක්කන්න නොවෙයි. 


බටහිර විද්‍යාවෙ ආධිපත්‍යය පිළිගන්න අයගෙ අදහස්වලට මා පහර දෙනවා. එහෙම කරන්නෙ නිහතමානි ව ද නැද්ද කියල මා දන්නෙ නෑහැ.  මට ඒක වැඩක් නැහැ. පඬි පෝතකයාට අනුව මා නිහතමානි නොවන්න පුළුවන්. ඉතින් කාට ද ආඩම්බරේ. මනේන්ද්‍රියට ගෝචර වෙනවා කියන එකෙන් කියන්නෙ මනසට ගොදුරු වෙනවා කියන එක. මා අභිධර්මය ඉගෙන ගෙන නැහැ. මනසට අරමුණු වෙන දේ අතර හිතෙන් මවා ගන්න පුළුවන් දේ තියෙනවා. අප මසැසින් දැක නැති වුණත් පරසතු මල් හිතෙන් මවා ගන්න පුළුවන්. වියුක්තය එවා ගැන නොවෙයි. හිතෙන් මවා ගන්නවා කියන්නෙ පංචෙන්ද්‍රිය ආශ්‍රයෙන් කෙරෙන මවා ගැනීමක්. පංචෙන්ද්‍රිය සෘජුව ම සම්බන්ධ නොවෙනවා වෙන්න පුළුවන්. අප පරසතු මල් මවා ගන්නෙ ඇසින් දුටු ගස් මල් ආදිය ආධාර කරගෙන. 


සරල රේඛාවක් හිතෙන් මවා ගන්න බැහැ. අපි සරල රේඛා හරි මොන රේඛා හරි දැකල නැහැ. පැන්සලෙන් අඳින්නෙ සරල රේඛා නොවෙයි. ඒවට ඝනකමක් තියෙනවා. මා කිහිප වතාවක් කියා ඇති සරල රේඛාවක් අඳින්න පුළුවන් තුඩක් නැති පැන්සලකින් කියල. ඒක අනන්තයට ම අඳින්න අමතක කරන්න එපා. ටිකක් වෙලා යයි ද? අර සරල රේඛාවෙ තිර රූපයක් (ස්ක්‍රීින් ෂොට් එකක්) හිතෙන් මවා ගන්න පුළුවන් ද? අපි පස්සෙ මේ ගැන එන එන හැටියට තවත් කතා කරමු. 


මා ඊයේ වමාල අතර ඉන්න පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට ප්‍රශ්නයක් දුන්න. මුස්ලිම් බැතිමතුන්ගේ විශ්වාසයට ඉඩ දෙනවා ද? විද්‍යාව පිළිබඳ විශ්වාසයට ඉඩ දෙනවා ද කියා. මා හිතන්නේ ඔවුන් ගලවා ගැනීමට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්මන්ධීකාරිණිය ඇවිත්. ඇය කියල බටහිර විද්‍යාවට අනුව භූමදාන කළාට ප්‍රශ්නයක් නැහැ කියල. ඇය මූලාශ්‍රයක් ඉදිරිපත් කරල නම් නැහැ. එහෙත් ඇය කියනවා එහෙම තමයි කියල. අපිට ඇය කියන දේ පිළිගන්න වෙනවා. ඇය එක්සත් ජාතින්ගෙ සංවිධානයෙ නොවැ. 


දැන් ඉතින් අර පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට කිසිම පැකිළීමක් නැතිව කියන්න පුළුවන් මුස්ලිම් බැතිමතුන්ට භූමදානය කරන්න ඉඩ දෙන්න කියල. දැන් කවුරු හරි ඇහුවොත් බටහිර විද්‍යාවෙ ඊනියා පරීක්‍ෂණ කරල තියෙනවා ද ඔය කියන වයිරසය ජලය ආධාර කරගෙන පැතිරෙන්නෙ නැහැ කියන්න. අර සම්බන්ධිකාරිණිය එවිට මොනව කියාවි ද? ජනමාධ්‍යවේදීන්ට ඇගෙන් තියා කොවිඩ් අලුත්ගේගෙන්වත් ප්‍රශ්න කරන්න පුළුවනැ. 





මා ඊයේ විශ්වාස ගැන කිවුවා. ඇත්තේ ආගමික විශ්වාස පමණක් නොවෙයි. බටහිර විද්‍යාවෙ  තියෙන්නෙත් විශ්වාස. හිතෙන්වත් මවා ගන්නවත් බැරි සංකල්ප ප්‍රවාද ගැන තියෙන විශ්වාස. ස්වර්ගය අඩු ගානෙ හිතෙන් මවා ගන්න පුළුවන්. මොන දෙයියට ද ගුරුත්වාකර්ෂණ බලය හිතෙන් මවා ගන්න පුළුවන්. ඉස්සර ඒ කාලෙ ම නිවුටන්ගෙ ඇහුව ප්‍රශ්නය තමයි කෝ ගුරුත්වාකර්ෂණ කඹය හරි පොල්ල හරි කියල. ඒ කියන්නෙ බලයක් නම් එක්කො කඹයකින් අදින්න ඕන. එහෙම නැත්නම් පොල්ලකින් තල්ලු කරන්න ඕන. මේව විදුසරේ මා ලියල තියෙනවා.


