Main Logo

Thursday 26 November 2020

දේශපාලන නඩු හා මහා බන්දුල

 දේශපාලන නඩු හා මහා බන්දුල 


මේ දේශපාලන නඩුවලින් නිදොස් වෙන හා ඇප ලබා දෙන කාලය ද කියල වෙලාවකට හිතෙනවා. දේශපාලන නඩුවලින් වරදකරුවන් වන්නෙ ටික දෙනයි. කාට හරි ඒ ගැන සමීක්‍ෂණයක් කරන්න පුළුවන්. මා කියන්නෙ වරදකරුවන් නිදොස් කරන බව එහෙමත් නැත්නම් නිදොස් වන බව නො වෙයි. දේශපාලන නඩු පැවරීම ම දේශපාලන වැඩක්. ඒකත් දේශපාලනයෙ අංගයක්. 


වරදක් නැති අයට නඩු පවරන්න පුළුවන්. ඒහෙත් ඒකෙන් කියන්නෙ නැහැ ඒ අය අධිරණයේ දි නිදහස් වෙනව කියල. සමහර විට වරදක් නැති අය වරදකරුවන් කෙරෙන්න පුළුවන්. සාපේක්‍ෂතාව පෙන්වන හොඳ තැනක් තමයි අධිකරණය. නීතිය නිරපේක්‍ෂ නැහැ. ඒ කියන්නෙ නීතිය වාස්තවික නැහැ කියන එක නො වෙයි. නීතිය තියා කිසිවක් වාස්තවික නැහැ. මනසෙන් ස්වායත්ත නැත්නම් ස්වාධීන එහෙමත් නැත්නම් මනසට ඔබ්බෙන් යමක් තියෙනව කියල මනස නැතිව පෙන්නන්න කාටවත් බැහැ. මනස නැතිව කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ.  


නීතිය කියන්නෙත් සමාජ සම්මුතියක් පමණයි. ඒත් ඒකෙන් කියන්නෙ නැහැ සමාජයේ සියළු දෙනා ම ඒ සම්බන්ධ එකඟතාවක ඉන්නව කියල. සමාජයේ සියළු දෙනා ම නීතිය දන්නෙ නැහැ. මෙහි දී සමාජය කියල කියන්නෙ නීතිය ගැන දන්න සමාජයට. කිසිම දැනුමක් ගැන අදාළ ක්‍ෂෙත්‍රයේවත් එකඟතවක් නැහැ. අදාළ ක්‍ෂෙත්‍රයේ සියල්ලන්ට එකඟ වන්න පුළුවන් දේ නැහැ. අහවල එකඟ ද මෙයා එකඟ ද ආදී ප්‍රශ්න අහනවා. සමාජ සම්මුතියක් තියෙනව කියන එකත් මනසෙ සංස්කරණයක්.


මා සසෙක්ස් විශ්වවිිද්‍යාලයෙ ඉගෙන ගන්න කාලයෙ හුඟක් දේ දැන ගත්තා. පාසලේ දී බොහෝ දේ දැනගත්තත් ලංකා විශ්වවිද්‍යාලයේ දී කිසිවක් දැනගන්න ලැබුණේ නැහැ. දේශනවල දි අහන්න ලැබුණෙ පොත්පත්වල තියෙන දේ පමණයි. සිංහල පොත්වල නම් තියෙන්න නැති වෙන්න ඇති. ඒත් ඉංගිරිසි පොත්වල හෙවුවොත් තියෙනවා. ඒ දවස්වල ජනප්‍රිය වුණු මහා සම්ප්‍රදාය චුල සම්ප්‍රදාය මනස්ගාතය ගැන ලිපියක් තමන් සිංහලට පරිවර්තනය කරල පේරාදෙණියෙ සඟරාවක පළ කළ බව ඩබ් ඩී ලක්‍ෂමන් මා සමග කියා තියෙනවා. අපට පරිවර්තන සාහිත්‍යයක් තියෙන්නෙ සාමාන්‍යයෙන් සාහිත්‍ය කියන ක්‍ෂෙත්‍රයේ පමණක් නො වෙයි. අපට හැම ක්‍ෂෙත්‍රයක ම තියෙන්න  පරිවර්තන සාහිත්‍යයක්.   


සසෙක්ස් විශ්වවිද්‍යාලයේ දී අලුත් දැනුම සංස්කරණය කරන හැටි අත්දකින්න පුළුවන් වුණා. සතියකට අඩු තරමෙන් සම්මන්ත්‍රණ කියන ඒවා තුනක් තිබුණා. ඒ මදිවට සතිපතා තේ වෙලාවෙ තාරකා විද්‍යා මධ්‍යස්ථානයෙ ගුරුවරු හා පශ්චාත් උපාධි අපේක්‍ෂකයන් එකට තේ බිව්ව. ඒක නිකම් තේ බීමක් නො වෙයි. මේ තැන්වල දි මට අහන්න ලැබුණු දේ බොහොමයි. පොතක පතක තියා ඊනියා පර්යේෂණ සඟාරාවකවත් පළ නොවෙච්ච දේ සාකච්ඡා වුණා. 