පස්සෙ කාලෙක මැක්ස්වෙල් ක්‍ෂෙත්‍රය කියන සංකල්පය ඉදිරිපත් කළා. ඒත් ඒකත් වියුක්තයි. අර්නස්ට් මාක් කියන විද්‍යාඥයා තමයි මුලින් ම ඔය වියුක්ත සංකල්ප භෞතික විද්‍යාවෙ  යොදා ගන්නවාට විරුද්ධ වුණේ. ඔහු අවස්ථිති සමුද්දේශ රාමුවලට විරුද්ධ  වුණා. මාක් වියනා කවය කියන දාර්ශනික කවයේ පුරෝගාමියෙක්. ඔහු දාර්ශනිකයෙක් ද කියන්න මා දන්නෙ නැහැ. කොහොම හරි මාක්ගෙ අදහස් අයින්ස්ටයින්ට බලපැවා. අයින්ස්ටයින් අර අවස්ථිතිය ඉවත් කළා. අවකාශ – කාලයෙ වක්‍රතාව ඉදිරිපත් කළා. ඒක හිතෙන් මවා ගන්න දොස්තර හොඳහිතටවත් පුළුවන් ද කියල මා දන්නෙ නැහැ. මට නම් බටහිර විද්‍යාව ගැන හොඳහිතක් නැහැ. බටහිර විද්‍යාවෙ තියෙන විශ්වාස ඇතැම් ආගමික විශ්වාසවලට හපන්. බටහිර විද්‍යාවෙ විශ්වාස ඇතැම් විට හරියනවා. අනෙක් ඒවත් එහෙමයි. ජ්‍යොතිෂයත් ඇතැම් විට හරි යනවා.


කවුද අහල තිබුණ විශ්වාසයන්ට ඉඩ දීමෙන් කිසිදු අවිශ්වාසයක් ගොඩ නැගේ ද කියල. විශ්වාසවලට ඉඩ දෙන කොට අවිශ්වාසත් ගොඩ නැගෙනවා. අර සර්වබලධාරී දෙවියන් ගැන විශ්වාසයක් මෙන් ම අවිශ්වාසයක් ද තියෙනවා. ආත්මය ගැන විශ්වාසයක් මෙන් ම අවිශ්වාසයක් ද තියෙනවා. ඔය බටහිර විද්‍යාව ලැහැස්ති වුණෙ හැමෝගෙම විශ්වාසයක් ගොඩ නගන්න. ඒ සඳහා ඔවුන් විවිධ උපක්‍රම යොදා ගත්ත. ඊනියා ඥානවිභාගය මගින් දැනුම කියල එකක් තියෙනවා කියන්න හැදුව. අනෙක්වා මිථ්‍යා එහෙමත් නැත්නම් විශ්වාස කියන්න හැදුවා. ඊනියා වාස්තවික දැනුමක් තියෙනවා කියන්න හැදුවා. වාස්තවික යථාර්ථය වගේ සංකල්ප සංස්කරණය කළා. මේ සියල්ල කෙළේ දේශපාලන බලය යොදා ගෙන. පාසල්, විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය, ඊනියා පර්යේෂණ ආයතන තමයි යොදා ගැනෙන ආයුධ.


මනසින් තොර යථාර්ථයක් තියෙන බව මනසින් තොරව පෙන්නන්න කියලයි මා කිවුවෙ. ඒ ප්‍රශ්නය ඒ විධියට ම තියන්න විකෘති නොකර. එක් අයකු මෙය දැක්කෙ මනසින් තොර යථාර්ථයක් තියෙනවා එය පෙන්වන්න කියන අර්ථයෙන්. අර ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 බව පෙන්නනවා වගේ. නැහැ මේකෙන් එහෙම දෙයක් නොවෙයි මා කියන්නෙ. ඊනියා යථාර්ථයක් තියෙන බව පෙන්වන කියා. ඒක කිසි දිනෙක කරන්න පුළුවන් එකක් නොවෙයි. ඊනියා යථාර්ථයක් තියෙන බව කියන්නෙ මනසින්. ඒකත් විශ්වාසයක් පමණයි. සමහරු ඒක විශ්වාස කළාට මා එය විශ්වාස කරන්නෙ නැහැ. පුළුවන් නම් තර්කය තර්කානුකූල කියල පෙන්නන්න. බැරි නම් කාළාම සූත්‍රය කියවන්න.