මේ දේවල් ගැන එකඟතාවක් තිබුණෙ නැහැ. දවසක් මධ්‍යස්ථානයෙ අධ්‍යක්‍ෂ මහාචාර්ය රොජර් ටේලර් කිවුවා ඔහුගෙ අදහසක් ගැන. ඔහු කිවුව බිල් (මහාචාර්ය විලියම් මැක්රෙ) විශ්වාස කරනව (බිල් බිලීව්ස්) , ෆ්‍රෙඩ් (මහාචාර්ය ප්‍රෙඩ් හොයිල්) විශ්වාස කරනව ආදී වශයෙන්. ඒ අදහසෙ ඇති ඊනියා වාස්තවිකත්වයක් නැහැ. අහවල්ලු අහවලලු විශ්වාස කරනවා එකඟයි, මට ඒ ඇති වගේ කතාවක් තමයි කියැවුනෙ. ඔය සියල්ලන් එකඟ වන දැනුම් බටහිර විද්‍යාවෙ නැහැ. දැවැන්තයන් එකඟ වන දේ ගැන පස්සෙ අනෙක් බොහෝ අයත් එකඟ වෙනවා. එකඟ නොවන පිරිසකුත් ඉන්නවා. මා කියන කතාව සමහරු විශ්වාස කරන එකක් නැහැ. 


අපට ලස්සනට කපල කොටල පොත්වල අහුරල එවන අදහස් තියෙනවා. අපි ඒව වමාරනවා. ඒව සිංහලෙන් බර වචන දාල කියන විට බැරෑරුම් ගතියක් එනවා. අපි විශ්වාස කරනවා. එහෙම නැතිව තේරුම් ගන්නවැයි. වචනත් තේරෙන්නෙ නැති විට වචන රාශියකින් කියැවෙන අදහසක් තේරෙන්නෙ කොහොමද? ඒවා නොතේරී  විශ්වාස කරන අය අපට කියනවා ඒ අය විශ්වාසය ප්‍රතික්‍ෂෙප කරනවා කියා. හිතනවා ද අපි ඒ කතා විශ්වාස කරනව කියා.


නීතියෙ තියෙන්නෙ එක ම දෙයයි. තමුසෙ කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ කියල එහෙම නැත්නම් විශ්වාස කරනවා කියල කියන එක පමණයි. තමුසෙ කියන දේ විශ්වාස කරන්නෙ  නැහැ කියන එක වැදගත් විධයට මගේ උගත් මිත්‍රයා කියන දේ සමග මට එකඟ වෙන්න බැහැ කියල කියන එක. අලි සබ්‍රි උගත් මිත්‍රයා කියන ව්‍යවහාරෙට කොච්චර පුරුදු වෙලා ද කියනව නම් ගරු මන්ත්‍රීතුමා කියනවා වෙනුවට ඔහු අතින් උගත් මිත්‍රයා යනුවෙන් පාර්ලිමේන්තුවෙ දි කියැවුණා. ඒ මොහොතෙම ඔහු ඒක හරි ගස්ස ගත්තා. පාර්ලිමේන්තුවෙ ඉන්න බොහෝ දෙනෙක් උගතුත් නැහැ ගරුත් නැහැ. 


දේශපාලන නඩු දාන්නෙ දේශපාලන හේතු මත නිසා දේශපාලන හේතු මත ම විත්තිකාරයන් නිදහස් වෙනව නම් මොනව කියන්න ද? ඇප දෙන කොට කොන්දේසි දානවා. ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන්න කියනවා. බාර දෙනවා. ඇතැම් විට ඒ අයට දරුණු අසනීප හැදෙනවා. සිංගප්පූරුවෙන් මෙපිට බෙහෙත් නැති වෙනවා. අධිකරණයට පුළුවන් ද යන්න එපයි කියන්න. ගමන් බලපත්‍රය ලබා දෙනවා. සිංගප්පූරු යනවා.


සිංගප්පූරුව කියන කොට මතක් වුණා අර්ජුන් මහේන්ද්‍රන් ව. බන්දුල ගුණවර්ධන මහා දවල් මහා බැංකු මහා මංකොල්ලය කියන එකත් මතක් වෙනවා. මියන්මාරයෙ ඉඳල තියෙනව මහා බන්දුල කියල දක්‍ෂ සෙනෙවියෙක්. ඔහුගෙ නම යිට්. ඔහු මනිපුර් ඇසැම් ආදී ප්‍රදේශ යටත් කරගෙනත් තියෙනවා. මහා බන්දුල කියන්නෙ ඔහුට පිරිනමන ලද නම්බු නාමයක්. ඔහු 1825 දී ඉංගිරිසින් සමග කරන ලද පළමු බුරුම සටනෙදි මිය ගිහින්. ඔහුගෙ නමින් පාරවල් ආදිය  තියෙනවා. බන්දුල ගුණවර්ධන මහා බන්දුල කෙනෙක්  වෙයි මහා දවල් මහා බැංකු මහා මංකොල්ලය ගැන කතා කර කර ඉන්නෙ නැතිව මොකක් හරි කරන්න පුළුවන් නම්. ඒත් බන්දුල නීතිඥයෙක් නොවෙයි. 


මියන්මාරයෙ මහා බන්දුලට නම්බු නාමය දීල තියෙන්නෙ පාළි භාෂාවෙන්. එය වැදගත්. සුමේධ වීරවර්ධන පහුගිය දා උත්තර ථෙරවදීන් හා දක්‍ෂිණ ථෙරවාදීන් යනුවෙන් වරගීකරණයක් කළා. උත්තර ථෙරවාදීන්ගේ භාෂාව සංස්කෘත. දක්‍ෂිණ ථෙරවාදීන්ගේ භාෂාව පාළි. 1825 වන විට ඩොයිලි විසින් අප යටත් කිරීමට ලක් කෙරී අවුරුදු දහයක්. බුරුම වාසීන් අප වගේ අවුරුදු හාරසිය පනහක් යටත් ව ඉඳලා නැහැ. ඒ වගේ ම බටහිර අධ්‍යාපනයත් ලංකාවෙ තරම් පැතිරලා නැහැ. අපට ඔවුන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා.